ප්‍රධාන සම්මන්ත්‍රණය
දරුවන්ට සහ යෞවනයින්ට ස්වාධීනත්වය ඉගැන්වීම
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


දරුවන්ට සහ යෞවනයින්ට ස්වාධීනත්වය ඉගැන්වීම

අපගේ ජීවිත කාලය පුරාවටම ස්වාධීන වෙමින් අපගේ ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය අනුගමනය කරමින්, අපගේ දරුවන්ට සහ යෞවනයන්ට මෙය උගන්වමු.

මම ස්වාධීනත්වය ගැන සහ එය දරුවන්ට සහ යෞවනයින්ට ඉගැන්විය හැකි ආකාරය ගැන කතාකිරීමට බලාපොරොත්තු වෙනවා. ස්වාධීනත්වය වැඩිහිටියන් සඳහා වූ විෂය කරුණක් ලෙස වටහාගත හැකියි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය උගන්වා ඇතිවිට, සහ කුඩා කල සිට මෙන්ම තරුණ වියේදී නිවස තුළ එහි මූලධර්ම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විට, වැඩිහිටියන්ට ස්වාධීනත්වය කරා ගමන් කරන මාර්ගයේ සාර්ථක වියහැකි බව මට දැනගත හැකිවුණා.

මෙම සංකල්පය තේරුම්ගැනීමට ඇති හොඳම නිදර්ශනය තමයි මේ සැබෑ ජීවිතයේ විශිෂ්ට උදාහරණය. විල්ෆ්‍රඩ් වැනී, ඔහුගේ සහෝදර සහෝදරියන් හත්දෙනා සහ ඔහුගේ මව සමඟ ඔහුට වයස අවුරුදු හයේදී අයිවරි වෙරළ තීරයේ ඇබිඩ්ජන් හි සභාවට සම්බන්ධ වුණා. ඔහු වයස අවුරුදු අටේදී බව්තීස්ම වුණා. පවුලේ ප්‍රධාන සැපයුම්කරු වූ ඔහුගේ පියා, විල්ෆ්‍රයිඩ්ට වයස අවුරුදු එකොළහේදී මියගියා.

පවුලේ තත්වය ගැන කණගාටු වුවද, තම මවගේ දිරිගැන්වීම සහ සභාවේ සහයෝගය ඇතිව දිගටම පාසල් යාමට විල්ෆ්‍රඩ් තීරණය කළා. ඔහු ද්විතීයික අධ්‍යාපනය අවසන් කර ගානා කේප් වෙරළ තීරයේ පූර්ණ කාලීන ධර්මදූත සේවයක නිරත වූ අතර එහිදී ඔහු ඉංග්‍රීසි ඉගෙනගත්තා. ධර්මදූතයෙන් පසු ඔහු විශ්ව විද්‍යාලයට ගොස් ගිණුම්කරණය සහ මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබාගත්තා. මෙම ක්‍ෂේත්‍රයේ රැකියාවක් ලබාගැනීම දුෂ්කර වුවද, ඔහුට සංචාරක හා සත්කාරක ක්ෂේත්‍රයේ රැකියාවක් සොයාගැනීමට හැකිවුණා.

ඔහු තරු පහේ හෝටලයක වේටර්වරයෙකු ලෙස සේවය ආරම්භ කළ නමුත් දියුණු වීමට ඇති ආශාව ඔහු එහි ද්විභාෂා පිළිගැනීමේ නිලධාරියෙකු වනතුරු ඔහුව වැඩිදුර ඉගෙනීමට තල්ලු කළා. නව හෝටලයක් විවෘත කළ විට ඔහුව එහි රාත්‍රී විගණකවරයා ලෙස බඳවා ගැනුණා. පසුව, ඔහු BYU-Pathway Worldwide හි ලියාපදිංචි වී දැනට සත්කාරක සහ සංචාරක කළමනාකරණ සහතිකයක් ලබාගැනීමේ පාඨමාලාවක් හදාරමින් සිටිනවා. ඔහුගේ ආශාව වන්නේ කවදා හෝ ඉහළ මට්ටමේ හෝටලයක කළමනාකරු වීමටයි. විල්ෆ්‍රයිඩ්ට ඔහුගේ සදාකාලික සහකාරිය සහ දරුවන් දෙදෙනාට සැපයීමට මෙන්ම ඔහුගේ මවට සහ ඔහුගේ සහෝදර සහෝදරියන්ටද උපකාර කළ හැකියි. ඔහු දැනට සභාවේ ස්ටේකයේ උසස් මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු ලෙස සේවය කරමින් සිටිනවා.

ස්වාධීනත්වය යනු, “තමන්ට සහ පවුලට ජීවිතයේ ආත්මික සහ ලෞකික අවශ්‍යතා සපයාගැනීමට ඇති කැපවීම සහ ප්‍රයත්න දැරීමේ හැකියාවයි”1 ස්වාධීන වීමට උත්සාහ කිරීම යනු අපව නැවත ස්වර්ගික පියාණන්වහන්සේ වෙතට සහ උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන යන ගිවිසුම් මාවත ඔස්සේ අප කරන කාර්යයේ කොටසක්. එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ශක්තිමත් කරනු ඇති අතර ගැලවීමේ සහ උත්කර්ෂයේ ගිවිසුම් සහ නියෝග තුළින් ප්‍රීතියෙන් අපව උන්වහන්සේ වෙත බැඳ තබාගන්නවා. ස්වාධීනත්වය යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ දහමක් මිස වැඩසටහනක් නොවේ. එය ජීවිත කාලය පුරාම පවතින ක්‍රියාවලියක් මිස සිදුවීමක් නොවේ.

අධ්‍යාත්මික ශක්තියෙන් වර්ධනය වීමෙන්, අපගේ ශාරීරික හා චිත්තවේගීය සෞඛ්‍යය වර්ධනය කරගැනීමෙන් මෙන්ම, අපගේ අධ්‍යාපනය සහ රැකියාව කරගෙන යාමෙන්, සහ ලෞකිකව සූදානම් වීම තුළින් අපි අපගේ ජීවිත කාලය පුරාම ස්වාධීන වෙනවා.2 මෙම කාර්යය අපගේ ජීවිත කාලය තුළ කවදා හෝ අවසන් වේද? නෑ, එය ඉගෙනීමේ, වර්ධනයේ, සහ වැඩ කිරීමේ ජීවිත කාලය පුරාම ක්‍රියාවලියක්. එය කිසිදා අවසන් වෙන්නේ නෑ; එය අඛණ්ඩ, දෛනික ක්‍රියාවලියක්.

අපගේ දරුවන්ට සහ යෞවනයින්ට ස්වාධීනත්වයේ දහම සහ මූලධර්ම ඉගැන්විය හැක්කේ කොහොමද? එක් වැදගත් ක්‍රමයක් තමයි ළමා හා යෞවන වැඩසටහනේ මූලධර්ම අපගේ නිවෙස්වල දෛනිකව භාවිතා කිරීම. දෙමාපියන් සහ දරුවන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඉගෙනගනිමින්, සේවා සහ ක්‍රියාකාරකම් වලට සහභාගී වෙමින්, සහ එක් එක් දරුවාට අනන්‍ය වූ පුද්ගලික සංවර්ධන ක්ෂේත්‍ර හතර තුළ එකට වැඩ කළ යුතුයි. එය තවදුරටත් සැමටම එකම ආකාරයකට සිදුවන වැඩසටහනක් නොවේ.

ළමා මාර්ගෝපදේශ පොතේ මෙලෙස පවසනවා: “යේසුස්වහන්සේ ඔබගේ වයසේදී, උන්වහන්සේ ඉගෙනගෙන වර්ධනය විය. ඔබත් ඉගෙනගනිමින් වර්ධනය වෙනවා. ශුද්ධලියවිලි මෙසේ පවසනවා: ‘යේසුස්වහන්සේ ප්‍රඥාවෙන් සහ උසමහතින්ද, දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද වැඩුණු සේක’ (ලූක් 2:52).”3 මෙම ශුද්ධලියවිල්ල, අධ්‍යාත්මික අංශය, එනම් දෙවියන්වහන්සේගේ කරුණාව; සමාජීය අංශය, එනම් මනුෂ්‍යයන්ගේ කරුණාව; භෞතික අංශය, එනම් උසමහත; බුද්ධිමය අංශය, එනම් ප්‍රඥාව, යන ඒවායේ වර්ධනය සහ ඉගෙනීම ගැන සඳහන් කරනවා. මෙම සංවර්ධන ක්ෂේත්‍ර වයස් භේදයකින් තොරව අප සැමට අදාළ වෙනවා. අපි ඔවුන්ට උගන්වන්නේ කවදාද? ද්විතීය කථාව 6:6–7 හි අපි මෙසේ කියවනවා:

“මා විසින් අද නුඹට අණ කරන මේ වචන නුඹේ සිතේ තිබේවා:

“ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයේ වැතිරෙන කලද නැගිටින කලද ඒවා ගැන කථාකරපන්න.”

අපි මේ දේවල් දරුවන්ට උගන්වන්නේ අපගේ හොඳ ආදර්ශයෙන්, ඔවුන් සමඟ වැඩ කරමින් සහ ඔවුන් සමඟ සේවය කිරීමෙන්, ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමෙන්, සහ අනාගතවක්තෘවරුන් විසින් ඉගැන්වූ පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමෙන්.

ළමා හා යෞවන වැඩසටහනේ, සංවර්ධන ක්ෂේත්‍ර හතරේ එකිනෙකට වෙනස් අරමුණු දරුවන් තෝරාගන්නා බව මා සඳහන් කර තිබෙනවා. ඔවුන් එක් එක් ක්ෂේත්‍රය තුළ තමන්ගේම ඉලක්ක නිර්මාණය කරගැනීම වැදගත්. දෙමාපියන්ට සහ නායකයින්ට ඉගැන්වීමට, උපදෙස් දීමට, සහ සහාය වීමට පුළුවන්.

නිදසුනක් වශයෙන්, අපගේ මිණිබිරිය වන මිරැන්ඩා දිනපතා උදේ සෙමනේරි පන්ති වලට සහභාගී වීමෙන් අධ්‍යාත්මිකව වර්ධනය වීමට බෙහෙවින් පෙලඹී තිබෙනවා. ඇයගේ කොට්ඨාශයේ අනෙකුත් සෙමනේරි සිසුන්ගේ ධනාත්මක අදහස් ඇසීමෙන් ඇය ඒ සඳහා උනන්දු වී සිටිනවා. ඇයගේ මවට පන්තියට යාමට ඇයව අවදි කළ යුතු නෑ. ඇය තනිවම, නැඟිට, නියමිත වේලාව වන උදේ 6:20 ට වීඩියෝ සම්මන්ත්‍රණ මගින් සම්බන්ධ වී සිටින්නේ ඇයට එසේ කිරීමට උපකාරී වන හොඳ පුරුදු ඇතිකරගෙන තිබෙන නිසයි. මගේම දෙමාපියන් මෑතකදී මට පවසා සිටියේ මිරැන්ඩා දැන් ඔවුන් බැලීමට යන විට ඇය තුළ ආත්ම විශ්වාසයක් වර්ධනය වී ඇති නිසා ඔවුන් සමඟ වැඩිපුර කතා කරන බවයි. මේවා සැලකිය යුතු ප්‍රතිඵල සහිත ජීවිතයට සහ වර්ධනයට අදාළ පාඩම්.

දෙමව්පියන්, ආච්චිලා සීයලා, නායකයින්, සහ මිතුරන් දරුවන්ගේ වර්ධනයට හා සංවර්ධනයට උපකාර කරනවා. දේවසේවයේ සම්පූර්ණයෙන්ම නියැලී සිටින සහෝදර සහෝදරියන්, පූජකවර සහ කොට්ඨාශයේ සංවිධාන නායකයින් සමඟ එක්වී සහයෝගය ලබාදෙනවා. “පවුල: ලෝකයට ප්‍රකාශනයකි” තුළ මෙසේ සඳහන් වෙනවා: “දිව්‍යමය සැලැස්මට අනුව, පියවරුන් තම පවුල්වල ප්‍රේමයෙන් හා ධර්මිෂ්ඨකමින් මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු අතර, ඔවුන්ගේ පවුල් සඳහා ජීවන අවශ්‍යතා සහ ආරක්ෂාව සැපයීමේ වගකීම දරයි. තම දරුවන්ගේ පෝෂණය පිළිබඳ මූලික වගකීම මව්වරුන් සතුය. මෙම පරිශුද්ධ වගකීම් වලදී, පියවරුන් සහ මව්වරුන් සමාන හවුල්කරුවන් ලෙස එකිනෙකාට උපකාර කිරීමට බැඳී සිටී. … විස්තීර්ණ පවුල් විසින් අවශ්‍ය විටෙක උපකාර කළ යුතුය.”4 එම අවසාන පේළිය සඳහන් කරන්නේ වෙනත් අය අතර, ආච්චිලා සීයලා ගැනයි.

අපි බටහිර අප්‍රිකාවේ සේවය කරන විට, මගේ බිරිඳ නූරියා, සයුරින් එහා අපගේ පවුලේ අය සහ මුණුබුරු මිණිබිරියන් සමඟ සම්බන්ධ වෙමින් දේවසේවයේ කැපීපෙනෙන සේවාවක් කළා. ඇය මෙය කරන්නේ තාක්ෂණය භාවිතා කරමින්. ඇය කුඩා මුණුබුරු මිණිබිරියන්ට පොත් කියවනවා. ඇය අපගේ පවුලේ කතා, විද්‍යාව, පුවර්ටෝ රිකෝහි ඉතිහාසය, ඇදහිල්ලේ කරුණු, සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය වැනි මාතෘකා ගැන පාඩම් වැඩිමහල් මිණිබිරියන්ට උගන්වනවා. වර්තමානයේ දුරස්ථභාවය අපගේ පවුල්වල නැගී එන පරම්පරාව සමඟ සම්බන්ධ වීම, අයිති වීම, සහ දේවසේවය කිරීම, සහ ඉගැන්වීම සීමා කරන්නේ නෑ. අපේ වටිනා මුණුබුරු මිණිබිරියන්ට ඉගැන්වීමට, ඔවුන්ට ආදරය කිරීමට, ඔවුන්ව නරක් කිරීමට, ඔවුන්ව හිනැස්වීමට මට හැකි සෑමවිටම මමත් නූරියා සමඟ එකතු වෙනවා.

ළමා හා යෞවන වැඩසටහන සහ ස්වාධීනත්වය ගොඩනැගීම අතර ඇති ආනුභාවලත් සමානකම් ඔබ දැකගත යුතුයි. එක් එක් වර්ධනයේ අංශ හතර ඉතා සමානයි. ස්වාධීනත්වයේ අධ්‍යාත්මික ශක්තිය ළමා හා යෞවන වියේ අධ්‍යාත්මික කොටසට සම්බන්ධ වෙනවා. ස්වාධීනත්වය තුළ කායික හා චිත්තවේගීය සෞඛ්‍යය, ළමා හා යෞවන වැඩසටහනේ සෞඛ්‍ය හා සමාජීය කොටස සමඟ සම්බන්ධ වෙනවා. ස්වාධීනත්වය තුළ අධ්‍යාපනය, රැකියාව, සහ ස්වාධීනත්වය තුළ ලෞකික සූදානම, ළමා හා යෞවන වැඩසටහනේ බුද්ධිමය කොටසට සමාන වෙනවා.

අවසාන වශයෙන්, අපගේ ජීවිත කාලය පුරාවටම ස්වාධීන වෙමින් අපගේ ගැලවුම්කාර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය අනුගමනය කරමින්, අපගේ දරුවන්ට සහ යෞවනයන්ට මෙය උගන්වමු. අපට මෙය හොඳින්ම කළ හැක්කේ;

  1. අන් අයට සේවය කිරීම පිළිබඳ හොඳ ආදර්ශයක් වීමෙන්.

  2. ස්වාධීනත්වයේ දහම සහ මූලධර්ම අනුව ජීවත්වීමෙන් සහ ඒවා ඉගැන්වීමෙන්, සහ

  3. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ කොටසක් ලෙස ස්වාධීනත්වය ගොඩනගාගැනීමේ ආඥාවට කීකරු වීමෙන්.

දහම සහ ගිවිසුම් 104:15–16 මෙසේ පවසනවා:

“මාගේ ශුද්ධවන්තයන් උදෙසා සැපයීම මාගේ අරමුණය, මක්නිසාද සියලු දේවල් මාගේය.

“එහෙත් එය සිදුකළ යුත්තේ මාගේ ස්වකීය ආකාරයටය; තවද බලන්න ස්වාමින්වහන්සේ වන, මම, මාගේ ශුද්ධවන්තයන්ට සපයාදීමට නියෝග කර ඇත්තාවූ මාර්ගය මෙයයි, එනම් දුප්පතුන්ව උසස් කරනු ලැබෙන අතර, ඒ තුළ පොහොසතුන්ව පහතට දමන්නෙමි.”

මේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවයි. උන්වහන්සේගේ ශුභාරංචිය මෙලොව සහ සදාකාලය පුරාම පවුල් වලට ආශිර්වාද කරනවා. අපි සදාකාලික පවුල් බවට පත්වීමට උත්සාහ කරන විට එය අපගේ ජීවිතයට මගපෙන්වනවා. මෙය සත්‍යය බව මම දන්නවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. General Handbook: Serving in The Church of Jesus Christ of Latter-day Saints, 22.0, ChurchofJesusChrist.org.

  2. බලන්න General Handbook, 22.1.

  3. Personal Development: Children’s Guidebook (2019), 4.

  4. පවුල: ලෝකයට ප්‍රකාශනයකි,” ChurchofJesusChrist.org.