3 වන පරිච්ඡේදය
හදින් පවිත්‍ර අයට දෙවියන්වහන්සේගේ ප්‍රසන්න වචනය ලැබේ – ලේමන්වරුන්ගේ ධර්මිෂ්ඨකම නීෆායිවරුන්ට වඩා වැඩිය – ජේකබ්, වේශ්‍යාකමට, සල්ලාලකමට සහ සෑම පාපයකටම එරෙහිව අනතුරු හඟවයි. ක්‍රි.පූ. 544–421 පමණ.
1 එහෙත් බලව, මම, ජේකබ්, හදින් පවිත්‍ර නුඹලා හට කතා කරන්නෙමි. ස්ථිර මනසකින් දෙවියන්වහන්සේ වෙත බලන්න, සහ අධික ඇදහිල්ලෙන් යුක්තව උන්වහන්සේ හට යාච්ඤා කරන්න, තවද උන්වහන්සේ නුඹගේ පීඩාවන්හි නුඹව සනසවන සේක, තවද නුඹගේ හේතුව ඉල්ලා සිටින අතර, නුඹගේ විනාශය සොයන්නා වූ අය මත යුක්තිය පහළට පමුණුවන සේක.
2 අහෝ එනම්, හදින් පවිත්‍ර නුඹලා සියලු දෙනා, නුඹලාගේ හිස් ඔසවන අතර සියල්ලෙනි, තවද දෙවියන්වහන්සේගේ ප්‍රසන්න වචනය ලබා ගන්න, තවද, උන්වහන්සේගේ ප්‍රේමය මත භුක්ති විඳින්න; මක්නිසාද නුඹලාගේ මනස් ස්ථිර නම්, සදාකාලයටම, නුඹලාට උන්වහන්සේගේ ප්‍රේමය භුක්ති විඳිය හැක.
3 එහෙත්, හදින් පවිත්‍ර නොවන්නා වූ නුඹලා හට දුක් වේ, දුක් වේ, එනම්, අද දින දෙවියන්වහන්සේ ඉදිරියෙහි මේ දවසේදී අපවිත්‍රව සිටින නුඹලාටය; මක්නිසාද නුඹලා පසුතැවිලි නොවෙනතාක් නුඹලා වෙනුවෙන් දේශයට ශාප වේ; තවද නුඹලා හට සේ අපවිත්‍ර නොවන්නා වූ, ලේමන්වරුන්, එසේනමුත්, දරුණු ශාපයකින් ශාප කරනු ලැබ, විනාශය තෙක් පවා ද නුඹලාට හිංසා පමුණුවනු ලබන්නේය.
4 තවද කාලය වේගවත්ව පැමිණෙන්නේය, එනම් නුඹලා පසුතැවිලි නොවන්නේ නම්, ඔවුන් නුඹලාගේ උරුමයේ දේශය අත් කර ගන්නේය. තවද දෙවි වූ ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන් නුඹලාගේ අතරින් පිටතට කැඳවාගෙන යන සේක.
5 බලව, ඔවුන්ගේ අපවිත්‍රභාවය නිසාත් ඔවුන්ගේ හම් මත පැමිණෙන්නා වූ ශාපය හේතු කොටගෙන නුඹලා වෛර කරන, නුඹලාගේ සහෝදරයන් වන ලේමන්වරුන්, නුඹලාට වඩා ධර්මිෂ්ඨය; මක්නිසාද ස්වාමීන්වහන්සේ අපගේ පියා හට දුන්නා වූ, අණ පනත අමතක වී නොමැත – ඔවුන් සතු විය යුත්තේ එක් භාර්යාවකි, ඔවුන්ට උපභාර්යාවන් කිසිවෙක් නොසිටිය යුතුය, තවද, ඔවුන් අතර වේශ්‍යාකම් නොකළ යුතු වන්නේය.
6 තවද දැන්, මේ අණ පනත ඔවුන් පිළිපැදීමට උත්සාහ දරන්නෝය; එබැවින්, ඔවුන්ගේ පිළිපැදීම නිසාවෙන්, දෙවි වූ ස්වාමීන්වහන්සේ ඔවුන්ව විනාශ නොකරන සේක, ඔවුන් හට කරුණාවන්ත වන සේක; තවද එක් දවසක ඔවුන් ආශීර්වාදලත් ජනතාවක් වනු ඇත්තේය.
7 බලව, ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට ප්‍රේම කරති, තවද, ඔවුන්ගේ භාර්යාවන් තම ස්වාමිපුරුෂයන්ට ප්‍රේම කරති; තවද, ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් සහ ඔවුන්ගේ භාර්යාවන් තම දරුවන්ට ප්‍රේම කරති; තවද ඔවුන්ගේ අවිශ්වාසය සහ නුඹ කෙරෙහි ඔවුන්ගේ වෛරය, ඔවුන්ගේ පියවරුන්ගේ අයුතුකම් නිසාවෙන්ය; එබැවින්, නුඹගේ ශ්‍රේෂ්ඨ මැවුම්කරුවාණන්ගේ ඉදිරියෙහි නුඹ ඔවුන්ට වඩා කොපමණ හොඳ ද?
8 අහෝ, මාගේ සහෝදරයනි, නුඹලා නුඹලාගේ පාපයන්වලට පසුතැවිලි නොවන්නේ නම්, ඔවුන් සමඟ දෙවියන්වහන්සේගේ සිහසුන ඉදිරියට ගෙන ආ විට, ඔවුන්ගේ හම් නුඹලාට වඩා සුදු වනු ඇතැයි මම බිය වන්නෙමි.
9 එබැවින්, මම නුඹ හට අණ පනතක් දෙන්නෙමි, එය දෙවියන්වහන්සේගේ වචනය වන්නේය, එනම් ඔවුන්ගේ හම්වල අඳුරුභාවය කරණ කොටගෙන නුඹලා තවදුරටත් අපවිත්‍රභාවය නිසා ඔවුන්ට එරෙහිව අපහාස නොකරන්න; නැතහොත් ඔවුන්ගේ අපවිත්‍රභාවය ද කරණ කොටගෙන නුඹලා ඔවුන්ට එරෙහිව අපහාස නොකරන්න; එහෙත් නුඹලා නුඹලාගේම අපවිත්‍රභාවය සිහියේ තබා ගත යුතුය, තවද ඔවුන්ගේ අපවිත්‍රභාවය ඔවුන්ගේ පියවරුන් නිසා ඇති වූ බව ද සිහියේ තබා ගන්න.
10 එබැවින්, නුඹලා නුඹලාගේ දරුවන් සිහිපත් කරන්නෝය, ඔවුන් ඉදිරියෙහි නුඹලා තැබූ ආදර්ශය කරණ කොටගෙන, ඔවුන්ගේ හදවත් තුළ ඇති වූ ශෝකය කෙලෙස වූ ද; තවද එසේම, සිහියේ තබා ගන්න, නුඹලාගේ අපවිත්‍රභාවය නිසා, නුඹලාගේ දරුවන් විනාශය වෙත ගෙන එන්නෝය, තවද, අවසාන දවසේ දී ඔවුන්ගේ පාපයන් නුඹලාගේ හිස් මත ගොඩගසනු ඇත්තේය.
11 අහෝ, මාගේ සහෝදරයනි, මාගේ වචන වලට සවන් දෙන්න; නුඹලාගේ ප්‍රාණයන්හි හැකියාවන් අවදි කරන්න; මරණයේ නින්දෙන් නුඹලා අවදි වන පිණිස නුඹලාව සොලවාගන්න; තවද දෙවන මරණය වන, ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විලට නොහෙළනු පිණිස, නුඹලා යක්ෂයාගේ දූතයන් නොවන පිණිස නිරයේ වේදනාවෙන් මිදෙන්න.
12 තවද දැන් මම, ජේකබ්, නීෆායිගේ ජනතාව වෙත තවත් බොහෝ දේ කථා කළෙමි, ඔවුන්ට වේශ්‍යාකම සහ සල්ලාලකම, සහ සියලු ආකාරයේ පාපවලට එරෙහිව ඔවුන්ට අනතුරු හඟවමින්, ඒවායේ භයානක ප්‍රතිවිපාක ඔවුන්ට පැවසුවෙමි.
13 තවද, දැන් බහුල වන්නට පටන් ගත්, මෙම ජනතාවගේ ක්‍රියාවන්හි සියවෙනි කොටස, මෙම තහඩු මත ලිවිය නොහැක; එහෙත් ඔවුන්ගේ බොහෝ ක්‍රියාවන්, සහ ඔවුන්ගේ යුද්ධ, ඔවුන්ගේ මතභේද, සහ ඔවුන්ගේ රජවරුන්ගේ පාලන සමය ද, විශාල තහඩු මත ලියා ඇත්තේය.
14 මෙම තහඩු ජේකබ්ගේ තහඩු ලෙස හඳුන්වනු ලබන අතර, ඒවා නීෆායිගේ දෑතින් සාදන ලදී. තවද, මම මේ වචන පවසා අවසන් කරන්නෙමි.