ප්‍රධාන සම්මන්ත්‍රණය
නව සාමාන්‍යයක්
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


නව සාමාන්‍යයක්

ඔබේ හදවත, මනස හා ප්‍රාණය වැඩි වැඩියෙන් අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ හා උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත යොමුකරන ලෙස මම ඔබට ආරාධනා කරනවා.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙම දින දෙකක ප්‍රධාන සම්මන්ත්‍රණය හරිම තේජාන්විතයි! මම වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් සමග එකඟ වෙනවා. ඔහු සඳහන් කළ පරිදි, මෙම පණිවිඩ, මෙම යාච්ඤා සහ මෙම සංගීතය යන සියල්ලම ස්වාමින්වහන්සේ විසින් දේවානුභාවයෙන් ලබා තිබෙනවා. ඕනෑම ආකාරයකින් සහභාගී වූ සැමට මම ස්තූතිවන්ත වෙනවා.

මෙම ක්‍රියාවලිය පුරාම, ඔබ සම්මන්ත්‍රණයට සවන්දෙන අයුරු මම මගේ මනසේ නිරූපණය කරගත්තා. ඔබට හැඟෙන දේ, කරදර වීම් හෝ විසඳීමට උත්සාහ කරන දේවල් තේරුම්ගැනීමට මට උදව් කරන්නැයි මම ස්වාමින්වහන්සේගෙන් ඉල්ලා සිටියා. ඔබට හැඟෙන්නට ස්වාමින්වහන්සේට අවශ්‍ය යැයි මම දන්නා අනාගතය ගැන ධනාත්මකභාවය සමග ඔබව ඉදිරියට යැවීමට මෙය අවසානයේදී මම කුමක් කිවයුතුදැයි මම කල්පනා කළා.

අප ජීවත්වන්නේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ අනාගතවක්තෘවරුන් විසින් පුරෝකථනය කරන ලද, තේජාන්විත යුගයකයි. ධර්මිෂ්ඨයන්ගෙන් කිසිම අධ්‍යාත්මික ආශිර්වාදයක් ඉවතට නොගන්නා කාලපරිච්ඡේදය මෙයයි. 1 ලෝකයේ නොසන්සුන්තාව තිබියදීත්, 2 අපි “ප්‍රීතිමත් අපේක්ෂාවෙන්” අනාගතය දෙස බලා සිටින ලෙස ස්වාමින්වහන්සේ අපේක්ෂා කරනවා. 3 අපි ඊයේ මතකයන් තුළ අපේ රෝද කරකවමින් නොසිටිමු. ඊශ්‍රායෙලය එක්රැස් කිරීම ඉදිරියටම යනවා. ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම සභාවේ කටයුතු මෙහෙයවන අතර, එය එහි දිව්‍ය අරමුණු සාක්ෂාත් කරගන්නවා.

ඔබටත් මටත් ඇති අභියෝගය නම් අප සෑමකෙනෙකුම ඔහුගේ හෝ ඇයගේ දිව්‍යමය හැකියාවන් අත්කර ගනු ඇති බවට සහතික කරගැනීමයි. අද අපට බොහෝවිට “නව සාමාන්‍යයක්” ගැන අසන්නට ලැබෙනවා. ඔබට ඇත්තෙන්ම නව සාමාන්‍යයක් වැලඳගැනීමට අවශ්‍ය නම්, ඔබේ හදවත, මනස හා ප්‍රාණය වැඩි වැඩියෙන් අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ හා උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත යොමුකරන ලෙස මම ඔබට ආරාධනා කරනවා. එය ඔබගේ නව සාමාන්‍ය වීමට ඉඩදෙන්න.

දිනපතා පසුතැවිලිවීමෙන් ඔබේ නව සාමාන්‍යය වැලඳගන්න. සිතුවිලි, වචන සහ ක්‍රියාවෙන් වඩ වඩාත් නිර්මල වීමට උත්සාහ කරන්න. අනෙක් අයට දේවසේවය කරන්න. සදාකාලික ඉදිරි දර්ශනයක් තබාගන්න. ඔබගේ කැඳවීම් ඉටුකරන්න. ඔබේ අභියෝග කුමක් වුවත්, මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ ඔබේ මැවුම්කරු හමුවීමට වඩාත් සූදානම් වන ආකාරයට සෑම දිනකම ජීවත්වන්න. 4

අපට දේවමාළිගා තිබෙන්නේ ඒ නිසයි. ස්වාමින්වහන්සේගේ නියෝග සහ ගිවිසුම් අපව සදාකාල ජීවනය සඳහා සූදානම් කරනවා, එය දෙවියන්වහන්සේගේ ආශිර්වාද වලින් ශ්‍රේෂ්ටතම ආශිර්වාදයයි. 5 ඔබ දන්නා පරිදි, COVID වසංගතය නිසා අපේ දේවමාළිගා තාවකාලිකව වැසීමට අවශ්‍ය වුණා. පසුව අපි ප්‍රවේශමෙන් සම්බන්ධීකරණය කර, නැවත විවෘත කිරීම ආරම්භ කළා. දෙවන අදියර දැන් බොහෝ දේවමාළිගා වල ක්‍රියාත්මක වීමත් සමඟ යුවලයන් දහස් ගණනක් මුද්‍රා තබා ඇති අතර, පසුගිය මාස කිහිපය තුළ දහස් ගණනකට තමන්ගේම බලයෙන් සැරසීම් ලැබී තිබෙනවා. සභාවේ සියලු වටිනා සාමාජිකයින්ට නැවත ඔවුන්ගේ මුතුන්මිත්තන්ට සේවය කිරීමට හා ශුද්ධ වූ දේවමාළිගාවක නමස්කාර කිරීමට හැකි දිනය අපි බලා සිටිනවා.

පහත සඳහන් ස්ථාන වල නව දේවමාළිගා හයක් ඉදිකිරීමට සැලසුම් කිරීම ගැන දැන් මම නිවේදනය කරන්නට සතුටු වෙනවා: ටාරාවා, කිරිබාටි; පෝට් විලා, වනුවාටු; ලින්ඩන්, යූටා; ග්වාතමාලාවේ, මහා ග්වාතමාලා නගරය; සාඕ පවුලෝ නැගෙනහිර, බ්‍රසීලය; සහ සැන්ටා කෲස්, බොලිවියාව.

අපි මෙම දේවමාළිගා ගොඩනගා නඩත්තු කරන විට, ශුද්ධ වූ දේවමාළිගාවට ඇතුළු වීමට ඔබට සුදුසුකම් ලැබිය හැකිවන පරිදි ඔබ සෑම කෙනෙක්ම ගොඩනැගී සුදුසු වන ලෙස අපි යාච්ඤා කරනවා.

දැන්, මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානයෙන් පිරී සිටීමට මම ඔබට ආශිර්වාද කරනවා. උන්වහන්සේගේ සාමය සියලු ලෞකික තේරුම්ගැනීමෙන් ඔබ්බට ඇති දෙයක්. 6 දෙවියන්වහන්සේගේ නීති වලට කීකරුවීමේ වැඩි ආශාවක් හා හැකියාවක් ලැබෙන ලෙස මම ඔබට ආශිර්වාද කරනවා. අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ වුවද, ඔබට ධෛර්යය, වැඩි පුද්ගලික එළිදරව් වීම්, ඔබේ නිවෙස් වල මිහිරි සමගිය, සහ ප්‍රීතිය ඇතුළු ආශිර්වාද වලින් නැහැවී යනු ඇතැයි මම පොරොන්දු වෙනවා.

ස්වාමින්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා අපව හා ලෝකය සූදානම් කිරීමේ—අපගේ දිව්‍යමය නියෝගය ඉටුකිරීම සඳහා අපි එක්ව ඉදිරියට යමු. ඔබ කෙරෙහි මාගේ ප්‍රේමය ප්‍රකාශ කරමින්, මම යාච්ඤා කරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.