ප්‍රධාන සම්මන්ත්‍රණය
අසන්න, සොයන්න, සහ තට්ටු කරන්න
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


අසන්න, සොයන්න, සහ තට්ටු කරන්න

ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්මේ වැදගත් අංගයක් වන්නේ අපට අවශ්‍ය ඕනෑම වේලාවක උන්වහන්සේ සමඟ සන්නිවේදනය කිරීමේ අවස්ථාවයි.

මාස හතරකට පෙර, මගේ ශුද්ධලියවිලි අධ්‍යයනයේදී, මම අම්මොනිහා හි ඇල්මාගේ මෙහෙවර ගැන කියවමින් සිටියදී එන්න, මා අනුගමනය කරන්න හි මෙම යෝජනාව හමුවුනා, එය නම්: “දෙවියන්වහන්සේ නෙපිගේ ජනතාවට දුන් ඉමහත් ආශිර්වාද ගැන කියවන විට (බලන්නඇල්මා 9:19–23), උන්වහන්සේ ඔබට දී ඇති මහත් ආශිර්වාද ගැන මෙනෙහි කරන්න” යන්නයි. 1 දෙවියන්වහන්සේ මට දුන් ආශිර්වාද ලැයිස්තුවක් සාදා මගේ ඩිජිටල් අනුවාද අත්පොතෙහි සටහන් කිරීමට මම තීරණය කළා. මිනිත්තු කිහිපයකින් මම ආශිර්වාද 16 ක් ලැයිස්තුගත කළා.

ඒවා අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගනු ලැබුවේ ගැලවුම්කරුවාණන් මා වෙනුවෙන් කළ දයාවේ සහ වන්දිගෙවීමේ පරිත්‍යාගයේ ආශිර්වාදයි. පෘතුගාලයේ තරුණ ධර්මදූතයෙකු ලෙස ගැලවුම්කරුවාණන් නියෝජනය කිරීමට මට ලැබුණු ආශිර්වාදය ගැනත්, පසුව මගේ ආදරණීය සදාකාලික සහකාරිය පැට්‍රීෂියා සමඟ බ්‍රසීල පෝර්ටෝ ඇලෙග්‍රේ සවුත් ධර්මදූත මෙහෙයේදී අප බලවත් හා පුදුමාකාර ධර්මදූතයින් 522 ක් සමඟ කළ සේවයේ මට ලැබුණු ආශිර්වාදය ගැනත් මම ලිවුවා. පැට්‍රීෂියා ගැන කතා කරන විට, එදින මා විසින් වාර්තා කරන ලද බොහෝ ආශිර්වාද, සාඕ පවුලෝ බ්‍රසීල දේවමාළිගාවේ අපගේ මුද්‍රා තැබීම, අපගේ පුදුමාකාර දරුවන් තිදෙනා, ඔවුන්ගේ කලත්‍රයන් සහ අපේ මුණුබුරු මිනිබිරියන් 13 දෙනා—ඇතුළුව අපගේ විවාහයෙන් වසර 40 ක් පුරා අපි එකට භුක්තිවිඳි ආශිර්වාදයි.

ශුභාරංචියේ මූලධර්මයන් තුළ මා ඇති දැඩි කළ මගේ ධර්මිෂ්ඨ දෙමාපියන් වෙතද මගේ සිතුවිලි යොමුවුනා. මට වයස අවුරුදු 10 ක් පමණ වන විට මගේ ආදරණීය මව මගේ ඇඳ අසල මා සමඟ යාච්ඤා කිරීමට දණගැසූ මොහොතක් මට විශේෂයෙන් මතක්වුනා. මගේ යාච්ඤාවන් ස්වර්ගයේ සිටින මගේ පියාණන් වෙත ළඟාවීමට නම්, ඒවා දියුණු විය යුතු බව ඇයට හැඟෙන්නට ඇති. එබැවින් ඇය මෙසේ පැවසුවා, “මම පළමුව යාච්ඤා කරන්නම්, මාගේ යාච්ඤාවෙන් පසු ඔබ යාච්ඤා කරන්න.” ප්‍රතිපත්තිමය වශයෙන් හා ප්‍රායෝගිකව ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ කථා කරන ආකාරය මම ඉගෙනගත් බව විශ්වාස කරන තෙක් ඇය බොහෝ රාත්‍රීන් මෙම රටාව දිගටම කරගෙන ගියා. යාච්ඤා කිරීමට මට ඉගැන්වීම ගැන මම ඇයට සදහටම කෘතඥ වෙනවා, මක්නිසාද මාගේ ස්වර්ගික පියාණන් මාගේ යාච්ඤා වලට සවන්දී ඒවාට පිළිතුරු දෙන බව මම ඉගෙනගත්තා.

ඇත්තවශයෙන්ම, එය මගේ ලැයිස්තුවට ඇතුළත් කළ තවත් ආශිර්වාදයක්—එනම් ස්වාමින්වහන්සේගේ කැමැත්ත ඇසීමට හා ඉගෙනගැනීමට හැකි ත්‍යාගයයි. ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්මේ වැදගත් අංගයක් වන්නේ අපට අවශ්‍ය ඕනෑම වේලාවක උන්වහන්සේ සමඟ සන්නිවේදනය කිරීමේ අවස්ථාවයි.

ස්වාමින්වහන්සේගෙන් ආරාධනයක්

ගැලවුම්කාරුවාණන් උන්වහන්සේගේ නැවත නැඟිටීමෙන් පසු අමෙරිකාවට ගිය විට, උන්වහන්සේ ගලීලයේ තම ගෝලයන්ට දුන් ආරාධනයක් නැවතත් කළා. උන්වහන්සේ මෙසේ පැවසුවා:

“ඉල්ලාපල්ලා, එවිට නුඹලාට දෙනු ලැබේ; සොයාපල්ලා, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරපල්ලා, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.

“ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට දොර හරිනු ලැබේ” (නෙපි 14:7–8); තවත් බලන්න මතෙව් 7:7–8).

අපගේ අනාගතවක්තෘ සභාපති රසල් එම්. නෙල්සන්, අපේ කාලයේදීද එවැනිම ආරාධනයක් ලබාදී තිබෙනවා. ඔහු මෙසේ පැවසුවා: “ඔබගේ කනස්සල්ල, ඔබගේ භය, ඔබගේ දුර්වලකම්—ඔව්, ඔබේ හදවතේ ඇති ආශාවන් පිළිබඳව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරන්න. ඉන්පසු, ඇහුම්කන්දෙන්න! ඔබේ මනසට එන සිතුවිලි ලියන්න. ඔබේ හැඟීම් සටහන් කර ක්‍රියාත්මක වීමට ඔබව පොළඹවන ක්‍රියාවන් ඔස්සේ අනුගමනය කරන්න. ඔබ මෙම ක්‍රියාවලිය දිනෙන් දින, මාසයෙන් මාසය, වසරින් වසර නැවත නැවතත් කරන විට, ඔබ ‘එළිදරව් ලබාගැනීමේ මූලධර්මය දක්වා වර්ධනය වේ.’” 2

සභාපති රසල් එම්. නෙල්සන් තවදුරටත් එකතුකරමින් මෙසේ පවසා සිටියා, “එලඹෙන දිනයන්හිදී, මගපෙන්වීම, මෙහෙයවීම, සැනසීම සහ ශුද්ධාත්මයාණන්ගේ නිසැක ආනුභාවයෙන් තොරව ආත්මිකව බේරෙන්නට අපහසු වනු ඇත.” 3

එළිදරව් කිරීම අපගේ අධ්‍යාත්මික පැවැත්මට අත්‍යවශ්‍ය වන්නේ ඇයි? මන්ද ලෝකය අවුල් සහගත, ඝෝෂාකාරී මෙන්ම රැවටීම් හා අවධානය වෙනතකට යොමුවීම් වියහැකි නිසායි. ස්වාර්ගික පියාණන්වහන්සේ සමඟ අපගේ සන්නිවේදනය, සත්‍යය සහ අසත්‍යය දේ මෙන්ම අප වෙනුවෙන් ස්වාමින්වහන්සේගේ සැලැස්මට අදාළ දේ සහ නැති දේ අනුව වර්ග කිරීමට, අපට හැකියාව ලබාදෙනවා. ලෝකය රළු හා හද කම්පා කරවන සුළුද විය හැකියි. නමුත් අපි යාච්ඤාවෙන් අපගේ හදවත් විවෘත කරන විට, ස්වර්ගයේ සිටින අපගේ පියාණන්ගෙන් ලැබෙන සැනසීම සහ උන්වහන්සේ අපට ප්‍රේම කරන හා අගය කරන බවට සහතිකයක් අපට දැනෙයි.

අසන්න

ස්වාමින්වහන්සේ මෙසේ පවසනවා “ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ.” ඉල්ලීම සරල බව පෙනේ, නමුත් එය බලවත් වන්නේ එය අපගේ ආශාවන් සහ අපගේ ඇදහිල්ල හෙළි කරන බැවිනුයි. කෙසේවෙතත්, ස්වාමින්වහන්සේගේ හඬ තේරුම්ගැනීමට ඉගෙනගැනීම සඳහා කාලය සහ ඉවසීම අවශ්‍යයි. අපගේ මනසට සහ හදවතට එන සිතුවිලි සහ හැඟීම් කෙරෙහි අපි අවධානය යොමුකරන අතර, අපගේ අනාගතවක්තෘවරයා අපට උපදෙස් දී ඇති පරිදි අපි ඒවා ලියා තබනවා. අපගේ හැඟීම් සටහන් කිරීම, ලැබීමේ වැදගත් කොටසක්. ස්වාමින්වහන්සේ අපට උගන්වන දේ සිහිපත් කිරීමට, සමාලෝචනය කිරීමට සහ නැවත හැඟීමට එය අපට උපකාර කරනවා.

මෑතකදී ආදරණීය කෙනෙක් මට මෙසේ පවසා සිටියා, “පුද්ගලික හෙළිදරව්ව සත්‍යයක් කියා මම විශ්වාස කරනවා. මා කළ යුතු සියල්ල ශුද්ධාත්මයාණන්වහන්සේ මට පෙන්වනු ඇතැයි මම විශ්වාස කරනවා. 4 නිසැක ඒත්තුගැන්වීමත් සමඟ මගේ ලය පිළිස්සෙන බවක් දැනෙන විට විශ්වාස කිරීම පහසුයි. 5 නමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නිතරම මේ ආකාරයෙන් කතාකරවීමට මට හැකිවන්නේ කෙසේද?”

ආත්මයෙන් ලැබෙන එම ප්‍රබල හැඟීම් නිරන්තරයෙන් දැනීමටත්, අනුගමනය කළ යුතු මාවත පැහැදිලිව දැකීමට මමද කැමති බව, මගේ ආදරණීයයාට සහ ඔබ සැමට කීමට මම කැමතියි. නමුත් මටද එසේ නැත. කෙසේවෙතත්, අපට බොහෝවිට දැනිය හැකි දෙය නම් ස්වාමින්වහන්සේගේ කුඩා සහ මෘදු හඬ අපගේ මනසට සහ හදවතට, කොඳුරා මෙසේ කීමයි: “මම මෙහි සිටිනවා. මම ඔබට ආදරෙයි. ඉදිරියට යන්න; ඔබගේ උපරිමය කරන්න. මම ඔබට සහාය දෙමි.” අපට සැමවිටම සියල්ල දැනගැනීමට හෝ සියල්ල දැකීමට අවශ්‍ය නෑ.

මෘදු කුඩා හඬ නැවත නැවතත් තහවුරු කරනවා, දිරිගන්වනවා සහ සනසවනවා—බොහෝවිට අපට දිනකට අවශ්‍ය දේ එය පමණයි. ශුද්ධාත්මයාණන්වහන්සේ සැබෑයි, උන්වහන්සේගේ—විශාල හා කුඩා හැඟීම් සැබෑයි.

සොයන්න

ස්වාමින්වහන්සේ තවදුරටත් මෙසේ පොරොන්දු වුණා, “සොයන්නාට, සම්බ වේ.” සෙවීම යන්නෙන් අදහස් කරන්නේ මානසික හා අධ්‍යාත්මික වෑයමක් වන—මෙනෙහි කිරීම, පරීක්ෂා කිරීම, උත්සාහ කිරීම සහ අධ්‍යයනය කිරීමයි. අපි සොයන්නේ ස්වාමින්වහන්සේගේ පොරොන්දු විශ්වාස කරන නිසායි. “දෙවියන්වහන්සේ වෙතට ලඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යාමාන වන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්නට අවශ්‍යයි” (හෙබ්‍රෙව් 11:6). අප සොයන විට, අපට තව බොහෝදේ ඉගෙනගැනීමට ඇති බව අපි නිහතමානීව පිළිගන්නා අතර, ස්වාමින්වහන්සේ අපගේ අවබෝධය පුළුල් කර, තවත් බොහෝදේ ලබාගැනීමට අපව සූදානම් කරනවා. “මක්නිසාද බලන්න ස්වාමි වූ දෙවියන්වහන්සේ කියන සේක: මම මනුෂ්‍ය දරුවන් වෙතට පේලියෙන් පේලියට, ආඥාවෙන් ආඥාවට, මෙහි ටිකක්ය එහි ටිකක් දෙන්නෙමි; … මක්නිසාද ලබාගන්නාවූ තැනැත්තාට මම වැඩියෙන් දෙන්නෙමි” (2 නෙපි 28:30).

තට්ටු කරන්න

අවසානයේදී, ස්වාමින්වහන්සේ කතා කොට, “තට්ටු කරන්නාට, එය විවෘත වන්නේය’යි වදාළ සේක.” තට්ටු කිරීම යනු ඇදහිල්ලෙන් ක්‍රියා කිරීමයි. අප ක්‍රියාශීලීව උන්වහන්සේව අනුගමනය කරන විට, ස්වාමින්වහන්සේ අප ඉදිරියේ මාර්ගය විවෘත කරනවා. අපට මෙලෙස උගන්වන ලස්සන ගීතිකාවක් තිබෙනවා “[අපගේ] ඉහළ ඇති මන්දිරය පිළිබඳව සිහින දකිනවාට වඩා අවදි වී යමක් කරන්න. යහපත කිරීම සතුටකි, මැනිය නොහැකි ප්‍රීතියකි, යුතුකම හා ප්‍රේමයේ ආශිර්වාදයකි.” 6 දොළොස්දෙනාගේ ගණපූරණයෙහි වැඩිහිටි ගෙරිට් ඩබ්ලිව්. ගොන්ග් මෑතකදී පැහැදිලි කර සිටියේ අප යහපත කරන අතරතුර එළිදරව් බොහෝවිට පැමිණෙන බවයි. ඔහු මෙසේ පැවසුවා: “අප අවට සිටින අයට සේවය කිරීමට අප උත්සාහ කරන විට, ස්වාමින්වහන්සේ අපට උන්වහන්සේගේ ප්‍රේමයේ අමතර මිනුමක් ඔවුන් සදහා මෙන්ම එසේ හෙයින් අප වෙනුවෙන්ද ලබාදෙනවා කියා මම සිතනවා. මම සිතනවා අප අවට සිටින අයට උපකාර කරන ලෙස අපි යාච්ඤා කරන විට අපට උන්වහන්සේගේ හඬ ඇසෙන අතර—අපට උන්වහන්සේව වෙනත් ආකාරයකින් දැනෙනවා—මන්ද එය උන්වහන්සේට වඩාත්ම පිළිතුරු දිය යුතු යාච්ඤා වලින් එකක් වන නිසායි.” 7

ඇල්මාගේ උදාහරණය

මාගේ ආශිර්වාද ගැන සිතා බැලීමට එන්න, මා අනුගමනය කරන්න හි තිබූ එම සරල යෝජනාව මිහිරි ආත්මයක් සහ අනපේක්ෂිත අධ්‍යාත්මික අවබෝධයක් ගෙන ආවා. ඇල්මා සහ අම්මොනිහා හි ඔහුගේ දේවසේවය ගැන මම දිගින් දිගටම කියවන විට, ඇල්මා ඇසීම, සෙවීම සහ තට්ටු කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්නට හොඳ උදාහරණයක් සපයන බව මම සොයාගත්තා. උන්වහන්සේ තම ආත්මය ජනතාව පිටට වගුරුවන පිණිස, ඇල්මා ආත්මයෙන් බලවත් සේ වෙහෙස වී, බලවත් යාච්ඤාවෙන් දෙවියන්වහන්සේ සමඟ පොරබැදූ බව” අපට කියවිය හැකියි. කෙසේවෙතත්, එම යාච්ඤාවට ඔහු බලාපොරොත්තු වූ ආකාරයට පිළිතුරු නොලැබුණු අතර ඇල්මා නගරයෙන් නෙරපා හරින ලදි. ඇල්මා “වේදනාවෙන් පහතට බරකරනු ලැබ,” අතහැරීමට ආසන්නව සිටියදී, දේවදූතයෙකු මෙම පණිවිඩය ලබාදුන්නා: “ඇල්මා නුඹ ආශිර්වාද ලද්දෙක්ය; එසේ හෙයින් නුඹගේ හිස ඔසවා ප්‍රීතිවන්න, මක්නිසාද නුඹට ප්‍රීතිවන්න බලවත් කාරණාවක් ඇත්තේය.” දේවදූතයා ඔහුට අම්මොනිහා වෙත ගොස් නැවත උත්සාහ කරන්නැයි පැවසූ අතර, අල්මා “ඉක්මනින් ආපසු හැරී ආවේය.” 8

ඇසීම, සෙවීම සහ තට්ටු කිරීම ගැන අපි ඇල්මාගෙන් ඉගෙනගන්නේ කුමක්ද? යාච්ඤාවට ආත්මික ශ්‍රමය අවශ්‍ය බව මෙන්ම එය සැමවිටම අප බලාපොරොත්තු වන ප්‍රතිඵලයට මගපාදන්නේ නැති බව අපි ඉගෙනගන්නවා. නමුත් අප අධෛර්යයට පත්වූ විට හෝ වේදනාවෙන් පහතට බරවී සිටින විට, ස්වාමින්වහන්සේ අපට විවිධාකාරයෙන් සැනසිල්ල හා ශක්තිය ලබාදෙනවා. උන්වහන්සේ අපගේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු නොදෙන හෝ අපගේ සියලු ගැටලු වහාම විසඳන්නේ නැති විය හැකියි; ඒ වෙනුවට, දිගටම උත්සාහ කිරීමට උන්වහන්සේ අපව දිරිමත් කරනවා. එවිට අපි අපගේ සැලැස්ම උන්වහන්සේගේ සැලැස්ම සමඟ වේගයෙන් පෙළගස්වන්නේ නම්, උන්වහන්සේ ඇල්මා වෙනුවෙන් කළාක් මෙන් අපට ද මාර්ගය විවෘත කරනවා.

මෙය ශුභාරංචියේ පූර්ණත්වයේ කාල පරිච්ඡේදය බව මාගේ සාක්ශියයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමෙහි ආශිර්වාද අපගේ ජීවිත තුළ භුක්තිවිඳිය හැකියි. අපට පුළුල් ලෙස ශුද්ධලියවිලි ලබාගත හැකි ආකාරයෙන් තිබෙනවා. අප ජීවත් වන දුෂ්කර කාලයන් සඳහා ස්වාමින්වහන්සේගේ කැමැත්ත අපට උගන්වනු ලබන අනාගතවක්තෘවරුන් විසිනි අපව මෙහෙයවනු ලබනවා. ඊට අමතරව, අපට අපගේම එළිදරව් වෙත ප්‍රවේශයක් ඇති බැවින් ස්වාමින්වහන්සේට අපව පෞද්ගලිකව සැනසීමට සහ මගපෙන්වීමට හැකියි. දේවදූතයා ඇල්මාට පැවසූ පරිදි, අපට “ප්‍රීතිවීමට බලවත් කාරණයක් ඇත.” (ඇල්මා 8:15). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.