ප්‍රධාන සම්මන්ත්‍රණය
මම දේවදූතයන් කෙරෙහි විශ්වාස කරමි
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


මම දේවදූතයන් කෙරෙහි විශ්වාස කරමි

ඔබ මුහුණදෙන අභියෝග ගැන සවාමින්වහන්සේ දන්නවා. උන්වහන්සේ ඔබව හඳුනනවා, උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා, ඔබට උදව් කිරීමට උන්වහන්සේ දේවදූතයන් එවනු ඇති බවට මම ඔබට පොරොන්දු වෙනවා.

සහෝදර සහෝදරියනි, මම දේවදූතයන් කෙරෙහි විශ්වාස කරන අතර, ඔවුන් සමඟ ඇති මගේ අත්දැකීම් ඔබ සමඟ බෙදා ගැනීමට මම කැමතියි. එසේ කිරීමෙන්, අපගේ ජීවිතයේ දේවදූතයන්ගේ වැදගත්කම අප හඳුනා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

මෙන්න පසුගිය ප්‍රධාන සම්මන්ත්‍රණයකදී වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ්ගේ වචන: “දෙවියන්වහන්සේගේ දෑතේ මෙවලම් වන අය පිළිබඳව අපි කතා කරන විට සියලු දේවදූතයන් තිරයෙන් අනෙක් පැත්තෙන් නොවන බව අපට මතක් කර දෙනවා. මෙහි, දැන්, සෑම දිනකම—ඔවුන්ගෙන් සමහරක් සමඟ අපි ඇවිදිනවා, කතාකරනවා. ඔවුන්ගෙන් සමහරක් අපගේ අසල්වැසි වටපිටාවේ වාසය කරනවා. … ඇත්තවශයෙන්ම, දෙවියන්වහන්සේගේ ප්‍රේමය මිනිසුන්ගේ කරුණාව හා භක්තිය තුළින් එතරම් යහපත් හා නිර්මල ලෙස විදහා දැක්වෙන විට ස්වර්ගය කිසිදිනෙක මෙතරම්ම සමීප වී තිබී නැති බවක් පෙනෙන්නට තිබෙනවාද කියනවානම්, එවිට මතකයට එන එකම වචනය දේවදූතමය” යන්නයි (“The Ministry of Angels,” Liahona, Nov. 2008, 30).

මට කතා කිරීමට අවශ්‍ය වන්නේ තිරයෙන් මේ පැත්තේ සිටින දේවදූතයන් ගැනයි. අපගේ එදිනෙදා ජීවිතයේදී අප අතර ඇවිදින දේවදූතයන් දෙවියන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමයේ ප්‍රබල මතක් කිරීමක් වෙනවා.

මා සඳහන් කරන පළමු දේවදූතයන් නම්, මා තරුණ වියේදී මට ශුභාරංචිය ඉගැන්වූ ධර්මදූත සහොර්දරියන් දෙදෙනා වන; විල්මා මොලීනා සහෝදරිය සහ අයිවොනෙට් රිවිටි සහෝදරියයි. මටත් මගේ නැගණියටත් සභාවේ ක්‍රියාකාරකමකට ආරාධනා ලැබුණු අවස්ථාවේ අපට මෙම දේවදූතයන් දෙදෙනා මුණගැසුණා. එම සරල ක්‍රියාකාරකම මගේ ජීවිතය කොතරම් වෙනස් කරන්නට ඇත්දැයි මම කිසිවිටෙකත් සිතුවේ නෑ.

මගේ දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් එකල සභාව ගැන වැඩිදුර ඉගෙනීමට උනන්දු වූයේ නැහැ. ධර්මදූතයන් අපේ නිවසට පමිණෙනවාට පවා ඔවුන් කැමති වුණේ නැහැ, ඒ නිසා මම සභාවේ ගොඩනැගිල්ලක ධර්මදූත පාඩම් ඉගෙනගත්තා. සභාවේ තිබූ එම කුඩා කාමරය මගේ “පූජනීය තුරුවදුල” බවට පත්වුණා.

රූපය
තරුණ වැඩිහිටි ගොඩොයි ඔහුගේ සහෝදරිය සමගින්

මෙම දේවදූතයන් මාව ශුභාරංචියට හඳුන්වාදී මාසයකට පසු මම බෞතිස්ම වුණා. එවිට මට වයස අවුරුදු 16 යි. අවාසනාවකට, එම පූජනීය සිදුවීම පිළිබඳ පින්තූරයක් මා සතුව නැහැ, නමුත් අප එම ක්‍රියාකාරකමට සහභාගී වූ අවස්ථාවේ ගත් මගේ සහ මගේ සහෝදරියගේ පින්තූරයක් තිබෙනවා. මෙම පින්තූරයේ සිටින්නේ කවුරුන්ද පැහැදිලි කිරීමට සමහරවිට මට අවශ්‍ය වෙයි. දකුණු පැත්තේ සිටින උසම කෙනා මමයි.

ජීවන රටාව වෙනස් වී ඇති සහ තම පවුල එකම මාවතක ගමන් නොකරන තරුණයෙකුට සභාවේ ක්‍රියාකාරීව සිටීම අභියෝගාත්මක වූ බව ඔබට සිතාගත හැකියි.

මගේ නව ජීවිතයට, නව සංස්කෘතියට සහ නව මිතුරන්ට හැඩගැසීමට මම උත්සාහ කරමින් සිටියදී, මට අපහසුතාවයක් දැනුණා. බොහෝ වාරයක් මට තනිකම දැනුණා මෙන්ම අධෛර්යට පත්වුනා. සභාව සත්‍ය බව මම දැන සිටියත්, එහි කොටසක් බව දැනෙන්නට මට අපහසු වුනා. මගේ නව ආගමට අනුගත වීමට උත්සාහ කරන විට අපහසු සහ අවිනිශ්චිත බවක් දැනුනත්, දින–තුනක තරුණයින්ගේ සම්මන්ත්‍රණයකට සහභාගී වීමට මට ධෛර්යය ලැබුණා, එය නව මිතුරන් ඇතිකරගැනීමට උපකාරී වනු ඇතැයි මම සිතුවා. මේ මට මුණිකා බ්‍රැන්ඩෝ නම්, තවත් බේරාගැනීමේ දේවදූතයෙක් මුණගැසුණු අවස්ථාවයි.

රූපය
ගොඩොයි සහෝදරිය

බ්‍රසීලයේ වෙනත් ප්‍රදේශයකින් පදිංචියට පැමිණි ඇය, ප්‍රදේශයට අලුත් කෙනෙක් වුනා. ඇය ඉක්මනින් මගේ අවධානයට ලක්වූ අතර, වාසනාවකට මෙන්, මා මිතුරෙකු ලෙස පිළිගත්තා. මම හිතන්නේ ඇය පිටතට වඩා ඇතුළතින් මා දෙස බැලුවා.

ඇය මා සමඟ මිත්‍ර වූ නිසා මාව ඇගේ මිතුරන් හට හඳුන්වාදුන්නා, මම පසුව සහභාගී වූ තරුණ ක්‍රියාකාරකම් බොහොමයක් අපි එකට භුක්තිවින්ද නිසා ඔවුන් මගේ මිතුරන් බවට පත්වුණා. මෙම නව ජීවිතයට මගේ ඒකාබද්ධතාවයට එම ක්‍රියාකාරකම් බොහෝ තීරණාත්මක වුනා.

රූපය
වැඩිහිටි ගොඩොයිගේ මිතුරන්

මෙම හොඳ මිතුරන් විශාල වෙනසක් සිදුකළ නමුත්, සහයෝගාත්මක පවුලක් සමඟ මගේ නිවසේ ශුභාරංචිය ඉගැන්වීම නොකිරීම නිසා හැරී ඒමේ ක්‍රියාවලිය අවදානමක තිබුණා. සභව තුළ මගේ ශුභාරංචි අන්තර්ක්‍රියා මාගේ වර්ධනය වන හැරී ඒමට වඩාත් තීරණාත්මක වුනා. පසුව තවත් දේවදූතයන් දෙදෙනෙකු ස්වාමින්වහන්සේ විසින් උපකාර සඳහා එවනු ලැබුවා.

ඔවුන්ගෙන් එක්කෙනෙක් නම් මගේ හිමිදිරි උදයේ සෙමනේරි ගුරුවරිය වූ ලෙඩා වෙටෝරියි. ඇයගේ ආදරය සහ ආනුභාවලත් පන්ති පිළිගැනීමෙන්, මගේ දවස පුරාම මට අවශ්‍ය වූ “දෙවියන්වහන්සේගේ යහපත් වචනයෙන්” (මොරෝනි 6:4) මාත්‍රාවක් දිනපතා ඇය මට ලබාදුන්නා. ඉදිරියට යාමට අවශ්‍ය අධ්‍යාත්මික ශක්තිය ලබාගැනීමට මෙය මට උපකාර වුනා.

මට උදව් කිරීම සඳහා එවන ලද තවත් දේවදූතයෙක් වූයේ තරුණයින්ගේ සභාපති මාකෝ ඇන්ටෝනියෝ ෆුස්කෝයි. ඔහු මගේ ජ්‍යෙෂ්ඨ නිවාස ගුරුවර සහකාරයා ලෙසද පත්කෙරුනා. මගේ අත්දැකීම් නොමැතිකම සහ වෙනස් පෙනුමක් තිබියදීත්, අපගේ පූජක ගණපූරණ රැස්වීම් සහ නිවාස ගුරුවර චාරිකා වලදී ඉගැන්වීමට ඔහු මට පැවරුම් ලබාදුන්නා. ඔහු මට ශුභාරංචි නිරීක්‍ෂකයෙකු නොවී ක්‍රියා කිරීමට හා ඉගෙනගැනීමට අවස්ථාව ලබාදුන්නා. මම මාව විශ්වාස කළාට වඩා ඔහු මාව විශ්වාස කළා.

මේ සියලු දේවදූතයන්ට සහ එම වැදගත් මුල් අවදියේදී මට හමුවූ තවත් බොහෝ අයට ස්තූතිවන්ත වන්න, මම සත්‍යය පිළිබඳ අධ්‍යාත්මික සාක්ෂියක් ලබාගත් නිසා ගිවිසුම් මාවතේ රැඳී සිටීමට මට ප්‍රමාණවත් ශක්තියක් ලැබුණා.

ඒ වගේම, මොනිකා නම් වූ එම තරුණ දේවදූත දැරිය? අපි දෙදෙනාම ධර්මදූත සේවය කළ පසු ඇය මගේ බිරිඳ බවට පත්වුණා.

හොඳ මිතුරන්, සභාවේ වගකීම් සහ දෙවියන්වහන්සේගේ යහපත් වචනයෙන් පෝෂණය වීම එම ක්‍රියාවලියේ කොටසක් වීම අහඹු සිදුවීමක් කියා මම සිතන්නේ නැහැ. සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි ඥානවන්තව මෙලෙස ඉගැන්වූවා: “මෙම සභාවට බැඳීමේ සංක්‍රාන්ති සිදුවීම පහසු දෙයක් නොවේ. එයින් අදහස් වන්නේ පැරණි බැඳීම් කපා දැමීමයි. එයින් අදහස් වන්නේ මිතුරන් හැර යාමයි. එහි අර්ථය වන්නේ සමහරවිට ආදරණීය විශ්වාසයන් පසෙකට දැමීමයි. පුරුදු වෙනස් කිරීම සහ ආහාර රුචිය මර්දනය කිරීම අවශ්‍ය විය හැකියි. බොහෝ අවස්ථාවන්හි එහි අර්ථය තනිකම සහ නොදන්නා අයට බිය වීමයි. හැරී එන්නෙකුගේ ජීවිතයේ මෙම දුෂ්කර කාලය තුළ පෝෂණය හා ශක්තිමත් කිරීම තිබිය යුතුය” (“There Must Be Messengers,” Ensign, Oct. 1987, 5).

පසුව ඔහු මෙසේ ඉගැන්වූවා, “ඔවුන් සෑම කෙනෙකුටම කරුණු තුනක් අවශ්‍යයි: මිතුරෙකු, වගකීමක් සහ ‘දෙවියන්වහන්සේගේ යහපත් වචනය’ සමඟ පෝෂණය කිරීම’” (“Converts and Young Men,” Ensign, May 1997, 47).

මම මේ අත්දැකීම් ඔබ සමඟ බෙදාගන්නේ ඇයි?

පළමුව, ඒ හා සමාන ක්‍රියාවලියක් හරහා යන අයට පණිවිඩයක් ලබාදීමටයි. සමහරවිට ඔබ අලුතින් හැරී එන්නෙකු විය හැකියි, නැතිනම් ටික කලක් සභාව තුළ අක්‍රීයව සිට නැවත සහාවට පැමිණ සිටිනවා විය හැකියි එසේත් නැතිනම් අයත් බව හැඟීමට අරගල කරන කෙනෙක් විය හැකියි. කරුණාකර, කරුණාකර, මෙම විශාල පවුලේ සාමාජිකයෙකු වීමට ඔබ ගන්නා උත්සාහය අත්හරින්න එපා. මෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවයි.

ඔබේ සතුට හා ගැලවීම ගැන කතා කරන විට, නැවත නැවතත් උත්සාහ කිරීමේ ප්‍රයතනයන් වටිනවා. ඔබේ ජීවන රටාව හා සම්ප්‍රදායන් හැඩගස්වා ගැනීමට උත්සාහ කිරීම වැදගත්. ඔබ මුහුණදෙන අභියෝග ගැන සවාමින්වහන්සේ දන්නවා. උන්වහන්සේ ඔබව හඳුනනවා, උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා, ඔබට උදව් කිරීමට උන්වහන්සේ දේවදූතයන් එවනු ඇති බවට මම ඔබට පොරොන්දු වෙනවා.

ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේම වචන වලින් මෙසේ පැවසුවා: “මම ඔබේ අභිමුඛයෙහි ගමන් කරනවා. මම ඔබේ දකුණතෙහි සහ වම් පැත්තෙහි සිටිමි, එමෙන්ම ඔබ දරා සිටිනු පිණිස මාගේ ආත්මය ඔබේ [හදවතේ] ද, මාගේ දූතයන් ඔබ වටාද සිටිනු ඇත”(දහම සහ ගිවිසුම් 84:88).

මෙම අත්දැකීම් බෙදාගැනීම සඳහා මගේ දෙවන අරමුණ වන්නේ සභාවේ සියලුම සාමාජිකයින්ට–අප සැමට පණිවිඩයක් ලබාදීමයි. නව හැරී එන්නන්ට, නැවත පැමිණෙන මිතුරන්ට සහ වෙනස් ජීවන රටාවක් ඇති අයට ක්ෂණිකව ගැලපීම පහසු නොවන බව අප මතක තබාගත යුතුයි. ඔවුන් මුහුණදෙන අභියෝග ගැන සවාමින්වහන්සේ දන්නා අතර උන්වහන්සේ උපකාර කිරීමට කැමති දේවදූතයන් සොයමින් සිටිනවා. ස්වාමින්වහන්සේ සැමවිටම අන් අයගේ ජීවිත වල ස්වේච්ඡාවෙන්ම දේවදූතයන් වීමට කැමති අයව සොයනවා.

සහෝදර සහෝදරියනි, ස්වාමින්වහන්සේගේ දෑතෙහි මෙවලමක් වීමට ඔබ කැමතිද? මෙම දේවදූතයන්ගෙන් කෙනෙකු වීමට ඔබ කැමතිද? තිරයෙන් මේ පසෙහි උන්වහන්සේ කනස්සල්ලට පත්ව සිටින කෙනෙකු වෙනුවෙන් දෙවියන්වහන්සේ විසින් එවන ලද පණිවිඩකරුවෙකු වීමට ඔබ කැමතිද? උන්වහන්සේට ඔබව අවශ්‍යයි. ඔවුන්ට ඔබව අවශ්‍යයි!

ඇත්තවශයෙන්ම, අපට සෑමවිටම අපගේ ධර්මදූතයන් කෙරෙහි විශ්වාසය තැබිය හැකියි. ඔවුන් සැමවිටම එහි සිටින අතර, මෙම දේවදූත කාර්‍යය සඳහා බඳවා ගන්නා පළමු අයයි. නමුත් ඔවුන් පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ.

ඔබ පරික්ෂාකාරීව අවට බැලුවහොත්, ඔබට දේවදූතයෙකුගේ උපකාර අවශ්‍ය බොහෝදෙනෙක් සොයාගත හැකිවෙයි. මෙම පුද්ගලයින් සුදු කමිස, ඇඳුම් හෝ සාමාන්‍ය ඉරිදා ඇඳුමක් ඇඳ නොසිටිනවා විය හැකියි. සමහරවිට ඔවුන් අදෘශ්‍යමාන දැයි සිතමින් සභාවේ හෝ පන්ති කාමරයේ පිටුපසට වී තනිවම වාඩිවී සිටිනවා විය හැකියි. සමහරවිට ඔවුන්ගේ කොණ්ඩා මෝස්තරය ටිකක් වෙනස් හෝ ඔවුන්ගේ වචන මාලාව වෙනස් විය හැකියි, නමුත් ඔවුන් එහි සිටින අතර ඔවුන් උත්සාහ කරමින් සිටියි.

සමහරු මෙසේ කල්පනා කරනවා විය හැකියි, “මම නැවත එනවාද? මම දිගටම උත්සාහ කළ යුතුද?” යම් දවසක තමන්ට පිළිගැනීමක් හා ආදරයක් දැනේවිද කියා තවත් අය කල්පනා කරමින් සිටිනවා වෙන්නට පුළුවන්. මේ දැන්, දේවදූතයන් අවශ්‍යයි; ඔවුන්ව වැලඳගැනීම සඳහා ඔවුන්ගේ සුවපහසුව කලාපයෙන් ඉවත්ව යාමට කැමති දේවදූතයන්; [එම මිනිසුන්] කෙතරම් යහපත්ද පවසනවා නම් [ඔවුන්ව විස්තර කිරීමට] මතකයට එන එකම වචනය දේවදූතමය” යන්නයි (Jeffrey R. Holland, “The Ministry of Angels,” 30).

සහෝදර සහෝදරියනි, මම දේවදූතයන් කෙරෙහි විශ්වාස කරනවා! ආදරණීය මැවුම්කරුවෙකුගේ දෑතේ දිගුවක් ලෙස අන් අයට සේවය කිරීම සඳහා මේ පසු දවස්වල යෝධ දේවදූත සේනාවක් ලෙස, අද අප සියල්ලන්ම මෙහි සිටිනවා. අපි සේවය කිරීමට කැමති නම්, දේවසේවයේ දේවදූතයන් ලෙස සේවය කිරීමට ස්වාමින්වහන්සේ අපට අවස්ථාව ලබාදෙනු ඇති බවට මම ඔබට පොරොන්දු වෙනවා. දේවදූතයන්ගේ උපකාර අවශ්‍ය වන්නේ කා හටදැයි උන්වහන්සේ දන්නා අතර උන්වහන්සේ ඔවුන්ව අපගේ මාවතේ තබයි. ස්වාමින්වහන්සේ දේවදූතයන්ගේ උපකාර අවශ්‍ය අය දිනපතාම අපගේ මාර්ගයට යොමුකරනවා.

මගේ ජීවිත කාලය පුරාම ස්වාමින්වහන්සේ මාගේ මාවතෙහි තැබූ බොහෝ දේවදූතයන් ගැන මම කෘතඥ වෙනවා. ඔවුන් අවශ්‍ය වුනා. වෙනස් වීමට අපට උපකාර කරන සහ වඩා යහපත් වීමට අපට අවස්ථාව ලබාදෙන උන්වහන්සේගේ ශුභාරංචියට මම කෘතඥ වෙනවා.

මෙය ප්‍රේමයේ ශුභාරංචියකි, සේවය කිරීමේ ශුභාරංචියකි. මේ ගැන මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.