ප්‍රධාන සම්මන්ත්‍රණය
බැලීමට දෑස්
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


බැලීමට දෑස්

ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය තුළින්, ක්‍රිස්තුස්වහන්සේ අපට අපවම දැකීමටත් උන්වහන්සේ මෙන් අන් අයව දැකීමටත් අපට හැකියාව ලබාදෙනවා.

දෙවියන්වහන්සේගේ හස්තය දැකීම

පැරණි ගිවිසුමේ අනාගතවක්තෘ එලිෂාට සේවය කළ තරුණයෙකුගේ කතාවට මම ප්‍රිය කරනවා. එක් උදෑසනක මෙම තරුණයා අවදි වී, පිටතට ගොස්, ඔවුන්ව විනාශ කිරීමට විශාල හමුදාවකින් නගරය වටවී ඇති බව සොයාගත්තා. ඔහු එලිශා වෙතට දුව ගියා: “අහෝ මාගේ ස්වාමිනි! අපි කුමක් කරමුද?”

එලිශා මෙසේ පිළිතුරු දුන්නා, “භය නොවන්න: මක්නිසාද ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝය.”

සන්සුන් අස්වැසිල්ලකට වඩා වැඩි යමක් තරුණයාට අවශ්‍ය බව එලිෂා දැන සිටියා; ඔහුට දර්ශනයක් අවශ්‍ය වී තිබුණා. ඒ නිසා “එලිෂා යාච්ඤා කොට: ස්වාමින්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් පැහැදුව මැනවයි කීවේය. තවද ස්වාමින්වහන්සේ තරුණයාගේ ඇස් පැහැදූ සේක; එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය.” 1

සමහර අවස්ථා වල, සේවකයා මෙන්ම,—ඔබව වටලනු ලැබූ බවක් දැනෙන අවස්ථා වල—ලෞකිකත්වයේ අභියෝගයන් ඔබව ඔබේ දණහිස් වලට ගෙන එන විට—දෙවියන්වහන්සේ ඔබේ ජීවිතය තුළ ක්‍රියා කරන්නේ කෙසේදැයි සොයාගැනීමට ඔබ වෙහෙසෙන බවක් ඔබට පෙනෙන්නට පුලුවන්. දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ වේලාව කෙරෙහි බලා සිටින්න, මන්ද ඔබගේ මුළු හදවතම සමඟ උන්වහන්සේගේ හදවත ඔබට විශ්වාස කළ හැකියි. නමුත් මෙහි දෙවන පාඩමක්ද තිබෙනවා. මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබටත්, ඔබ සාමාන්‍යයෙන් නොදකින දේවල් දැකීමට ඔබේ ඇස් ඇරවන ලෙස ස්වාමින්වහන්සේට යාච්ඤා කළ හැකියි.

දෙවියන්වහන්සේ අපව දකින ආකාරයට අපවම දැකීම

සමහර විට අපට පැහැදිලිව දැකගත හැකි වැදගත්ම දේවල් වන්නේ දෙවියන්වහන්සේ යනු කවුරුන්ද යන්න සහ අප සැබවින්ම කවුරුන්ද යන්නයි—එනම් “දිව්‍යමය ස්වභාවයක් හා සදාකාලික ඉරණමක්” ඇති ස්වර්ගීය දෙමාපියන්ගේ පුතුන් හා දියණියන් වන බවයි. 2 දෙවියන්වහන්සේට ඔබ ගැන හැඟෙන ආකාරය සමඟ මෙම සත්‍යයන් ඔබට හෙළි කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න. ප්‍රාණයේ ගැඹුරින්ම, ඔබේ සැබෑ අනන්‍යතාවය සහ අරමුණ ඔබ තේරුම්ගන්නා තරමටම, එය ඔබේ ජීවිතයේ සෑම දෙයකටම බලපානවා.

අන් අයව දැකීම

දෙවියන්වහන්සේ අපව දකින ආකාරය තේරුම්ගැනීම උන්වහන්සේ මෙන් අන් අයව දැකීමට අපට උපකාර කිරීමට මාර්ගය සූදානම් කරනවා. තීරු රචක ඩේවිඩ් බෲක්ස් මෙහෙම කිව්වා: “අපේ සමාජයේ බොහෝ ගැටලු ගලා එන්නේ තමන්ව දකින්නේ හෝ දන්නේ නෑ ලෙස හැඟෙන අයගෙනි. … අප සැම හොඳින් පුහුණු විය යුතු මූලික … ගති ලක්ෂණයක් ඇත, ඒ එකිනෙකා ගැඹුරින් දැකීමේ හා ගැඹුරින් පෙනීමේ ගති ලක්ෂණයයි.” 3

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මිනිසුන්ව ගැඹුරින් දකිනවා. උන්වහන්සේ පුද්ගලයන්ව, ඔවුන්ගේ අවශ්‍යතා සහ ඔවුන් විය හැක්කේ කවුරුන්ද යන්න දකිනවා. අන් අය ධීවරයන්, පව්කාරයන් හෝ අයබදු එකතු කරන්නන් දුටු තැන යේසුස්වහන්සේ දුටුවේ ගෝලයන්වයි; යක්ෂයන් වැසී සිටින මිනිසෙකුව අනෙක් අය දුටු විට, යේසුස්වහන්සේ බාහිර පීඩනයෙන් ඔබ්බට බලා, එම මිනිසාව පිළිගෙන, ඔහුව සුව කළා. 4

අපගේ කාර්යබහුල ජීවිතයේදී පවා, අපට යේසුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කර— පුද්ගලයන්ගේ අවශ්‍යතා, ඔවුන්ගේ ඇදහිල්ල, ඔවුන්ගේ අරගලය සහ ඔවුන්ට කවුරුන් විය හැකිද යන්න ඔවුන්ගෙන් දැකිය හැකියි. 5

සාමාන්‍යයෙන් නොපෙනෙන දේවල් දැකීමට මාගේ දෑස් විවර කරන ලෙස මම ස්වාමින්වහන්සේට යාච්ඤා කරන විට, මම බොහෝ විට මගෙන්ම ප්‍රශ්න දෙකක් අසන අතර එන හැඟීම් කෙරෙහි අවධානය යොමුකරනවා: “මම කිරීම නතර කළ යුතු නමුත් මම කරන දේවල් මොනවාද?” සහ “මම කරන්නට ආරම්භ කළ යුතු නමුත් මම නොකරන දේවල් මොනවාද?” 6

මාස ගණනාවකට පෙර, සක්‍රමේන්තුව අතරතුර, මම මෙම ප්‍රශ්න මාගෙන්ම ඇසූ අතර, පැමිණි එම හැඟීම ගැන පුදුමයට පත්වුණා. “ඔබ පෝලිම් වල බලා සිටින විට ඔබගේ දුරකථනය දෙස බැලීම නවත්වන්න.” පෝලිම් වල සිටින අතරතුර මගේ දුරකථනය දෙස බැලීම ස්වයංක්‍රීයවම සිදුවන දෙයක්; ඊමේල් පරීක්ෂා කිරීම, සිරස්තල බැලීම, හෝ සමාජ මාධ්‍ය පිටු හරහා එහා මෙහා යාම වැනි බහු කාර්යයන් කිරීමට මෙය හොඳ කාලයක් බව මට හිතුනා.

ඊළඟ දවසේ උදේ, මට සාප්පුවේ දිගු පෝලිමක බලාගෙන සිටින්නට වුණා. මම මගේ දුරකථනය එලියට ගත්තා නමුත් පසුව මට ලැබුණු හැඟීම සිහිපත් වුණා. මම මගේ දුරකථනය ඉවතට දමා වටපිට බැලුවා. වයසක මහත්තයෙකු පෝලිමේ මට ඉදිරියෙන් සිටිනවා මම දැක්කා. බළලුන් සඳහා වූ ආහාර ටින් කිහිපයක් හැර ඔහුගේ සාප්පු ට්‍රොලිය හිස්වෙලා තිබුණා. මට ටිකක් අමුතු බවක් දැනුනත්, “ඔබට බළලෙකු ඉන්නවා වගේ නේද” වැනි ඉතා දක්ෂ දෙයක් මම පැවසුවා. කුණාටුවක් පැමිණෙන බවත්, බළලුන්ගේ ආහාර නොමැතිව සිටීමට ඔහුට අවශ්‍ය නැති බවත් ඔහු පැවසුවා. අපි කෙටියෙන් එලෙස හමුවුනා, පසුව ඔහු මා දෙසට හැරී, “ඔබ දන්නවාද, මම මේ ගැන කාටවත් පවසා නැහැ, නමුත් අද මගේ උපන් දිනය.” මගේ හදවත උණු වුණා. මම ඔහුට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කළ අතර, මාගේ දුරකථනයේ නොසිටීම ගැනත් ඒ නිසා අවශ්‍ය වෙනත් පුද්ගලයෙකුව සැබවින්ම හමුවීමට සහ ඔහු සමග සම්බන්ධ වීමට අවස්ථාවක් මග නොහැරීම ගැනත්, නිහඬ ස්තූතියක් පිරිනැමුවා.

එදෙස බලා මගහැර ගිය—ජෙරිකෝවට යන පාරේ පූජකයා හෝ ලෙවි වරයා මෙන් වීමට මාගේ මුළු හදවතින්ම මට අවශ්‍ය වුනේ නෑ. 7 නමුත් බොහෝ විට මම එසේ යැයි මට සිතෙනවා.

මා වෙනුවෙන් වූ දෙවියන්වහන්සේගේ කාර්යය දැකීම

රොස්ලින් නම් තරුණියකගෙන් ගැඹුරින් දැකීම ගැන මම මෑතකදී වටිනා පාඩමක් ඉගෙනගත්තා.

අවුරුදු 20 ක් වයසැති ඇගේ ස්වාමිපුරුෂයා ඉවත්ව යන විට මහත් සේ අසරණ වූ මගේ මිතුරිය මෙම කතාව මා සමඟ බෙදාගත්තා. ඇගේ දරුවන් දෙමව්පියන් අතර කාලය වෙන් කිරීමත් සමඟම, සභාවට තනිව යාමේ අපේක්ෂාවේ බියකරු බවක් පෙනෙන්නට තිබුණා. ඇය එය මෙසේ සිහිපත් කරනවා:

“පවුලට අතිශයින්ම වැදගත්කමක් දී ඇති සභාවක, තනිවම වාඩිවී සිටීම වේදනාකාරී විය හැකියි. ඒ පළමු ඉරිදා මම ඇවිද යමින් යාච්ඤා කළේ කිසිවෙකු මට කතා නොකරන ලෙසයි. මම එය අමාරුවෙන් දරාගෙන සිටි අතර, ඇස් අග කඳුලු පිරී තිබුණා. බංකුව කෙතරම් හිස්දැයි කිසිවෙකු නොදකිනු ඇතැයි බලාපොරොත්තුවෙන්, මම මගේ සාමාන්‍ය ස්ථානයේම වාඩිවී සිටියා.

“අපේ කොට්ටාශයේ තරුණ ගැහැණු ළමයෙන් හැරී මා දෙස බැලුවා. මම හිනාවෙනවා වගේ පෙන්නුවා. ඇයත් හිනාවුණා. ඇගේ මුහුණේ ඇති සැලකිල්ල මට දැකගත හැකිවුණා. ඇය මා සමඟ කතා කිරීමට නොඑන ලෙස මම නිහඬව ආයාචනා කළා—මට කීමට ධනාත්මක කිසිවක් නොමැති අතර මට ඇඬෙන බව මම දැන සිටියා. මම මගේ පහළ ඔඩොක්කුව දෙස බලා ඇය දෙස බැලීම මගහැරියා.

“ඊළඟ පැය අතරතුර, ඇය ඉඳහිට මා දෙස බලන අයුරු මම දුටුවා. රැස්වීම අවසන් වූ විගස ඇය මා දෙසම බලා සිටියා. ‘හායි, රොස්ලින්,’ මම හෙමින් කිව්වා. ඇය මාව දෑතින්ම බදාගෙන, ‘ස්මිත් සහෝදරිය, අද ඔබට නරක දවසක් කියා මට කියන්න පුළුවන්. මට සමාවෙන්න. මම ඔබට ආදරෙයි.’ කලින් සිතූ පරිදිම, ඇය නැවත මා වැළඳගත් විට කඳුළු ගලාගෙන ආවා. නමුත් මම ඉවත්ව යන විට, ‘සමහර විට මට මෙය කළ හැකියි’ කියා මම සිතුවා.

රූපය
රොසලින් සහ ස්මිත් සහෝදරිය

“මගේ වයසෙන් අඩකටත් වඩා අඩු, 16 හැවිරිදි එම සුන්දර තරුණ ගැහැණු ළමයා, අවුරුද්දේ ඉතිරි කාලය පුරාවටම සෑම ඉරිදාවකම මාව සොයාගෙන මාව වැළඳගෙන, ‘ ඔබට කොහොමද?’ කියා ඇසුවා. සභාවට පැමිණීම ගැන මට හැඟුණු ආකාරයට එය විශාල වෙනසක් ඇති කළා. සත්‍ය නම් මම එම වැළඳගැනීම් මත රඳා සිටීමට පටන් ගැනීමයි. යමෙක් මාව දැක්කා. මම එතන ඉන්නවා කියලා යමෙක් දැනගෙන හිටියා. යමෙක් සැලකිලිමත් වුණා.”

පියාණන්වහන්සේ කැමැත්තෙන් ඉදිරිපත් කරන සෑම ත්‍යාගයක් මෙන්ම, ගැඹුරින් බැලීමට අපට උන්වහන්සේගෙන් ඉල්ලීමට—හා ඉන්පසු ක්‍රියා කිරීමට අවශ්‍ය වෙනවා. අසීමිත හා දිව්‍යමය හැකියාවන් ඇති උන්වහන්සේගේ සැබෑ පුතුන් හා දියණියන් ලෙස—උන්වහන්සේ දකින ආකාරයට අන් අයව දකින්නට ඉල්ලා සිටින්න. ඉන්පසු පෙළඹවීම් ලැබෙන පරිදි ප්‍රේම කිරීමෙන්, සේවය කිරීමෙන් සහ ඔවුන්ගේ වටිනාකම හා ශක්‍යතාව තහවුරු කර ගැනීමෙන් ක්‍රියා කරන්න. මෙය අපගේ ජීවිතයේ රටාව බවට පත්වන විට, අප “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයන්” බවට පත්වනවා අපට පෙනෙයි. 8 අනෙක් අයට අපගේ හදවත් ඔවුන්ගේ හදවතින් විශ්වාස කළ හැකිවේවි. මෙම රටාව තුළ අපගේ සැබෑ අනන්‍යතාවය සහ අරමුණද අපි සොයාගනියි.

රූපය
ගැලවුම්කරුවාණන් සුවකරමින්

මගේ මිතුරිය එම හිස් පේළියේ තනිවම වාඩිවී සිටියදී වූ තවත් අත්දැකීමක් සිහිපත් කළා, ඇගේ නිවසේ ශුභාරංචිය අනුව ජීවත් වීමේ වසර 20 ක උත්සාහය නිෂ්ඵලද යන්න ගැන ඇය කල්පනා කළා. සන්සුන් අස්වැසිල්ලකට වඩා වැඩි යමක් ඇයට අවශ්‍ය වුණා; ඇයට දර්ශනයක් අවශ්‍ය වී තිබුණා. ඇගේ හදවත විදින ප්‍රශ්නයක් ඇයට දැනුණා. “ඔබ ඒ දේවල් කළේ ඇයි? ඔබ ඒවා කළේ විපාකය සඳහාද, අන් අයගේ ප්‍රශංසාව හෝ අපේක්ෂිත ප්‍රතිඵලය සඳහාද?” ඇය මොහොතකට පසුබට වී, ඇගේ හදවත සෙවූ අතර, පසුව විශ්වාසයෙන් යුතුව පිළිතුරු දීමට ඇයට හැකි වුණා, “මම ඒවා කළේ මම ස්වාමින්වහන්සේට ආදරේ නිසයි. ඒ වගේම මම උන්වහන්සේගේ ශුභාරංචියට ආදරෙයි.” ඇයට පෙනීමට උපකාර කිරීම සඳහා ස්වාමින්වහන්සේ ඇගේ ඇස් විවෘත කළා. මෙම සරල නමුත් බලගතු දෘෂ්ටිය, ඇයගේ තත්වයන් නොතකා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඉදිරියට යාමට ඇයට උපකාරී වුණා.

එය දුෂ්කර වූ විට පවා, අප වෙහෙසට පත්ව සිටින විට පවා, අපි තනිවම සිටින විට පවා, සහ අප බලාපොරොත්තු වූ පරිදි ප්‍රතිඵල නොමැති විට පවා—යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කරන බවත් අපට දැකීමට ඇස් ලබාදෙන බවත් මම සාක්ෂි දරනවා. උන්වහන්සේගේ කරුණාව තුළින්, උන්වහන්සේ අපට ආශිර්වාද කර අපගේ හැකියාව වැඩි කරනවා. ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය තුළින්, ක්‍රිස්තුස්වහන්සේ අපට අපවම දැකීමටත් උන්වහන්සේ මෙන් අන් අයව දැකීමටත් අපට හැකියාව ලබාදෙනවා. උන්වහන්සේගේ උපකාරයෙන්, අපට වඩාත්ම අවශ්‍ය දේ අපට වටහාගත හැකියි. ස්වාමින්වහන්සේගේ හස්තය අපගේ ජීවිතයේ සාමාන්‍ය තොරතුරු තුලින් ක්‍රියාත්මක වන ආකාරය දැකීමට අපට පටන් ගන්නට පුලුවන්—එවිට අපි ගැඹුරින් දකියි.

එවිට, එම ශ්‍රේෂ්ඨ දවසේදී “උන්වහන්සේ පෙනී සිටින විට අපි උන්වහන්සේ මෙන් වන්නෙමු, මක්නිසාද අපට මෙම බලාපොරොත්තුව ලැබෙන පිණිස, උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේව දකින්නෙමු,” 9 මේ මගේ යාච්ඤාවයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. 2 රාජාවලිය 6:15–17.

  2. තරුණ කාන්තා තේමාව, ChurchofJesusChrist.org.

  3. David Brooks, “Finding the Road to Character” (Brigham Young University forum address, Oct. 22, 2019), speeches.byu.edu.

  4. මාර්ක් 5:1–15 බලන්න.

  5. “දෙවිවරුන් හා දේවතාවියන් විය හැකි අය සිටින සමාජයක ජීවත්වීම බැරෑරුම් දෙයකි, ඔබ කතා කරන්නට කිසිඳු උනන්දුවක් නොදක්වන පුද්ගලයා කවදා හෝ, ඔබ එය දැන් දුටුවහොත්, නමස්කාර කිරීමට දැඩි ලෙස ඔබව පොළඹවන කෙනෙකු විය හැකි බව මතක තබාගන්න. … මෙහි සාමාන්‍ය මිනිසුන් නැත” (C. S. Lewis, The Weight of Glory [2001], 45–46).

  6. Kim B. Clark, “Encircled about with Fire” (Seminaries and Institutes of Religion satellite broadcast, Aug. 4, 2015), ChurchofJesusChrist.org.

  7. ලූක් 10:30–32 බලන්න.

  8. මොරෝනි 7:48.

  9. මොරෝනි 7:48; අවධාරණය කිරීම් සහිතව.