ප්‍රධාන සම්මන්ත්‍රණය
අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරන්නෙමු
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරන්නෙමු

ලෝකය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අඩුවෙන් කතා කරන විට, අපි උන්වහන්සේ ගැන වැඩියෙන් කතා කරමු.

අපගේ ආදරණීය මිතුරන් සහ සෙසු ඇදහිලිවන්තයන් වන ඔබ සඳහා මම මාගේ ආදරය ප්‍රකාශ කරනවා. මෙම ලෝක ව්‍යාප්ත වසංගතය අපගේ ජීවිත කඩාකප්පල් කර වටිනා පවුලේ සාමාජිකයන් සහ හිතවත් මිතුරන්ද රැගෙන ඇතිවිට, මෙම පසුගිය මාස කිහිපය තුළ ඔබගේ ඇදහිල්ල හා ධෛර්යය මම අගය කළා.

මෙම අවිනිශ්චිත කාල පරිච්ඡේදය තුළ, යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බව මගේ ස්ථිර සහ නිශ්චිත දැනුමට අසාමාන්‍ය කෘතඥතාවක් මට දැනී තිබෙනවා. ඔබට එසේ හැඟී තිබෙනවාද? අප එකිනෙකා මත බර පැටවී ඇති දුෂ්කරතා තිබෙනවා, නමුත් සෑමවිටම අපට ඉදිරියෙන්, “මම මාර්ගය, සත්‍යය සහ ජීවනය වෙමි” ලෙස නිහතමානීව ප්‍රකාශ කළ තැනැත්තා උන්වහන්සේයි. 1 අපි අපව අන් අයගෙන් ශාරීරිකව ඈත්වීමේ කාලපරිච්ඡේදයක් විඳදරාගන්නා අතරතුර, “මා වෙතට එන්න” කියා ප්‍රේමනීය ලෙස අපට ආරාධනා කරන උන්වහන්සේගෙන් ආත්මිකව ඈත්වී සිටින කාල පරිච්ඡේදයක් අප කිසිවිටෙකත් විඳදරාගත යුතු නෑ. 2

පැහැදිලි අඳුරු අහසේ මගපෙන්වන තාරකාවක් මෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ මාර්ගය ආලෝකවත් කරනවා. උන්වහන්සේ නිහතමානී ගව ඔරුවක් තුළ පොළොවට පැමිණියා උන්වහන්සේ පරිපූර්ණ ජීවිතයක් ගතකළා. උන්වහන්සේ ලෙඩුන්ව සුවකර මළවුන්ව නැඟිට්ටෙව්වා. උන්වහන්සේ අමතක වූ අයට මිතුරෙක්. යහපත කිරීමට, කීකරු වීමට හා එකිනෙකාට ප්‍රේම කිරීමට උන්වහන්සේ අපට ඉගැන්නුවා. උන්වහන්සේ කුරුසියක් මතමත කුරුසිපත් වී, දින තුනකට පසු තේජාන්විතව නැවත නැගී සිටිමින් අපට සහ අප ආදරය කරන අයට මිනීවළෙන් ඔබ්බට ජීවත් වීමට ඉඩලබාදුන්නා. උන්වහන්සේගේ අසමසම දයාවෙන් හා කරුණාවෙන්, උන්වහන්සේ අපගේ පව් සහ දුක් වේදනා තමන්වහන්සේ වෙතට ගෙන, අප පසුතැවිලි වන විට සමාවත් එමෙන්ම ජීවිතයේ කුණාටු තුළ සාමයත් ගෙන එනවා. අපි උන්වහන්සේට ආදරෙයි. අපි උන්වහන්සේට නමස්කාර කරනවා. අපි උන්වහන්සේව අනුගමනය කරනවා. උන්වහන්සේ අපේ ප්‍රාණයන්හි නැංගුරමයි.

පුදුම සහගත ලෙස, මෙම අධ්‍යාත්මික විශ්වාසය අප තුළ වැඩිවෙමින් පවතින විට, ලෝකයේ බොහෝ අය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දන්නේ ඉතා අල්ප වශයෙනුයි, එමෙන්ම ශතවර්ෂ ගණනාවක් තිස්සේ උන්වහන්සේගේ නාමය ප්‍රකාශ කර ඇති ලෝකයේ සමහර ප්‍රදේශ වල යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල හීනවෙමින් පවතිනවා. යුරෝපයේ එඩිතර ශුද්ධවන්තයින් දශක ගණනාවක් තිස්සේ තම රටවල විශ්වාසයන් පිරිහී තිබෙන බව දැක තිබෙනවා. 3 කණගාටුවට කරුණක් නම් මෙහි එක්සත් ජනපදයේ ඇදහිල්ලද අඩුවෙමින් පවතිනවා. මෑත අධ්‍යයනයකින් හෙළිවූයේ පසුගිය වසර 10 තුළ එක්සත් ජනපදයේ මිලියන 30 ක ජනතාවක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය විශ්වාස කිරීමෙන් ඉවත්වී ඇති බවයි. 4 ලොව පුරා බැලූ විට, තවත් අධ්‍යයනයක් අනාවැකි පළකරන්නේ ඉදිරි දශක කිහිපය තුළ ක්‍රිස්තියානි දහම වැලඳගන්නා අයට වඩා දෙගුණයකටත් වඩා වැඩි පිරිසක් ක්‍රිස්තියානි දහම අතහැර යනු ඇති බවයි. 5

ඇත්තවශයෙන්ම, අපි සෑම කෙනෙකුම තෝරාගැනීමේ අයිතියට ගරු කරනවා, නමුත් අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ ප්‍රකාශ කළේ “මේ මාගේ ආදරණීය පුත්‍රයාය, ඔහුට සවන්දෙන්න” යනුවෙනුයි. 6 සෑම දණහිසක්ම නමා, සෑම දිවක්ම යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බව පාපොච්චාරණය කරන දවස පැමිණෙන බව මම සාක්ෂි දරනවා. 7

අපගේ වෙනස්වන ලෝකයට අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද? සමහරු ඔවුන්ගේ ඇදහිල්ල නොසලකා හරින අතරතුර, තවත් සමහරු සත්‍යය සොයනවා. අපි ගැලවුම්කරුවාණන්ගේ නම අපි මත භාරගෙන තිබෙනවා. අප තවත් කළ යුත්තේ කුමක්ද?

සභාපති රසල් එම්. නෙල්සන්ගේ සූදානම

සභාවේ සභාපතිත්වයට කැඳවීමට පෙර මාස වලදී ස්වාමින්වහන්සේ සභාපති රසල් එම්. නෙල්සන්ට ඉගැන්වූ ආකාරය මතකතබාගන්නා විට අපගේ පිළිතුරෙන් කොටසක් පැමිණිය හැකියි. ඔහුගේ කැඳවීමට වසරකට පෙර කතා කරමින් සභාපති නෙල්සන්, මාතෘකා මාර්ගෝපදේශයේ ලැයිස්තුගත කර ඇති යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යන නාමයේ 2,200 යොමුකිරීම් වඩාත් ගැඹුරින් අධ්‍යයනය කිරීමට අපට ආරාධනා කළා. 8

රූපය
සභාපති නෙල්සන් ශුද්ධලියවිලි අධ්‍යනය කරමින්

මාස තුනකට පසු අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණයේදී, ඔහු දශක ගණනාවක් තිස්සේ කැපවූ ගෝලයෙකු වුවද, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ මෙම ගැඹුරු අධ්‍යනය තමාට බෙහෙවින් බලපෑ ආකාරය ගැන කතා කළා. වෙන්ඩි නෙල්සන් සහෝදරිය, එහි බලපෑම ගැන ඔහුගෙන් විමසුවා. “මම වෙනස් මිනිසෙක්!” කියා ඔහු පිළිතුරු දුන්නා. ඔහු වෙනස් මිනිසෙක්ද? වයස අවුරුදු 92 දී, වෙනස් මිනිසෙක්? සභාපති නෙල්සන් පැහැදිලි කළා:

“ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය ගැන ඉගෙනගැනීමට අප කාලය ආයෝජනය කරන විට, අපි [උන්වහන්සේ] වෙතට ඇදී යනවා. …

“… අපගේ අවධානය යොමුවී තිබෙන්නේ ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ශුභාරංචිය වෙතයි.” 9

ස්වාමින්වහන්සේ මෙසේ කිව්වා, “සෑම සිතුවිල්ලකදීම මා වෙත බලන්න.” 10

වැඩ, කරදර සහ වටිනා උත්සාහයන්ගෙන් පිරි ලෝකයක, අපගේ බලාපොරොත්තුව හා ගැලවීම වන උන්වහන්සේ කෙරෙහි අපගේ හදවත, අපගේ මනස සහ අපගේ සිතුවිලි තබාගනිමු.

ගැලවුම්කරුවාණන් පිළිබඳ නව අධ්‍යයනයක් සභාපති නෙල්සන්ට සූදානම් වීමට උපකාර කළේ නම්, එය අපටද සූදානම් වීමට උපකාරී නොවේද?

රූපය
සභාපති රසල් එම්. නෙල්සන්

සභාවේ නම අවධාරණය කරමින් සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වූවා, “අපට… යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ බලය ලබාගැනීමට නම්—අපව පවිත්‍ර කර සුවපත් කිරීමට, අපව ශක්තිමත් කිරීමට හා මහිමයට පත්කිරීමට හා අවසානයේදී අපව උසස් කිරීමට නම්—එම බලයේ උල්පත උන්වහන්සේ බව පැහැදිලිවම අපි පිළිගත යුතුයි.” 11 සභාවේ නිවැරදි නම නොකඩවා භාවිතා කිරීම කුඩා දෙයක් ලෙස පෙනෙන දෙයක් වුවත් එය කිසිසේත් කුඩා නොවන අතර ලෝකයේ අනාගතය හැඩගස්වනු ඇති බව සභාපති නෙල්සන් අපට ඉගැන්නුවා.

ඔබගේ සූදානම සඳහා පොරොන්දුවක්

ඔබත් සභාපති නෙල්සන් කළාක් මෙන්, ගැලවුම්කරුවාණන් ගැන වැඩිපුර සිතමින් සහ උන්වහන්සේ ගැන නිතර නිතර හා අඩු පැකිලීමකින් කථා කරමින්, සූදානම් වන විට ඔබත් වෙනස් වනු ඇතැයි මම ඔබට පොරොන්දු වෙනවා. ඔබ උන්වහන්සේව වඩාත් ගැඹුරින් දැන හඳුනාගෙන උන්වහන්සේට ආදරය කරන විට, ඔබගේ දරුවෙකුට හෝ ආදරණීය මිතුරෙකුට ඒ ගැන කතා කරන විට ඔබගේ වචන වඩාත් සුවපහසු ලෙස ගලා එයි. ඔබට ඇහුම්කන්දෙන අය, ඔබ සමඟ වාද විවාද කිරීම හෝ ඔබව බැහැර කිරීම අවම වී යන අතර ඔබෙන් ඉගෙනගැනීමට වැඩි කැමැත්තක් දක්වයි.

ඔබත් මමත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරනවා, නමුත් සමහරවිට අපට මීට වඩා හොඳ දෙයක් කළ හැකියි. ලෝකය උන්වහන්සේ ගැන අඩුවෙන් කතා කිරීමට යන්නේ නම්, උන්වහන්සේ ගැන වැඩියෙන් කතා කරන්නේ කවුද? ඒ අපියි! අනෙකුත් කැපවූ කිතුනුවන් සමඟ!

ක්‍රිස්තුස්වහන්සේ ගැන අපගේ නිවෙස් වලදී කතා කිරීම

අපගේ නිවෙස් වල ගැලවුම්කරුවාණන්ගේ රූප තිබේද? යේසුස්වහන්සේගේ උපමා ගැන අපි නිතරම අපේ දරුවන් සමඟ කතා කරනවාද? “යේසුස්වහන්සේගේ කතන්දර අපේ දරුවන්ගේ හදවත් තුළ ඇදහිල්ලෙන් ගලායන සුළඟක් වගෙයි.” 12 ඔබේ දරුවන් ඔබෙන් ප්‍රශ්න අසන විට, ගැලවුම්කරුවාණන් ඉගැන්වූ දේ ඉගැන්වීම ගැන උවමනාවෙන් සිතන්න. නිදසුනක් වශයෙන්, “තාත්තේ, අපි යාච්ඤා කරන්නේ ඇයි?” කියා ඔබේ දරුවා ඇසුවොත්, ඔබට පුලුවන් මෙහෙම පිළිතුරු දෙන්න, “ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. ඔයාට මතකද යේසුස්වහන්සේ යාච්ඤා කරපු විදිහ? උන්වහන්සේ යාච්ඤා කළේ ඇයි සහ උන්වහන්සේ යාච්ඤා කළේ කොහොමද කියලා අපි කතා කරමු.”

“තවද අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කථා කරන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ තුල ප්‍රීතිවන්නෙමු, … එනම් අපගේ දරුවන් ඔවුන්ගේ පව් වලට පව් කමාව ලබාගැනීමට කුමන උල්පත දෙස රැඳීමට දැනගැනීම පිණිසය.” 13

ක්‍රිස්තුස්වහන්සේ ගැන අපගේ සභාවේදී කතා කිරීම

“අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනා කරන්නෙමු” ලෙස මෙම ශුද්ධලියවිල්ලේම සඳහන් වෙනවා. 14 අපගේ නමස්කාර සේවා වලදී, අපි ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය කෙරෙහි අවධානය යොමුකරනවා. මින් අදහස් කරන්නේ අපට අපගේම ජීවිතයෙන් අත්දැකීමක් පැවසීමට හෝ අන් අයගේ සිතුවිලි බෙදාගැනීමට නොහැකි බව නොවෙයි. අපගේ විෂය පවුල් හෝ සේවා හෝ දේවමාළිගා හෝ මෑතකාලීන ධර්මදූතයක් පිළිබඳ විය හැකි නමුත්, අපගේ නමස්කාරයේ සෑම දෙයක්ම ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට යොමුවිය යුතුයි.

“තමා [සක්‍රමේන්තු] රැස්වීමකට සහභාගි වූ බවත්, ගැලවුම්කරුවාණන් ගැන සඳහන් නොවූ සාක්ෂි දාහතකට ඇහුම්කන් දුන් බවත් පැවසූ මිනිසෙකුගෙන්” ලැබූ ලිපියක් ගැන, අවුරුදු තිහකට පෙර සභාපති ඩාලින් එච්. ඕක්ස් කතා කළා. 15 සභාපති ඕක්ස් පසුව මෙසේ සඳහන් කළා, “සමහරවිට එම විස්තරය අතිශයෝක්තියට නංවා ඇති නමුත් මම එය උපුටා දක්වන්නේ එය අප සැමට විචිත්‍රවත් මතක්කිරීමක් සපයන බැවිනි.” 16 අපගේ කතා වලදී හා පන්ති සාකච්ඡා වලදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන වැඩි යමක් කතා කිරීමට ඔහු අපට ආරාධනා කළා. අපගේ සභාවේ රැස්වීම් වලදී අපි ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය යොමුකරන බව මම නිරීක්ෂණය කළා. මෙම ධනාත්මක උත්සාහයන් සමඟ අපි දැනුවත්ව නොකඩවා ඉදිරියට යමු.

අන් අය සමග ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ කතා කිරීම

අප අවට සිටින අය සමඟ, අපි වඩාත් විවෘතව, ක්‍රිස්තුස්වහන්සේ ගැන කථා කිරීමට කැමැත්තෙන් සිටිමු. සභාපති නෙල්සන් මෙහෙම කිව්වා, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයන් කැපී පෙනෙන්නට, කතා කිරීමට හා ලෝක ජනයාට වඩා වෙනස් වීමට කැමැත්තෙන් සිටිති.” 17

යමෙකු සමඟ සංවාදයක යෙදීමෙන් ඔවුන් සභාවට පැමිණීම හෝ ධර්මදූතයින් දැකීම අවශ්‍ය බව සමහරවිට අපි සිතනවා. උන්වහන්සේ උදෙසා හඬක් නැගීමේ අපගේ වගකීම ගැන අපි තවදුරටත් සිතන අතර, අපගේ සිතුවිලි ගැන කල්පනාකාරීව හා විවෘතව සිටින අතරම, ස්වාමින්වහන්සේට ඔවුන් කැමති පරිදි ඔවුන්ට මගපෙන්වන්නට ඉඩදෙමු. අපගේ සති අන්තය ගැන යමෙකු අපෙන් විමසන විට, අපි සතුටින්, ප්‍රාථමික දරුවන් “I’m trying to be like Jesus” යනුවෙන් ගායනා කිරීම ඇසීමට අප ප්‍රිය කළ බව පැවසීමට කැමැත්තෙන් සිටිය යුතු බවට ප්‍රතිචාර දැක්විය යුතු බව වැඩිහිටි ඩියේටර් එෆ්. උච්ඩ්‍රොෆ් අපට උගන්වා තිබෙනවා. 18 ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ගැන අපි කාරුණිකව සාක්ෂි දරමු. යමෙකු ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික ජීවිතයේ ඇතිවූ ගැටලුවක් ගැන බෙදාගන්නේ නම්, අපට මෙසේ පැවසිය හැකියි, “ජෝන්, මේරි, ඔබ දන්නවා මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන බව. මම හිතුවා උන්වහන්සේ කියපු ඔබට උපකාරී වෙන්න පුලුවන් දෙයක් ගැන.”

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ විශ්වාසය ගැන කතා කිරීමේදී සමාජ මාධ්‍ය වල වඩාත් විවෘත වන්න. බොහෝදෙනෙක් ඔබගේ ඇදහිල්ලට ගරු කරනු ඇත, නමුත් ඔබ ගැලවුම්කරුවාණන් ගැන කතා කරන විට යමෙකු ඔබව නෙරපා හරිනු ලැබුවහොත්, උන්වහන්සේගේ පොරොන්දුවෙන් ධෛර්යවත් වන්න: “මා නිසා මිනිසුන් ඔබව නින්දා කරන විට ඔබ භාග්‍යවන්තයෝය. … මක්නිසාද ස්වර්ගයෙහි ඔබගේ විපාකය මහත්ය.” 19 අපගේ අනුගාමිකයන්ගෙන් “කැමති වීම්” ලබාගැනීමට වඩා උන්වහන්සේගේ අනුගාමිකයන් වීම ගැන අපි වැඩි සැලකිල්ලක් දක්වමු. පේත්‍රැස් මෙසේ උපදෙස් දුන්නා, “නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තර දෙන්ට නිතර සෑදී සිටපල්ලා.” 20 අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරමු.

මොර්මොන්ගේ පොත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන බලවත් සාක්ෂියක්. සෑම පිටුවක්ම පාහේ ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ දිව්‍යමය මෙහෙවර පිළිබඳව සාක්ෂි දරනවා. 21 උන්වහන්සේගේ වන්දිගෙවීම හා කරුණාව පිළිබඳ අවබෝධයක් එහි පිටු සංතෘප්ත කරනවා. නව ගිවිසුමට සහයක් ලෙස, ගැලවුම්කරුවාණන් අපව ගලවාගැනීමට පැමිණියේ ඇයිද යන්නත්, වඩාත් ගැඹුරින් උන්වහන්සේ වෙතට පැමිණිය හැක්කේ කෙසේද යන්නත් වඩා හොඳින් තේරුම්ගැනීමට මොර්මොන්ගේ පොත අපට උපකාර කරනවා.

අපගේ සෙසු කිතුනුවන් සමහර වෙලාවට අපගේ විශ්වාසයන් සහ චේතනා ගැන අවිනිශ්චිතතාවයක් ඇතිකර ගන්නවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අප තුළ ඇති හවුල් ඇදහිල්ල හා අලුත් ගිවිසුමේ ශුද්ධලියවිල්ලෙහි අප සැවොම ආදරය කරන දේ ගැන අපි ඔවුන් සමඟ අවංකවම ප්‍රීති වෙමු. ඉදිරි දවස් වලදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන අයට එකිනෙකාගේ මිත්‍රත්වය හා සහයෝගය අවශ්‍ය වෙනවා. 22

රූපය
ලෝකයේ ආලෝකය

ලෝකය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අඩුවෙන් කතා කරන විට, අපි උන්වහන්සේ ගැන වැඩියෙන් කතා කරමු. උන්වහන්සේගේ ගෝලයන් ලෙස අපගේ සැබෑ වර්ණ හෙළිවන විට, අප අවට සිටින බොහෝ දෙනෙක් සවන්දීමට සූදානම් වෙයි. උන්වහන්සේගෙන් අපට ලැබී ඇති ආලෝකය අප බෙදාගන්නා විට, උන්වහන්සේගේ ආලෝකය සහ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගැලවීමේ බලය ඔවුන්ගේ හදවත් විවෘත කිරීමට කැමති අය මත බබළයි. යේසුස්වහන්සේ මෙසේ පැවසුවා, “මම… ලෝකයට ආලෝකයක් ලෙස පැමිණියෙමි.” 23

ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ කතා කිරීමට අපගේ කැමැත්ත වැඩිකරගැනීම

ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම දෘශ්‍යමාන කරනවාට වඩා කතා කිරීමට මා තුළ ඇති ආශාව වෙන කිසිවකටත් නෑ. උන්වහන්සේ පැමිණෙන්නේ කවදාදැයි අප නොදන්නා අතර, උන්වහන්සේගේ නැවත පැමිණීමේ සිදුවීම් විශ්මයජනක වනු ඇත! උන්වහන්සේ සිය සියලු ශුද්ධ වූ දූතයන් සමඟ තේජසින් හා මහිමයෙන් ස්වර්ගයේ වලාකුළු තුළින් එනු ඇත. දේවදූතයන් කිහිපදෙනෙකු පමණක් නොව නමුත් උන්වහන්සේගේ සියලු ශුද්ධ වූ දූතයන් සමග. මේ වැලන්ටයින් කාඩ්පත් වල අප සැවොම සොයාගන්නා රෆායෙල් විසින් පින්තාරු කරන ලද චෙරි-කම්මුල් ගැන නොවෙයි. මොවුන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ, සිංහයන්ගේ මුඛයන් වසා දැමීමට, 24 සිරගෙවල් දොරවල් ඇරීමට, 25 උන්වහන්සේගේ උපතේ දිගුකාලීන අපේක්ෂාව ප්‍රකාශයට පත්කිරීමට, 26 ගෙත්සෙමනේදී උන්වහන්සේව සනසාලීමට, 27 උන්වහන්සේගේ ගෝලයන්ට උන්වහන්සේගේ ස්වර්ගයට නැගීම සහතික කිරීමට, 28 සහ ශුභාරංචිය නැවත පිහිටුවීමේ මහිමය විවෘත කිරීමට 29 එවන ලද දේවදූතයනුයි.

රූපය
දෙවන පැමිණීම

මේ පැත්තේ හෝ තිරයෙන් අනෙක් පැත්තේ හෝ වේවා, උන්වහන්සේව හමුවීමට යාම ගැන ඔබට සිතාගත හැකිද? 30 ධර්මිෂ්ඨයන්ට උන්වහන්සේ දුන් පොරොන්දුව එයයි. මෙම පුදුමාකාර අත්දැකීම අපගේ ප්‍රාණයන් සදහටම සලකුණු කරයි.

ගැලවුම්කරුවාණන්ට ප්‍රේම කිරීමටත් උන්වහන්සේගේ දේවත්වය ප්‍රකාශ කිරීමටත් ඇති අපේ ආශාව වැඩි කළ අපගේ ආදරණීය අනාගතවක්තෘ සභාපති රසල් එම්. නෙල්සන්ට අපි කොතරම් කෘතඥ වෙනවාද. මම ස්වාමින්වහන්සේ ඔහු කෙරෙහි අත තැබීම සහ ඔහුට මඟපෙන්වන එළිදරව් කිරීමේ ත්‍යාගය ඇසින් දුටු සාක්ෂිකරුවෙක්. සභාපති නෙල්සන්, අපි ඔබේ උපදෙස් බලාපොරොත්තුවෙන් ආශාවෙන් සිටිනවා.

ලොව පුරා මාගේ ආදරණීය මිත්‍රයිනි, උන්වහන්සේගේ මහිමාන්විත පොරොන්දුව අපේක්‍ෂා කරමින්, අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරමු: “එබැවින් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී ඔහු අඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, … මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත් ඔහු අඳුනමියි කියන්නෙමි.” 31 උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. යොහාන් 14:6.

  2. මතෙව් 11:28.

  3. See Niztan Peri-Rotem, “Religion and Fertility in Western Europe: Trends across Cohorts in Britain, France and the Netherlands,” European Journal of Population, May 2016, 231–65, ncbi.nlm.nih.gov/pmc/articles/PMC4875064.

  4. “ඇමරිකානු වැඩිහිටියන්ගෙන් [සියයට හැටපහක්] තමන්ගේ ආගම ගැන විමසූ විට තමන් ක්‍රිස්තියානීන් ලෙස විස්තර කරති. පසුගිය දශකය තුළ එය සියයට 12 කින් අඩු විය. මේ අතර, අදේවවාදී, නාස්තික දෘෂ්ටිකයා හෝ ‘විශේෂයෙන් කිසිවක් නැත’ යනුවෙන් ඔවුන්ගේ ආගමික අනන්‍යතාවය විස්තර කරන පුද්ගලයින්ගෙන් සමන්විත ජනගහනයේ ආගමික වශයෙන් අනුබද්ධිත කොටස දැන් 26% ක් වන අතර එය 2009 දී 17% ක් විය” (Pew Research Center, “In U.S., Decline of Christianity Continues at Rapid Pace,” Oct. 17, 2019, pewforum.org).

  5. See Pew Research Center, “The Future of World Religions: Population Growth Projections, 2010–2050,” Apr. 2, 2015, pewforum.org.

  6. මාර්ක් 9:7; ලූක් 9:35; මත්ව් 3:17; Joseph Smith—History 1:17 ද බලන්න.

  7. පිලිප්පි 2:9–11. බලන්න.

  8. See Russell M. Nelson, “Prophets, Leadership, and Divine Law” (worldwide devotional for young adults, Jan. 8, 2017), broadcasts.ChurchofJesusChrist.org.

  9. රසල් එම. නෙල්සන්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය අපගේ ජීවිත වලට ඇද ගැනීම,” ලියහෝනා, මැයි 2017, 40–41.

  10. දහම සහ ගිවිසුම් 6:36.

  11. රසල් එම්. නෙල්සන්, “සභාවේ නිවැරදි නම,” ලියහෝනා, නොවැ. 2018, 88.

  12. Neil L. Andersen, “Tell Me the Stories of Jesus,” Liahona, May 2010, 108.

  13. 2 නෙපි 25:26.

  14. 2 නෙපි 25:26.

  15. Dallin H. Oaks, “Another Testament of Jesus Christ” (Brigham Young University fireside, June 6, 1993), 7, speeches.byu.edu.

  16. Dallin H. Oaks, “Witnesses of Christ,” Ensign, Nov. 1990, 30.

  17. රසල් එම්. නෙල්සන්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය අපගේ ජීවිත තුළට ඇදගැනීම,” 40.

  18. බලන්න ඩියේටර් එෆ්. උච්ඩ්‍රොෆ්, “ධර්මදූත කාර්යය: ඔබගේ හදවතේ ඇති දේ බෙදාගැනීම,” ලියහෝනා, මැයි 2019, 17; “I’m Trying to Be like Jesus,” Children’s Songbook, 78.

  19. මතෙව් 5:11–12

  20. 1 පේත්‍රැස් 3:15.

  21. “[මොර්මොන්ගේ පොතේ අනාගතවක්තෘවරුන් ලියා ඇති පරිදි] පොරොන්දු වූ මෙසියස් ගැන ඔවුන්ගේ සාක්ෂි ලියන විට, ඔවුන් සෑම පද 1.7 කටම සාමාන්‍යයෙන් උන්වහන්සේගේ නාමයේ යම් ආකාරයක් සඳහන් කළා. [ඔවුන්] යේසුස් ක්‍රිස්තුස්වහන්සේව හැඳින්වූයේ ඇත්තෙන්ම විවිධ නම් 101 කින්. … යම් පදයක් සාමාන්‍යයෙන් එක් වාක්‍යයකින් සමන්විත වන බව අපට වැටහෙන විට, සාමාන්‍යයෙන් අපට කිසියම් ආකාරයක ක්‍රිස්තුස්වහන්සේගේ නාමයක් නොදැක මොර්මොන්ගේ පොතේ වාක්‍ය දෙකක් කියවිය නොහැකි බව පෙනෙනවා” (Susan Easton Black, Finding Christ through the Book of Mormon [1987], 5, 15).

    වන්දිය හෝ වන්දිගෙවීම යන වචන, ඕනෑම ආකාරයක, නව ගිවිසුමේ ජේම්ස් කිං පරිවර්තනයේ එක් වරක් පමණක් දක්නට ලැබුණද, ඒවා මොර්මොන්ගේ පොතෙහි 35 වතාවක් දක්නට ලැබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් සාක්ෂියක් ලෙස, එය උන්වහන්සේගේ වන්දිගෙවීම සඳහා වටිනා ආලෝකය විහිදුවයි ” (Russell M. Nelson, “The Atonement,” Ensign, Nov. 1996, 35).

  22. එක්සත් ජනපදයේ ක්‍රිස්තියානි දහම හැර යන අය බාලයි. නිශ්ශබ්ද පරම්පරාවේ සාමාජිකයින් දහයෙන් අටකට වඩා (1928 සහ 1945 අතර උපත ලැබූ අය) තමන් ක්‍රිස්තියානීන් (84%) ලෙස විස්තර කරන අතර, ළදරු බූමරයන්ගෙන් හතරෙන් තුනක් (76%) එසේ කරයි. ඊට හාත්පසින්ම වෙනස්ව, මිලේනියල් වලින් අඩක් (49%) තමන් ක්‍රිස්තියානීන් ලෙස විස්තර කරයි; දහයෙන් හතරෙන් එකක් ආගමික ‘කිසිවක් නොවන’ වන අතර මිලේනියල් දහයෙන් එකක් කිතුනු නොවන විශ්වාසයන් සමඟ හඳුනාගනී” (“In U.S., Decline of Christianity Continues,” pewforum.org).

  23. යොහාන් 12:46.

  24. දානියෙල් 6:22 බලන්න.

  25. ක්‍රියා 5:19 බලන්න.

  26. ලූක් 2:2–14 බලන්න.

  27. ලූක් 22:42–43 බලන්න.

  28. ඇල්මා 1:9–11 බලන්න.

  29. දහම සහ ගිවිසුම් 13; 27:12–13; 110:11–16; Joseph Smith—History 1:27–54 බලන්න.

  30. 1 තෙසලෝනික 4:16–17; දහම සහ ගිවිසුම් 88:96–98 බලන්න.

  31. මතෙව් 10:32.