ප්‍රධාන සම්මන්ත්‍රණය
ඉවසීමට ඇගේ පරිපූර්ණ ක්‍රියාවන් කිරීමට ඉඩදී, ඒ සියල්ල ප්‍රීතියක් ලෙස සලකන්න!
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඉවසීමට ඇගේ පරිපූර්ණ ක්‍රියාවන් කිරීමට ඉඩදී, ඒ සියල්ල ප්‍රීතියක් ලෙස සලකන්න!

අපි ඉවසීමෙන් කටයුතු කරන විට අපගේ ඇදහිල්ල වැඩිවෙනවා. අපගේ ඇදහිල්ල වැඩිවන විට අපගේ ප්‍රීතියද වැඩිවෙනවා.

අවුරුදු දෙකකට පෙර, මගේ බාල සහෝදරයා වන චැඩ්, තිරයෙන් එහාට ගමන් කළා. ඔහුගේ තිරයෙන් එහා යාම මාගේ නෑනාගේ; මෙන්ම ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනා වන බ්‍රැඩන් සහ බෙලාගෙත්; පවුලේ අනෙකුත් අයගෙත් සිතෙහි සිදුරක් ඉතිරි කළා. චැඩ් මියයාමට පෙර සතියේ පැවති ප්‍රධාන සම්මන්ත්‍රණයේ වැඩිහිටි නීල්ගේ වචන වලින් අපට සැනසීමක් ලැබුණා, ඒවා නම්: “මෙලොව පරීක්ෂා වලදී, ඉවසිලිවන්තව ඉදිරියට යන්න, එවිට ගැලවුම්කරුවාණන්ගේ සුවකිරීමේ බලය ඔබට ආලෝකය, අවබෝධය, සාමය සහ බලාපොරොත්තුව ගෙන එනු ඇත” (“Wounded,” Liahona, Nov. 2018, 85).

රූපය
චැඩ් ජැගී සහ පවුල

අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසයක් තිබෙනවා; අපි නැවත චැඩ් සමඟ එක්වන බව අපි දන්නවා, නමුත් ඔහුගේ ශාරීරික අහිමුඛය අහිමි වීම වේදනාවක්! බොහෝ දෙනෙකුට ආදරණීයයන් අහිමි වී තිබෙනවා. අපි ඔවුන් සමඟ නැවත සම්බන්ධ වන කාලය එනතෙක් ඉවසිලිවන්තවීම සහ බලා සිටීම අපහසුයි.

ඔහු මියගිය අවුරුද්දට පසු අවුරුද්ද අඳුරු වලාකුළක් අපව යටපත් කළා වගේ අපට දැනුණා. අපි ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමෙන්, ඉතා උනන්දුවෙන් යාච්ඤා කිරීමෙන්, සහ දේවමාළිගාවට නිතර යාමෙන් රැකවරණය පැතුවා. මෙම ගීතිකාවේ පද එකල අපගේ හැඟීම් ග්‍රහණය කරගත්තා: “දවස උදාවෙමින් තිබේ, ලෝකය අවදි වෙමින් තිබේ, රාත්‍රියේ අන්ධකාරයේ වළාකුළු පලා යමින් තිබේ” (“The Day Dawn Is Breaking,” Hymns, no. 52).

අපේ පවුල තීරණය කළේ 2020 ප්‍රබෝධමත් වසරක් වනු ඇති බවයි! 2019 නොවැම්බරයේ අගභාගයේ එන්න, මා අනුගමනය කරන්න පාඩම අපි අධ්‍යයනය කරමින් සිටියදී අලුත් ගිවිසුමේ යාකොබ්ගේ පොතෙහි තේමාවක් අපට අනාවරණය වුනා. යාකොබ්, 1 වන පරිච්ඡේදයේ, 2 වන පදයෙහි මෙසේ කියවෙනවා, “මාගේ සහෝදරවරුනි, ඔබ බොහෝ දුක් පීඩා වලට වැටෙන විට ඒ සියල්ල ප්‍රීතියක් ලෙස සලකන්න” (Joseph Smith Translation, James 1:2 [in James 1:2, footnote a]). නව වසරක්, නව දශකයක්, ප්‍රීතියෙන් විවෘත කිරීමේ අපේක්ෂාවෙන්, 2020 දී අපි “ඒ සියල්ල ප්‍රීතියක් ලෙස සැලකීමට” තීරණය කළා. ඒ ගැන අපට කොතරම් තදින් දැනුණාද කියනවානම්, පසුගිය නත්තලේදී අපි අපේ සහෝදර සහෝදරියන්ට “සියල්ල ප්‍රීතියක් ලෙස සලකන්න” ලෙස මුද්‍රණය කළ ටී ෂර්ට් තෑගි කළා. 2020 වර්ෂය නිසැකවම ප්‍රීතිමත් හා ප්‍රමෝදමත් වසරක් වනු ඇත.

හොඳයි, මෙන්න දැන්—2020 ඒ වෙනුවට ගෝලීය COVID-19 වසංගත, සිවිල් නොසන්සුන්තාව, තවත් ස්වාභාවික විපත් සහ ආර්ථික අභියෝග ගෙන ආවා. අපගේ ස්වර්ගික පියාණන් ඉවසීම පිළිබඳ අපගේ අවබෝධය සහ ප්‍රීතිය තෝරාගැනීමේ දැනුවත් තීරණ පිළිබිඹු කිරීමට සහ සලකා බැලීමට සමහරවිට අපට කාලය ලබාදෙනවා.

එතැන් පටන් යාකොබ්ගේ පොත අපට නව අරුතක් ගෙනදී තිබෙනවා. යාකොබ්, 1 වන පරිච්ඡේදය, 3 සහ 4 පද දිගටම:

“නුඹලාගේ ඇදහිල්ල සෝදිසි කිරීමෙන් ඉවසීමේ ගුණය උපදින බව දැනගන්න.

“නුමුත් නුඹලා කිසිවක් අඩුව නොසිට සියලුම ආකාරයෙන් සම්පූර්ණව සිටින පිණිස, ඉවසීමට ඇගේ පරිපූර්ණ ක්‍රියාවන් කිරීමට ඉඩදෙන්න.”

අපගේ පීඩා මධ්‍යයේ ප්‍රීතිය සොයාගැනීමට අප දැරූ උත්සාහයේදී, අපගේ යහපත උදෙසා එම පරීක්ෂාවන්ට ඉඩදීමට ඉවසීම තිබීම අත්‍යවශ්‍ය බව අපට අමතක වී තිබුණා.

බෙන්යමින් රජතුමා ස්වභාවික මිනිසා ඉවත දමා “ස්වාමින් වූ ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් ශුද්ධවන්තයෙකු බවට පැමිණ, තවත් දරුවෙකු මෙන් අවනතවී, නිහතමානී, යටහත්, ඉවසිලිවන්ත, ප්‍රේමයෙන් පූර්ණව, සියලු දේ දරාගැනීමට” අපට ඉගැන්වූවා” (මොසායා 3:19).

Preach My Gospel හි 6 වන පරිච්ඡේදයේ අපට අනුකරණය කළ හැකි ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රධාන ගුණාංග උගන්වනවා: “ඉවසීම යනු කෝපය, කලකිරීම හෝ කනස්සල්ලට පත්වීමකින් තොරව ප්‍රමාදය, කරදර, විරුද්ධත්වය හෝ දුක් වේදනා විඳදරාගැනීමට හැකි ධාරිතාවයයි. එය දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට සහ උන්වහන්සේගේ කාලය පිළිගැනීමට ඇති හැකියාවයි. ඔබ ඉවසිලිවන්තව සිටින විට, ඔබ පීඩනය දරා සිටින අතර, සන්සුන්ව හා බලාපොරොත්තුවෙන් විපත්තියට මුහුණදීමට හැකිවෙනවා” ( Preach My Gospel: A Guide to Missionary Service, rev. ed. [2019], 126).

ඉවසීමේ පරිපූර්ණ කාර්යය ක්‍රිස්තුස්වහන්සේගේ මුල් ගෝලයන්ගෙන් කෙනෙකු වන කානානීය සිමියොන්ගේ ජීවිතයෙන්ද විදහා දැක්විය හැකියි. ජ්වලිතයන් යනු රෝම පාලනයට තදින්ම විරුද්ධ වූ යුදෙව් ජාතිවාදීන් පිරිසකි. ජ්වලිත ව්‍යාපාරය රෝමානුවන්ට, ඔවුන්ගේ යුදෙව් සහකරුවන්ට සහ සද්දුසිවරුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනීසිටියේ ප්‍රතිපාදන සඳහා වැටලීම් සහ ඔවුන්ගේ අරමුණු සඳහා වෙනත් ක්‍රියාකාරකම් වල යෙදීමෙන් (බලන්න Encyclopedia Britannica, “Zealot,” britannica.com). කානානිවරුන්ගේ සීමොන් ජ්වලිතයෙක් (ලූක් 6:15බලන්න). සීමොන් ගැලවුම්කරුවාණන්ට ආයුධ අතටගැනීමට, සටන්කාමී කණ්ඩායමකට නායකත්වය දීමට හෝ යෙරුසලමේ ව්‍යාකූලත්වයක් ඇතිකිරීමට උපායෙන් පොළඹවාගැනීමට උත්සාහ කිරීම ගැන සිතා බලන්න. යේසුස්වහන්සේ මෙසේ ඉගැන්වූවා:

“මොලොක් ගුණ ඇත්තෝ ආශිර්වාද ලද්දෝය: මක්නිසාද ඔවුහු පොළොව උරුමකර ගන්නෝය. …

“දයාවන්තයෝ ආශිර්වාද ලද්දෝය: මක්නිසාද ඔවුහු දයාව ලබන්නෝය. …

“සමාදාන කරන්නෝ ආශිර්වාද ලද්දෝය: මක්නිසාද ඔවුහු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ යැයි කියනු ලබන්නෝය”(මතෙව් 5:5, 7, 9).

සීමොන් මහත් ලැදිකමෙන් හා උද්‍යෝගයෙන් ඔහුගේ දර්ශනය වැලඳගෙන එය වෙනුවෙන් පෙනී සිටින්නට ඇති නමුත් ශුද්ධලියවිලි වලින් කියවෙන්නේ ගැලවුම්කරුවාණන්ගේ ආභාෂය හා ආදර්ශය තුළින් ඔහුගේ අවධානය වෙනස් වූ බවයි. ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වීම ඔහුගේ ජීවිතයේ උත්සාහයන් වල ප්‍රමුඛ අවධානය බවට පත්වුණා.

අප දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගෙන තබාගන්නා විට ගැලවුම්කරුවාණන්ට අපට “නැවත ඉපදීමට උපකාර කළ හැකිය; එසේය, දෙවියන්වහන්සේගෙන් ඉපදිය යුතුය, ඔවුන්ගේ මාංශික සහ වැටුණ ස්වභාවය වෙතින් වෙනස් විය යුතුය, දෙවියන්වහන්සේගෙන් මිදීම ලැබ උන්වහන්සේගේ පුත්‍රයන් සහ දූවරුන් බවට පැමිණ, ධර්මිෂ්ඨ ස්වභාවයට පත්විය යුතුය”(මොසායා 27:25).

අපේ කාලයේ ජ්වලිත සමාජ, ආගමික හා දේශපාලන උත්සාහයන් අතරින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් අපගේ වඩාත්ම නිශ්චිත සහ තහවුරු කරන අනුබද්ධය වේවා. “නුඹේ වස්තුව යම් තැනකහිද නුඹේ සිතත් එතන්හිම වන්නේය”(මතෙව් 6:21). විශ්වාසවන්ත ගෝලයන් පවා “දෙවියන්වහන්සේගේ කැමත්ත කළ පසු” “පොරොන්දුව ලබන පිණිස ඉවසිල්ලෙන් සිටීම අවශ්‍ය වූ” බව අපි අමතක නොකරමු (හෙබ්‍රෙව් 10:36 ).

අපගේ ඇදහිල්ලේ උත්සාහය අප තුළ ඉවසීමක් ඇතිකරනවා සේම, අප ඉවසීමෙන් කටයුතු කරන විට අපගේ ඇදහිල්ලද වැඩිවෙනවා. අපගේ ඇදහිල්ල වැඩිවන විට අපගේ ප්‍රීතියද වැඩිවෙනවා.

මේ පසුගිය මාර්තු මාසයේදී සභාවේ බොහෝ ධර්මදූතයන් මෙන් අපගේ දෙවන දියණිය වන එමාද නිරෝධායනයට ඇතුළත් වුනා. බොහෝ ධර්මදූතයන් නිවසට පැමිණියා. බොහෝ ධර්මදූතයන් නැවත කැඳවීම බලාපොරොත්තුවෙන් සිටියා. ධර්මදූත සේවයට යාමට පෙර බොහෝ දෙනෙකුට ඔවුන්ගේ දේවමාළිගා ආශිර්වාද ලැබුණේ නැහැ. ධර්මදූත වැඩිහිටියන්ට හා සහෝදරියන්ට ස්තූතියි. අපි ඔබට ආදරෙයි.

එමා සහ ඇගේ සහකාරිය නෙදර්ලන්තයේ මුල් සති කිහිපය තුළ දුෂ්කර වූ අත්දැකීම් වලට මුහුණදුන් අතර—බොහෝ අවස්ථාවන් කඳුළු එන තරම් දුෂ්කර වුනා. පුද්ගල අන්තර්ක්‍රියා සඳහා තිබූ කෙටි අවස්ථා සහ එළියට යාමට තිබූ සීමිත අවස්ථා සමඟ එමා හට දෙවියන්වහන්සේ කෙරෙහි තිබූ විශ්වාසය වැඩිවුනා. අපි ඇය සමඟ අන්තර්ජාලය හරහා යාච්ඤා කළ අතර අපට උදව් කළ හැක්කේ කෙසේදැයි විමසුවා. ඇය අපෙන් ඉල්ලාසිටියේ ඇය අන්තර්ජාලය හරහා උගන්වන මිතුරන් සමඟ සම්බන්ධ වන්න! කියායි.

අපේ පවුල නෙදර්ලන්තයේ එමාගේ මිතුරන් එකිනෙකා සමඟ අන්තර්ජාලය හරහා සම්බන්ධ වීමට පටන්ගත්තා. අපගේ සතිපතා, පවුලේ එන්න, මා අනුගමනය කරන්න අධ්‍යයනයට අන්තර්ජාලය හරහා එක්වන ලෙස අපි ඔවුන්ට ආරාධනා කළා. ෆ්ලොර්, ලෝරා, රෙන්ස්කේ, ෆ්‍රීක්, බෙන්ජමින්, ස්ටාල් සහ මුහම්මද් යන සියල්ලෝම අපගේ මිතුරන් බවට පත්ව සිටිනවා. නෙදර්ලන්තයේ අපගේ සමහර මිතුරන් “පටු දොරටුවෙන්” ඇතුළු වී තිබෙනවා (3 නෙපි 14:13). තවත් සමහරුන්ට “මාර්ගය අවහිර බවද දොරටුවේ පටු බවද” පෙන්වනු ලබමින් සිටිනවා (2 නෙපි 31: 9). ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ සහෝදර සහෝදරියන්. ගිවිසුම් මාවතේ අපගේ දියුණුව සඳහා අපි එකට වැඩකරන විට සෑම සතියකම අපි “ඒ සියල්ල ප්‍රීතියක් ලෙස සලකනවා.”

යම් කාලයක් පුරාවට කොට්ඨාශ පවුල් ලෙස පෞද්ගලිකව මුණගැසීමට අපට නොහැකි වීම නිසා අපි “ඉවසීමට ඇගේ පරිපූර්ණ කාර්‍යය කිරීමට ඉඩදෙමු” (යාකොබ් 1: 4). නව තාක්‍ෂණික සම්බන්ධතා තුළින් මෙන්ම එන්න, මා අනුගමනය කරන්න මොර්මොන්ගේ පොත අධ්‍යයනය තුළින් අපගේ පවුල් වල’ විශ්වාසය වැඩිවීම අපි ප්‍රීතියක් ලෙස සලකනවා.

“මෙම වෑයම තුළ ඔබ නිරන්තරයෙන් දරන උත්සාහයන්—විශේෂයෙන් සාර්ථක නොවන බව ඔබට හැඟෙන අවස්ථාවන් වලදී පවා—“ඔබේ, මෙන්ම ඔබේ පවුලේ අයගේ ජීවිතය සහ ලෝකය වෙනස් කරනු ඇති” බවට සභාපති රසල් එම් නෙල්සන් පොරොන්දු වූවා (“Go Forward in Faith,” Liahona, May 2020, 114).

අපි දෙවියන්වහන්සේ සමඟ පූජනීය ගිවිසුම් ඇතිකරගන්නා ස්ථානය වන—දේවමාළිගාව—තාවකාලිකව වසා තිබෙනවා. අපි දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් පවත්වන ස්ථානය වන—නිවස—විවෘතව තිබෙනවා! දේවමාළිගා ගිවිසුම් වල සුවිශේෂී සුන්දරත්වය නිවසේදී අධ්‍යයනය කිරීමට සහ මෙනෙහි කිරීමට අපට අවස්ථාවක් තිබෙනවා. එම පූජනීය භෞතික අවකාශයට ඇතුළු වීමට නොහැකි වීමේදී පවා, අපගේ “හදවත්… වැගිරෙන ආශිර්වාද වල ප්‍රතිඵලයක් ලෙස බොහෝසෙයින් ප්‍රීතිවනු ඇත” (දහම සහ ගිවිසුම් 110: 9).

බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී තිබෙනවා; අනෙක් අයට අවස්ථා අහිමි වී තිබෙනවා. කෙසේවෙතත්, අපි සතුටු වෙමු, සභාපති නෙල්සන් මෑතකදී මෙසේ ප්‍රකාශ කළා: “අපගේ සාමාජිකයින්ගේ ස්වේච්ඡා නිරාහාර දීමනා මෙන්ම අපගේ මානුෂීය අරමුදල් සඳහා ස්වේච්ඡා දායකත්වයද සැබවින්ම ඉහළ ගොස් තිබෙනවා. … අපි එක්ව මෙම දුෂ්කර කාලය ජයගනිමු. ඔබ දිගටම අන් අයට ආශිර්වාද කරන විට ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරනු ඇත”(රසල් එම්. නෙල්සන්ගේ ෆේස්බුක් පිටුව, 2020 අගෝස්තු 16 සිට පළකිරීම, facebook.com/russell.m.nelson).

“ධෛර්යවත් වන්න” යනු ස්වාමින්වහන්සේගේ ආඥාවයි, බියවන්න නොවේ (මතෙව් 14:27 ).

සමහරවිට, අප “සියල්ල නිවැරදිව කරනවා” නමුත් අපට තවමත් ආශිර්වාද නැහැ” යැයි සිතන විට අපි නොඉවසිලිමත් වෙනවා. ඊනොක් සහ ඔහුගේ සෙනඟ පරිවර්තනය කිරීමට පෙර ඔහු අවුරුදු 365 ක් දෙවියන්වහන්සේ සමඟ ගමන් කළා. සෑමදෙයක්ම නිවැරදිව කිරීමට අවුරුදු තුන්සිය හැටපහක් වෙහෙස මහන්සි වූ, පසුව එය සිදුවුනා! දහම සහ ගිවිසුම් 107:49 බලන්න.

මගේ සහෝදර චැඩ්ගේ සමුගැනීම පැමිණියේ යූටා ඔග්ඩන් ධර්මදූත මෙහෙයුමේ මුලසුන හොබවා අප නිදහස් වී මාස කිහිපයකට පසුවයි. අප දකුණු කැලිෆෝනියාවේ ජීවත්වෙමින් සිටියදී, 2015 වර්ෂයේදී අපට පැවරිය හැකිව තිබූ ධර්මදූත 417 න්ම අපව උතුරු යූටා වෙත අනුයුක්ත කිරීම ආශ්චර්යමත්. ධර්මදූතයේ අපගේ නිවසේ සිට චැඩ්ගේ නිවසට තිබුණේ මිනිත්තු 30 ක ධාවනයක් පමණයි. අපගේ ධර්මදූත පැවරුම ලැබුනේ චැඩ්ගේ පිළිකාව හඳුනාගැනීමෙන් පසුවයි. ඉතාමත් දුෂ්කර අවස්ථාවන්හිදී පවා, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අප ගැන කල්පනාවෙන් සිටින බවත් ප්‍රීතිය සොයාගැනීමට අපට උපකාර කරන බවත් අපි දැනගෙන සිටියා.

ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුදවාගැනීමේ, පවිත්‍ර කිරීමේ, නිහතමානී හා ප්‍රීතිමත් කිරීමේ බලය පිළිබඳව මම සාක්ෂි දරනවා. යේසුස්වහන්සේගේ නාමයෙන් අපගේ ස්වර්ගික පියාණන්වහන්සේට යාච්ඤා කරන විට, උන්වහන්සේ අපට පිළිතුරු දෙන බව මම සාක්ෂි දරනවා. ස්වාමින්වහන්සේගේ සහ උන්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘ සභාපති රසල් එම්. නෙල්සන්ගේ හඬට සවන්දී ඒවාට අවනත වූ විට අපට “ඉවසීමට ඇගේ පරිපූර්ණ ක්‍රියාවන් කිරීමට ඉඩදී, ඒ සියල්ල ප්‍රීතියක් ලෙස සලකන්නට” හැකිවන බව මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.