26 වන පරිච්ඡේදය
ක්‍රිස්තුස්වහන්සේ නීෆායිවරුන්ට උපස්ථාන කරන සේක – නීෆායි ඔහුගේ ජනතාවගේ විනාශය පෙරදකියි – ඔවුන් දූවිල්ල තුළින් කතා කරනු ඇත – අන්‍යජාතීන් අසත්‍ය සභාවන්ද, රහස් සම්බන්ධකම්ද ගොඩනඟනු ඇත – ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයන්ට පූජක උපායන් කිරීමට තහනම් කරන සේක. ක්‍රි.පූ. 559–545 පමණ.
1 තවද ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැවත නැගිටුනු පසු, උන්වහන්සේ, තමන්වහන්සේව නුඹලා හට පෙන්වනු ඇත්තේය, මාගේ දරුවෙනි, තවද මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි; තවද උන්වහන්සේ නුඹලාට කියන වචන නුඹලා කළ යුතු නීතිය වනු ඇත්තේය.
2 මක්නිසාද බලව, මම නුඹලාට කියන්නෙමි, එනම් පරම්පරා ගණනාවක් ගෙවී යන බවත්, තවද මාගේ ජනතාව අතර මහත් යුද්ධයන් හා මතභේදයන් ඇති වන බවත් මම දුටුවෙමි.
3 තවද මෙසියස්වහන්සේගේ පැමිණීමෙන් පසු, මාගේ ජනයාට උන්වහන්සේගේ උපත තවද එසේම උන්වහන්සේගේ මරණය සහ උත්ථානය පිළිබඳ සලකුණු දෙනු ලැබේ; තවද ඒ දවස දුෂ්ඨයන්ට බලවත් හා භයානක වන්නේය, මක්නිසාද ඔවුන් විනාශ වන්නේය; තවද ඔවුන් විනාශ වන්නේ අනාගතවක්තෘවරුන් සහ ශුද්ධවන්තයන් නෙරපමින් ඔවුන්ට ගල් ගසා මරා දැමීම නිසාය. එම නිසා ශුද්ධවන්තයන්ගේ ලේ වල මොරගැසීම ඔවුන්ට විරුද්ධව පොළොවේ සිට දෙවියන්වහන්සේ වෙතට එසවෙන්නේය.
4 එබැවින්, උඩඟුවූ සියල්ලෝම, සහ දුෂ්ඨ ක්‍රියා කරන්නන්්, ඉපනැලි මෙන් ඔවුන්ව දවාලනු දවස පැමිණෙන්නේ යැයි, සේනාවල ස්වාමීන්වහන්සේ පවසන සේක.
5 තවද අනාගතවක්තෘවරුන් සහ ශුද්ධවන්තයන් මරා දමන්නෝ, පොළොවේ ගැඹුර ඔවුන් ගිල ගනු ලබන්නෝ යයි, සේනාවල ස්වාමීන්වහන්සේ පවසන සේක. තවද කඳු ඔවුන්ව වසාගන්නේය, තවද සුළි සුළං ඔවුන් ඉවතට ගෙන යනු ලබන්නේය, තවද ගොඩනැගිලි ඔවුන් මතට කඩා වැටී ඔවුන්ව කැබලිවලට පොඩිකරන්නේය, තවද ඔවුන්ව අඹරා කුඩු බවට පත්කර දමනු ඇත්තේය.
6 තවද ගිගුරුම් ද, විදුලි කෙටීම් ද, භූමිකම්පා සහ සියලු ආකාර විනාශයන් ඔවුන් වෙත පැමිණෙන්නේය, මක්නිසාද ස්වාමීන්වහන්සේගේ කෝපයේ ගින්න ඔවුන්ට විරුද්ධව ඇවිළෙන්නේය, තවද ඔවුන් ඉපනැලි මෙන් වන්නේය, තවද ඔවුන්ව විනාශවන දිනය පැමිණෙන බව සේනාවල ස්වාමීන්වහන්සේ පැවසූ සේක.
7 අහෝ වේදනාව, තවද මරා දමන මාගේ ජනතාව අහිමි වීම නිසා මාගේ ප්‍රාණය සංවේගයට පත් වන්නේය! මක්නිසාද නීෆායි වන මා එය දුටුවෙමි, තවද එය මා හොඳින් ස්වාමීන්වහන්සේ අභිමුඛයෙහි යටපත් කරගන්නේයය; එහෙත් මම මාගේ දෙවියන්වහන්සේට මොරගැසිය යුතුය: ඔබවහන්සේගේ මාර්ග සාධාරණය.
8 එහෙත් බලව, ධර්මිෂ්ඨයෝ අනාගතවක්තෘවරුන්ගේ වචනවලට සවන් දී, තවද ඔවුන් විනාශ නොකරන, එහෙත් සියලු පීඩා නොතකා, දෙන ලද සලකුණු සඳහා ස්ථිරව ක්‍රිස්තුස්වහන්සේ දෙස බලමින් සිටින – බලව, ඔවුන් විනාශ නොවන තැනැත්තෝ වෙති.
9 එහෙත් ධර්මිෂ්ඨකමේ පුත්‍රයාණෝ ඔවුන් හට පෙනී සිටින සේක; පරම්පරා තුනක් පහව යන තුරුත්, තවද හතරවන පරම්පරාවෙන් බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමෙන් පහව යන තුරුත්, තවද උන්වහන්සේ ඔවුන්ව සුවපත් කරන සේක, තවද ඔවුන් උන්වහන්සේ සමඟ සමාදානය ලබනු ඇත්තේය.
10 තවද එවිට මේ දේවල් පහව ගිය පසු මාගේ ජනතාව වෙතට ඉක්මනින් විනාශයක් පැමිණෙන්නේය; මක්නිසාද, මගේ ප්‍රාණයේ වේදනාව නොතකා, මම එය දුටුවෙමි; එබැවින්, එය මෙසේ සිදු වන බව මම දනිමි; තවද ඔවුන් ශූන්‍යය ලෙස ඔවුන්වම විකුණා ගන්නෝය; මන්ද, ඔවුන්ගේ උඩඟුකමේ විපාකය සහ ඔවුන්ගේ මෝඩකම නිසා ඔවුන් ප්‍රතිඑලය ලෙස විනාශය නෙළාගන්නේය; මන්ද, ඔවුන් යක්ෂයාට යටත් වී ආලෝකයට වඩා අන්ධකාරයේ ක්‍රියා තෝරා ගන්නා හෙයින්, එසේහෙයින් ඔවුන් නිරයට යා යුතු වන්නේය.
11 මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ආත්මය සැමදා මනුෂ්‍යයා සමඟ මහත් පරිශ්‍රම දරන්නේ නැත. තවද එවිට ආත්මයාණන්වහන්සේ මනුෂ්‍යයා සමඟ මහත් පරිශ්‍රම දැරීම නැවැත් වූ කළ වේගවත්ව විනාශය පැමිණෙන අතර, තවද මෙය මාගේ ප්‍රාණය ශෝකයට පත් කරන්නේය.
12 තවද යුදෙව්වන්ගේ ඒත්තු ගැන්වීම සඳහා මා කතා කළ පරිදි ජේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේම බවත්, අන්‍යජාතීන්ටද ජේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බවත්, උන්වහන්සේ සදාකාලික දෙවියන්වහන්සේ බවත් ඒත්තු ගැන්වීමට එය අත්‍යවශ්‍ය වන්නේය;
13 තවද එනම් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය කරණකොටගෙන උන්වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට තමන්වහන්සේව ප්‍රකාශ කරන බැවින්; එසේය, සෑම ජාතියකටම, නෑදෑයන්ට, භාෂාවන්ට සහ මනුෂ්‍යන්ට, ඔවුන්ගේ ඇදහිල්ලට අනුව මනුෂ්‍ය දරුවන් අතර ප්‍රාතිහාර්යය, සලකුණු සහ බලවත් වූ හාස්කම් කරන සේක.
14 එහෙත් බලව, අන්තිම දවස් ගැන මම නුඹලාට අනාවැකි කියමි; දෙවි වූ ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය දරුවන් වෙත මේ දේවල් ගෙන එන්නාවූ දවස් පිළිබඳවය.
15 පසුව මාගේ වංශය සහ මාගේ සහෝදරයන්ගේ වංශය ද විශ්වාසයෙන් හීන ව යනු ඇත්තේය, තවද අන්‍යජාතීන් විසින් පහර දෙන ලැබෙනු ඇත්තේය; එසේය, දෙවි වූ ස්වාමීන්වහන්සේ ඔවුන්ට විරුද්ධව වටේට කඳවුරු බැඳගත් පසු, එසේය, කන්දකින් ඔවුන්ට විරුද්ධව වටලා, ඔවුන්ට විරුද්ධව බලකොටු ගොඩනඟන සේක; තවද පසුව ඔවුන්ව දූවිල්ලට පහත් කරනු ලබන්නේය, ඔවුන් එසේ නොවූවත්, තවද ධර්මිෂ්ඨයන්ගේ වචන ලියනු ලබන්නේය, තවද ඇදහිලිවන්තයන්ගේ යාච්ඤා ඇසෙනු ඇත්තේය, තවද අවිශ්වාසයෙන් පිරිහී සිටි සියල්ලන් අමතක කරනු නොලබන්නේය.
16 මක්නිසාද විනාශ කරනු ලැබූවන් පොළොව තුළින් කතා කරන්නේය, ඔවුන්ගේ කථාව පහත් දූවිල්ලෙන් පැමිණෙන්නේය, තවද ඔවුන්ගේ කටහඬ හුරුපුරුදු ආත්මයක් මෙන් වන්නේය; මක්නිසාද, දෙවි වූ ස්වාමීන්වහන්සේ ඔහුට බලය දෙන සේක, පොළොවෙන් පිටත මෙන් ඔවුන් ගැන කොඳුරමින් කතා කරනු පිණිස; තවද ඔවුන්ගේ කථාව දූවිල්ලෙන් කොඳුරයි.
17 මක්නිසාද, දෙවි වූ ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක: ඔවුන් තමන් අතරෙහි කළ යුතු දේ ලියා තබන්නේය, තවද ඒවා පොතක ලියා මුද්‍රා කරනු ලබන්නේය, තවද විශ්වාසය හීන වූවන් හට ඒවා නොලැබෙන්නේය, මක්නිසාද ඔවුන් දෙවියන්වහන්සේගේ දේවල් විනාශ කිරීමට සොයන බැවින්ය.
18 එබැවින්, විනාශ වූවන් ඉක්මනින් විනාශ වී ඇත; ඔවුන්ගේ සමූහයක් වූ භයානක තැනැත්තන් බොල් වූවන් මෙන් පහව යන්නෝය – එසේය, දෙවි වූ ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක: එය ක්ෂණයකින්ද, හදිසියෙන්ද වන්නේමය –
19 තවද එය මෙසේ සිදු වන්නේය, එනම් විශ්වාසයෙන් හීනවූවන්ට අන්‍යජාතීන්ගේ හස්තයෙන් පහර දෙනු ලබන්නේය.
20 තවද අන්‍යජාතීන් ඔවුන්ගේ දෑස් උඩඟුකමෙන් ඔසවනු ලැබ ඇත්තේය, තවද ඔවුන්ගේ පැකිලීමේ බාධාවේහි ඇති ශ්‍රේෂ්ඨත්වය හේතුවෙන් පැකිලී සිටිති, එනම් ඔවුන් බොහෝ සභාවන් ගොඩනඟා ඇත්තේය; එසේනමුත්, ඔවුහු දෙවියන්වහන්සේගේ බලය හා ප්‍රාතිහාර්යයන් පහත හෙළා, තවද ඔවුන්ගේ ස්වකීය ප්‍රඥාවෙන්ද තවද ඔවුන්ගේම ස්වකීය දෑනුමෙන්ද තමන්හටම දේශනා කර ගන්නේය, එනම් ඔවුන් දුප්පතුන්ව ඔවුන්ගේ ලාභය උදෙසා මහත් සේ පෙළනවා ඇත්තේය.
21 තවද ඊර්ෂ්‍යාව, ආරවුල් සහ ද්වේෂය ඇති කරවන බොහෝ සභාවන් ගොඩනඟා ඇත්තේය.
22 තවද එහි පැරණි කාලයේ ලෙසම රහස්‍ය කල්ලි ද ඇත, යක්ෂයාගේ සංයෝජන අනුව, මක්නිසාද මේ සියලු දේවලම නිර්මාතෘ ඔහුය; එසේය, මිනීමැරීමේ, සහ අන්ධකාරයේ ක්‍රියාවල නිර්මාතෘය; එසේය, ඔහු ඔවුන්ව සදහටම තම ශක්තිමත් ලණුවලින් ඔවුන්ව බැඳ තබන තුරු, ඔවුන්ගේ ගෙලට හණ ලණුවක් දමා ගෙන යන්නේය.
23 මක්නිසාද, බලව, මාගේ දයාබර සහෝදරයෙනි, දෙවි වූ ස්වාමීන්වහන්සේ අන්ධකාරයේ ක්‍රියා නොකරන්නේයැයි මම නුඹලාට කියන්නෙමි.
24 උන්වහන්සේ ලෝකයේ යහපත පිණිස මිස අන් කිසිවක් නොකරන සේක; මක්නිසාද උන්වහන්සේ ලෝකයාට ප්‍රේම කරන ලෙස, උන්වහන්සේ සියලු මනුෂ්‍යයන් උන්වහන්සේ වෙතට ඇද ගන්නා පිණිස උන්වහන්සේ තම ජීවිතය පූජා කළ සේක. එබැවින් උන්වහන්සේගේ ගැළවීමෙහි පංගුකාරයන් නොවන ලෙස කිසිවෙකුට උන්වහන්සේ ආඥා නොකරන සේක.
25 බලව, උන්වහන්සේ මාගෙන් ඉවත්ව යන්න; යැයි කාට හෝ මොරගසයිද? බලව, මම නුඹලාට කියන්නෙමි, එසේ නොවේ; නමුත් උන්වහන්සේ මෙසේ කියන සේක: පොළොවේ කෙළවරේ සිටින සියල්ලෙනි මා වෙතට වරෙල්ලා, මුදල් නොමැතිව සහ මිලක් නොමැතිව කිරි සහ මී පැණි මිලදී ගනිල්ලා.
26 බලව, ඔවුන් සිනගෝගවලින් පිටතට ඉවත්වීමට, හෝ නමස්කාර ගෘහයන්වලින් පිටතට යන ලෙස උන්වහන්සේ කිසිවෙකුට ආඥා කර ඇත්තෙහුද? බලව, මම නුඹලාට කියමි, එසේ නොවේ.
27 උන්වහන්සේගේ ගැළවීමෙහි පංගුකාරයන් නොවන ලෙස කිසිවෙකුටත් උන්වහන්සේ ආඥා කර තිබේද? බලව, මම නුඹලාට කියමි, එසේ නොවේ; නමුත් උන්වහන්සේ එය සියලු මනුෂ්‍යයන් හටම නොමිලේ ලබා දුන් සේක. තවද පසුතැවිලි වීමට සියලු මනුෂ්‍යයන් පොළඹවන ලෙස උන්වහන්සේ තම ජනතාවට ආඥා කළ සේක.
28 බලව, ස්වාමීන්වහන්සේගේ යහපත්කමෙහි පංගුකාරයන් නොවන ලෙස උන්වහන්සේ කිසිවෙකුට ආඥාකර ඇති සේක්ද? බලන්න, මම නුඹලාට කියමි, එසේ නොවේ; නමුත් සියලු මනුෂ්‍යයන් එකිනෙකා හට මෙන් වරප්‍රසාද භුක්තිවිඳින්නේය, තවද කිසිවෙකුට තහනම් නොවන්නේය.
29 උන්වහන්සේ පූජක උපාය එහි නොතිබිය යුතුයැයි උන්වහන්සේ ආඥා කළ සේක; මක්නිසාද, බලව, පූජක උපායන් යනු මනුෂ්‍යයන් දේශනා කරමින් ඔවුන්වම ඔසවමින් ලෝකයට ආලෝකයක් වන පිණිසත්, එනම් ඔවුන්ට ලෝකයේ ප්‍රතිලාභ සහ ප්‍රශංසාව ලැබෙන පිණිස; නමුත් ඔවුහු සයන්හි ශුභසිද්ධිය නොසොයන්නේය.
30 බලව, ස්වාමීන්වහන්සේ මේ දේවල් තහනම් කළ සේක. එබැවින්, දෙවි වූ ස්වාමීන්වහන්සේ සියලු මනුෂ්‍යයන් තුළ දයාව තිබිය යුතුයැයි ආඥාවක් කළ සේක, එම දයාව නම් ප්‍රේමය ය. තවද ඔවුන් තුළ දයාව නොමැතිනම් ඔවුන් හිස්ය. එබැවින්, ඔවුන් තුළ දයාව තිබේ නම්, සයන්හි සේවකයන් නැසෙන්නට ඉඩ නොදෙන්නේය.
31 නමුත් සයන්හි සේවකයා සයන් උදෙසා වෙහෙසෙන්නේය. මක්නිසාද ඔවුන් මුදල් සඳහා වෙහෙසෙන්නේ නම් ඔවුන් නැසෙන්නේය.
32 තවද නැවත, දෙවි වූ ස්වාමීන්වහන්සේ ආඥා කළේ මනුෂ්‍යයන් මිනී නොමැරිය යුතු බවත්; එනම් ඔවුන් බොරු නොකිය යුතු බවටත්; එනම් ඔවුන් සොරකම් නොකළ යුතු බවත්; එනම් ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේගේ නාමය නිෂ්එල ලෙස භාවිතා නොකරන ලෙසත්; එනම් ඔවුන් ඊර්ෂ්‍යා නොකළ යුතු බවත්; එනම් ඔවුන් තුළ ද්වේෂය ඇති නොවිය යුතු බවත්; එනම් ඔවුන් එකිනෙකා සමඟ විවාද නොකළ යුතු බවත්; එනම් ඔවුන් වේශ්‍යාකම් නොකළ යුතු බවත්; තවද එනම් ඔවුන් මේ කිසිවක් නොකළ යුතු බවත්ය; මක්නිසාද ඒවා කරන තැනැත්තන් විනාශ වන නිසාය.
33 මක්නිසාද මෙම අයුතුකම් එකක්වත් ස්වාමීන්වහන්සේගෙන් නොපැමිණෙන්නේය; මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍ය දරුවන් තුළ යහපත් දේ කරන සේක; මනුෂ්‍ය දරුවන්ට පැහැදිලි නොවන කිසිවක් නොකර සේක, තවද උන්වහන්සේ ඔවුන් සියල්ලන්ටම උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ යහපත්කමෙහි පංගුකාරයන් වන ලෙස උන්වහන්සේ ආරාධනා කරන සේක; තවද කළු සහ සුදු, වහල් සහ නිදහස්, පුරුෂයින් සහ කාන්තාවන් යන, උන්වහන්සේ වෙතට පැමිණෙන්නාවු කිසිවෙක් උන්වහන්සේ ප්‍රතික්ෂේප නොකරන සේක; තවද උන්වහන්සේ මිථ්‍යාදෘෂ්ටිකයන් මතක් කරන සේක; තවද දෙවියන්වහන්සේ හට යුදෙව්වන් සහ අන්‍යජාතිකයින් යන දෙවර්ගයම, එක හා සමාන වන්නේය.