19 වන පරිච්ඡේදය
යෙසායා මෙසියස්වහන්සේ ලෙස කථා කරයි – අන්ධකාරයේ සිටින්නාවු ජනතාව බලවත් අලෝකයක් දකියි – අපට දරුවෙක් උපන්නේය – උන්වහන්සේ සාමයේ කුමාරයාණන් වී දාවිත්ගේ සිංහාසනයේ රජකම් කරනු ඇත්තේය – යෙසායා 9 සසඳන්න. ක්‍රි.පූ. 559–545 පමණ.
1 එසේනමුත්, අඳුර ඇයගේ තද වේදනාවේදී මෙන් නොවන්නේය, එවිට උන්වහන්සේ පළමුවෙන් සබුලොන් දේශයද, තවද නප්තලී දේශයද අඩුවෙන් පීඩා කළේය, තවද ඉන්පසුව ජාතීන්ගේ ගලීලයේ යොර්දානයෙන් එපිට, රතු මුහුදේ මාර්ගය වඩාත් දරුණු ලෙස පීඩාවට පත් කරවීය.
2 අන්ධකාරයේ ඇවිද්දා වූ ජනතාව බලවත් ආලෝකයක් දුටුවෝය; ඔවුන් එනම් මරණයේ සෙවනැල්ල ඇත්තා වූ දේශයෙහි විසූවන් කෙරෙහි ආලෝකය දිස්වුනි.
3 ඔබවහන්සේ ජාතිය වැඩි කළේය, තවද ප්‍රීතිය වර්ධනය කළේය – ඔවුන් අස්වැන්න ගන්නා කාලයේදී ප්‍රීතිවන ආකාරයෙන් ඔබවහන්සේ අභිමුඛයෙහි ප්‍රීතීවන්නෝය, තවද මනුෂ්‍යයන් කොල්ලය බෙදාගැනීමේදී මෙන් සන්තෝෂ වන්නෝය.
4 මක්නිසාද ඔබවහන්සේ ඔහුගේ බර වූ වියගහ ද, ඔහුගේ උරහිසෙහි වූ දණ්ඩද, ඔහුගේ පීඩාකාරයාගේ යෂ්ඨියද කඩාදැමුවේය.
5 මක්නිසාද රණශූරයාගේ සෑම සටනක්ම ව්‍යාකූල ඝෝෂාවෙන් ද, වස්ත්‍ර ලෙයින් ද පෙඟී ඇත්තේය; එහෙත් මෙය වනාහි පිලිස්සීමද ගින්දරට තෙල් මෙන් වන්නේයය.
6 මක්නිසාද අපට දරුවෙකු උපන්නේය, අප හට පුත්‍රයෙක් දෙන ලද්දේය; තවද ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය; තවද උන්වහන්සේගේ නාමය අපූර්වය, උපදේශකයානෝය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාලික පියාණන්වහන්සේය, සාමදානයේ කුමාරයා යැයි නම් කරනු ලබන්නේය.
7 මෙතැන් පටන් සදාකාලයටම පවා දාවිත්ගේ සිංහාසනයත්, තවද ඔහුගේ රාජ්‍යයත්, විනිශ්චයෙන් සහ සාධාරණත්වයෙන්ද, ස්ථීරකර පිහිටු වන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ වර්ධනයටත්, සාමදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේගේ උද්‍යෝගය මෙය ඉෂ්ඨ කරන්නේය.
8 ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ වචනය යාකොබ් වෙත එව්වේය තවද එය ඊශ්‍රායෙලය මත පැවතුණේය.
9 තවද සියලු ජනතාවන් දැන ගන්නේය, ඊප්‍රායිම්ද තවද සමාරියාවේ වැසියන් පවා, එනම් සිතේ එඩිතර කමින්ද උඩඟු කමින්ද පවසන්නේය:
10 ගඩොල් බිමට වැටී ඇත්තේය, එහෙත් අප කැපූ ගල් වලින් ගොඩනගන්නෙමු; අත්තික්කා ගස් කපා දමා ඇත්තේය, එහෙත් අප ඒවා කිහිරි වලට වෙනස් කරන්නෙමු.
11 එසේහෙයින් ස්වාමීන්වහන්සේ රෙශින්ගේ විරුද්ධකාරයන් ඔහුට විරුද්ධව තබන අතර, තවද ඔහුගේ සතුරන් එකට රැස් කරන සේක.
12 සිරියන්වරු ඉදිරියෙන්ද, පිලිස්තිවරු පසුපසින්ද; තවද ඔවුහු විවෘත මුඛයෙන් ඊශ්‍රායෙල් ගිල දමනු ලබන්නෝය. මක්නිසාද මේ සියල්ල සිදුවුවත් උන්වහන්සේගේ කෝපය පහ නොවී, එහෙත් උන්වහන්සේගේ හස්තය තවමත් දිගුකොට තිබෙන්නේය.
13 මක්නිසාද තමන්ට පහර දෙන තැනැන්වහන්සේ වෙතට ජනතාව නොහැරි, ඔවුන් සේනාවල ස්වාමීන්වහන්සේ වත් නොසෙව්වෝය.
14 එසේහෙයින් ස්වාමීන්වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ගෙන් හිස සහ වලිගය, අත්ත සහ පන්ගස එක දවසේදීම කපා දමනු ලබන්නේය.
15 පැරන්නා, ඔහු හිස වන්නේය; බොරු උගන්වන්නාවු අනාගතවක්තෘවරයා, ඔහු වල්ගය වන්නේය.
16 මක්නිසාද මේ ජනතාවගේ නායකයින් ඔවුන්ව මුළා කරවන්නේය; තවද එනම් ඔවුන් විසින් මග පෙන්වනු ලැබුවන්ද විනාශයට පත්වන්නේය.
17 එසේහෙයින් ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ යෞවනයන් කෙරෙහි ප්‍රීති නොවන්නේය, ඔවුන්ගේ පියා නොමැති තැනැත්තන්ටත් වැන්දඹුවන්ටත් අනුකම්පා නොකරන්නේය; මක්නිසාද ඔවුන් සියල්ලෝම කෛරාටිකයෙක් සහ නපුර කරන්නෙක් වන අතර, තවද සියලු මුඛයක්ම නින්දිත දේ කථා කරන්නේය. මක්නිසාද මේ සියල්ල සිදු වූ නුමුත් උන්වහන්සේගේ කෝපය පහ නොවී, එහෙත් උන්වහන්සේගේ හස්තය තවමත් දිගුකොට තිබෙන්නේය.
18 මක්නිසාද දුෂ්ටකම ගින්න මෙන් දැවෙන්නේය; එය කටු සහ ගොකටු ගිල දමයි, තවද කැලෑවේ අකුල් අවුලවනු ලැබේ, තවද ඒවා ඉහලට නගින්නා වූ දුම මෙන් ඔසවනු ලබන්නේය.
19 සේනාවල ස්වාමීන්වහන්සේගේ උදහසින් දේශය අන්ධකාර වී ඇත්තේය, තවද ජනතාව ගින්නට දමන්නාවූ දර මෙන් වන්නේය; කිසිවෙක් තමාගේ සහෝදරයා ඉතිරි නොකරන්නේය.
20 තවද ඔහු දකුණතින් ගසාකන්නා නමුත් බඩගිනිව සිටියි; තවද ඔහු වමතින් කන නමුත් ඔවුන් තෘප්තිමත් නොවන්නෝය; ඔවුන් සෑම මනුෂ්‍යයෙකුම තමාගේම බාහුවේ මාංසය අනුභව කරන්නේය –
21 මනස්සේ, එප්‍රායිම්; තවද එප්‍රායිම්, මනස්සේ; ඔවුන් එක්ව යූදා හට විරුද්ධ වන්නෝය. මේ සියල්ල සිදුවූ නුමුත් උන්වහන්සේගේ කෝපය පහ නොවී, එහෙත් උන්වහන්සේගේ හස්තය තවමත් දිගුකොට තිබෙන්නේය.