10 වන පරිච්ඡේදය
ජේකබ් යුදෙව්වරුන් තමන්ගේ දෙවියන්වහන්සේව කුරුසිපත් කරන බව පැහැදිලි කරයි – උන්වහන්සේව විශ්වාස කරන තුරු ඔවුන්ව විසිරුවනු ලැබේ – ඇමරිකාව රජ කෙනෙක් පාලනය නොකරන නිදහසේ දේශයක් වනු ඇත – දෙවියන්වහන්සේ හට නුඹව සමාදාන කර උන්වහන්සේගේ කරුණාව තුළින් ගැලවීම ලබා ගන්න. ක්‍රි.පූ. 559–545 පමණ.
1 තවද දැන් මම, ජේකබ්, මාගේ දයාබර සහෝදරයනි, මම කතා කළ මෙම ධර්මිෂ්ඨ ශාඛාව පිළිබඳව, නැවතත් නුඹලාට කතා කරන්නෙමි.
2 මක්නිසාද බලව, අප ලබා ගත්තාවූ පොරොන්දු අප වෙත මාංශයට අනුව වූ පොරොන්දු වේ; එබැවින්, අවිශ්වාසය හේතුවෙන් අපගේ දරුවන්ගෙන් බොහෝ දෙනෙකු මාංශයේ විනාශයට යන බව මා හට පෙන්වා ඇති බැවින්, කෙසේ නමුත්, දෙවියන්වහන්සේ බොහෝ දෙනෙකුට කරුණාවන්ත වන සේක; තවද අපගේ දරුවන් නැවත පිහිටුවනු ලබන්නේය, එනම් ඔවුන්ගේ මිදුම්කරුවාණන් පිළිබඳ සැබෑ දැනුම ලබා දෙන දෙයට පැමිණෙනු පිණිසය.
3 එබැවින්, මම නුඹලා හට කී ලෙසට, එය යෝග්‍ය විය යුතුවන්නේය, එනම් ක්‍රිස්තුස්වහන්සේ – මක්නිසාද පෙර දින රාත්‍රියේ දේවදූතයෙක් මෙය උන්වහන්සේගේ නාමය විය යුතු යැයි මා හට කතා කර කීවේය – යුදෙව්වන් අතරේ පැමිණිය යුතු බවත්, ලෝකයේ වඩාත්ම දුෂ්ට වන අය අතර; තවද ඔවුන් උන්වහන්සේව කුරුසිපත් කරනු ඇත්තේය – මක්නිසාද එය අපගේ දෙවියන්වහන්සේ හට යෝග්‍ය වන්නේය, තවද තමන්ගේ දෙවියන්වහන්සේ කුරුසිපත් කරන වෙනත් ජාතියක් පොළොව මත නොමැත.
4 මක්නිසාද බලවත් හාස්කම් වෙනත් ජාතීන් අතර ගෙන හැර දැක්වූයේ නම් ඔවුන් පසුතැවිලි වනු ඇත, තවද උන්වහන්සේ තමන්ගේ දෙවියන්වහන්සේ වන බව දැන ගන්නේය.
5 එහෙත් පූජක උපායන් සහ අයුතුකම් නිසා, ජෙරුසලමේ සිටින්නාවුන් උන්වහන්සේට විරුද්ධව ඔවුන්ගේ ගෙල දැඩි කර ගන්නේය, එනම් උන්වහන්සේ කුරුසපත් කරනු පිණිසය.
6 එබැවින්, ඔවුන්ගේ අයුතුකම් නිසා, විනාශයන්, නියඟයන්, වසංගතයන්, සහ ලේ වැගිරීම් ඔවුන් මතට පැමිණෙනු ඇත; තවද විනාශයට පත් නොවන අය සියලු දේශයන් පුරාවට විසිරුවනු ඇත්තේය.
7 එහෙත් බලව, දෙවි වූ ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක: ඔවුන් මා ගැන, මම ක්‍රිස්තුස්වහන්සේ වන බවට, විශ්වාස කරන දවස පැමිණෙන විට, පොළව මත, ඔවුන්ගේ උරුම වූ දේශයට, ඔවුන් මාංශයේ නැවත පිහිටුවන්නට මම ඔවුන්ගේ පියවරුන් සමඟ ගිවිසුුුම් කර ඇත්තෙමි.
8 තවද එය මෙසේ සිදු වනු ඇත, එනම් ඔවුන්ගේ දීර්ඝ විසුරුවීමෙන් ඔවුන්ව එක්රැස් කරනු ඇත, මුහුදේ දූපත් වලින් ද, පොළොවේ හතර කොණෙන් ද; තවද ඔවුන්ව ඔවුන්ට උරුම වූූ භූමින් කරා ගෙන යාමේ දී, අන්‍යජාතිකයන්ගේ දේශයන් මාගේ දෙනෙත්වලට මහත් වනු ඇතැයි, දෙවියන්වහන්සේ පැවසූ සේක.
9 එසේය, අන්‍යජාතිකයන්ගේ රජවරුන් ඔවුන්ට රැක බලා ගන්නා පියවරුන් බවට පත් වන්නේය, ඔවුන්ගේ රැජිණියන් කිරි දෙන මවුවරුන් බවට පත් වනු ඇත්තේය; එබැවින්, ස්වාමීන්වහන්සේගේ පොරොන්දු අන්‍යජාතිකයන් හට මහත් ය, මක්නිසාද උන්වහන්සේ එය පවසා ඇත, තවද විරුද්ධ විය හැක්කේ කා හටද?
10 එහෙත් බලව, මෙම දේශය, නුඹගේ උරුමයේ දේශයක් වනු ඇත, තවද දේශය මත අන්‍යජාතිකයන් ආශිර්වාදලත් වන බව දෙවියන්වහන්සේ පැවසූ සේක.
11 තවද මෙම දේශය අන්‍යජාතිකයන් හට නිදහසේ දේශයක් වන්නේය, තවද අන්‍යජාතිකයන් වෙත නැගී සිටින, රජවරුන් මෙම දේශයේ නොසිටිනු ඇත්තේය.
12 තවද මම අනෙක් දේශයන්ට එරෙහිව මෙම දේශය ශක්තිමත් කරන්නෙමි.
13 තවද සයන්ට විරුද්ධව සටන් කරන්නා විනාශ වන්නේය, දෙවියන්වහන්සේ වදාළ සේක.
14 මක්නිසාද මා හට විරුද්ධව රජෙකු ඔසවන්නා විනාශ වනු ඇත්තේය, මක්නිසාද මම, ස්වාමීන්වහන්සේ, ස්වර්ගයේ රජු ද, ඔවුන්ගේ රජ ද වන්නේය, තවද එනම් මාගේ වචන අසන ඔවුන් සියල්ලන් හට, මම සදාකාලයට ආලෝකය වන්නෙමි.
15 එබැවින්, මක්නිසාද මෙම හේතුව නිසා, මනුෂ්‍ය දරුවන් උදෙසා මා විසින් කරන ලද මාගේ ගිවිසුම් ඉටු වන පිණිස, එනම් ඔවුන් මාංශයේ සිටිනා තුරු මම ඔවුන් කෙරෙහි කටයුතු කරනු ඇති ලෙසට, මම රහස්‍ය වූ අන්ධකාරයේ ක්‍රියාවන්, තවද මිනීමැරීම් ද, පිළිකුල්කම් ද විනාශ කළ යුත්තෙමි.
16 එබැවින්, සයන්ට විරුද්ධව සටන් කරන තැනැත්තා, යුදෙව් හා අන්‍යජාතික ද, වහල් හා නිදහස් ද, පිරිමි හා ගැහැණු ද, විනාශ වනු ඇත; මක්නිසාද ඔවුන් මුළු පොළොවෙහිම වේශ්‍යාව වන්නේය; මක්නිසාද මා වෙනුවෙන් නොවන අය මට විරුද්ධය, අපගේ දෙවියන්වහන්සේ පවසන සේක.
17 මක්නිසාද මම මනුෂ්‍ය දරුවන් කෙරෙහි කළ මාගේ පොරොන්දු ඉටු කරන්නෙමි, එනම් ඔවුන් මාංශයේ සිටිනා විට මම එය ඔවුන් හට කරනු ඇත්තේය –
18 එබැවින්, මාගේ දයාබර සහෝදරවරුනි, අපගේ දෙවියන්වහන්සේ මෙසේ පවසන සේක: අන්‍යජාතිකයන්ගේ හස්තයෙන් මම නුඹගේ වංශයට පීඩා පමුණුවන්නෙමි; එසේ නමුත්, මම අන්‍යජාතිකයන්ගේ හදවත් මෘදු කරන්නෙමි, එනම් ඔවුන් ඔවුන් හට පියෙකු මෙන් වනු ඇත; එබැවින්, අන්‍යජාතිකයන් ආශිර්වාද ලබා ඊශ්‍රායෙල් වංශය අතර ගණන් කරනු ලබන්නේය.
19 එබැවින්, මම මෙම දේශය නුඹගේ වංශය වෙනුවෙන් ද, තවද නුඹගේ වංශය අතරේ ගණනය කරන්නාවුන් වෙනුවෙන් ද, සදාකාලික ලෙස, ඔවුන්ගේ උරුමයේ දේශය ලෙස කැප කරමි; මක්නිසාද එය තොරාගත් දේශයකි, අන් සියලු දේශයන්ට වඩා, බව දෙවියන්වහන්සේ මා හට පැවසු සේක, එබැවින් ඒ මත ජීවත් වන සියලු මනුෂ්‍යයන් මා හට නමස්කාර කරන ලෙසට මම සලස්වන්නෙමි, දෙවියන්වහන්සේ පැවසූ සේක.
20 තවද දැන්, මාගේ දයාබර සහෝදරවරුනි, මේ දේවල් ගැන අපගේ කරුණාවන්ත වූ දෙවියන්වහන්සේ අපට මෙතරම් මහත් දැනුමක් දී තිබෙන බව දැක, අප උන්වහන්සේව සිහිකර, අපගේ පව් පසෙක දමා, අපගේ හිස් පහත නොහෙලමු, මක්නිසාද අපව කපා හැර නැත; එසේනමුත්, අපව අපගේ උරුමයේ දේශයෙන් පලවා හරිනු ලැබුවේය; එහෙත් අපව වඩා හොඳ දේශයකට ගෙන ගොස් ඇත, මක්නිසාද ස්වාමීන්වහන්සේ මුහුද අපගේ මාර්ගය බවට පත් කර ඇති අතර, තවද අප මුහුදේ දූපතක් මත සිටින්නෙමු.
21 එහෙත් ස්වාමීන්වහන්සේගේ පොරොන්දු මුහුදේ දුපත් මත සිටින ඔවුන් හට මහත්ය; එබැවින් එය දූපත් යැයි කියනා බැවින්, එහි මෙයට වඩා තිබිය යුතුව ඇත, තවද ඒවා අපගේ සහෝදරවරුන් විසින් වාසස්ථාන කරගෙන ඇත්තේය.
22 මක්නිසාද බලව, දෙවි වූ ස්වාමීන්වහන්සේ කාලයෙන් කාලයට ඊශ්‍රායෙල් වංශයෙන්, උන්වහන්සේගේ අභිමතය හා කැමැත්ත පරිදි ඉවතට ගෙන ගොස් ඇති සේක. තවද දැන් බලව, ස්වාමීන්වහන්සේ කඩා ඉවත් කළ සියල්ලන් මතක තබාගන්නා සේක, එබැවින් උන්වහන්සේ හට අපව ද මතක තිබෙන සේක.
23 එසේහෙයින්, නුඹලාගේ හදවත් සතුටු කර ගන්න, තවද තමා වෙනුවෙන් ක්‍රියා කිරීමට – සදාතනික මරණයේ මාර්ගය හෝ සදාකල් ජීවනයේ මාර්ගය තෝරා ගැනීමට, නුඹලා නිදහස් බව මතක තබා ගන්න.
24 එබැවින්, මාගේ දයාබර සහෝදරයනි, දෙවියන්වහන්සේගේ කැමැත්තට තමාව සමාදානය කරන්න, යක්ෂයාගේ සහ මාංශයේ කැමැත්තට නොව; තවද මතක තබාගන්න, නුඹ දෙවියන්වහන්සේ හට සමාදාන වූ පසු, එනම් නුඹලා ගළවා ගනු ලබන්නේ දෙවියන්වහන්සේගේ කරුණාවෙන් හා ඒ තුළින් පමණි.
25 එබැවින්, උත්ථානයේ බලයෙන් දෙවියන්වහන්සේ නුඹව මරණයෙන් ඔසවනු ලැබේවා, තවද වන්දිගෙවීමේ බලය තුළින් සදාතනික මරණයෙන් ද, එනම් දෙවියන්වහන්සේගේ සදාකාලික රාජ්‍යය තුළට නුඹව පිළිගනු පිණිස, එනම් නුඹ දිව්‍ය කරුණාව තුළින් උන්වහන්සේ හට ප්‍රශංසා කරනු පිණිස. ආමෙන්.