ප්‍රධාන සම්මන්ත්‍රණය
සිව්වන දිනට පසු
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


සිව්වන දිනට පසු

අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඉදිරියට යන විට, හතරවන දිනය සැමවිටම පැමිණෙනවා. උන්වහන්සේ සැමවිටම අපගේ උපකාරයට පැමිණෙනවා.

අද උදෑසන අපට මතක් කර දී ඇති පරිදි, ගැලවුම්කරුවාණන් යෙරුසලමට පැමිණි ජයග්‍රාගී ප්‍රවේශය සනිටුහන් කරන සහ උන්වහන්සේගේ දුක් වේදනා, කුරුසියේ ඇණ ගැසීම සහ මරණයෙන් නැවත නැඟිටීම ඇතුළත් උන්වහන්සේගේ ශ්‍රේෂ්ට වන්දිගෙවීමට පෙර එම ශුද්ධ සතියේ ආරම්භය සනිටුහන් කරන ගොක් ඉරිදා අදයි.

උන්වහන්සේ අනාවැකි කී ලෙස එම නගරයට ඇතුල් වීමට වැඩි කලකට පෙර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ දේවසේවයේ සම්පූර්ණයෙන්ම නිරත වී සිටි අතරතුර, උන්වහන්සේගේ ආදරණීය මිතුරන් වන මරියා සහ මාර්තාගේ සහෝදරයා වන ලාසරුස් අසනීපයෙන් සිටින බව ඔවුන් හරහා උන්වහන්සේට ආරංචි වුණා.1

ලාසරුස්ගේ අසනීපය බරපතළ වුවත්, ස්වාමින්වහන්සේ “තමන් සිටි ස්ථානයේම තව දෙදවසක් නැවතු[ණා]. ඉන්පසු උන්වහන්සේ: යුදයට නැවත යමුයයි ගෝලයන්ට [කිව්වා].”2 බෙතානියේ උන්වහන්සේගේ මිතුරන්ගේ නිවසට ගමන ආරම්භ කිරීමට පෙර, “යේසුස්වහන්සේ [උන්වහන්සේගේ ගෝලයන්ට] පැහැදිලි ලෙස කථාකොට: ලාසරුස් මැරීලා ය”3 කියා කිව්වා.

යේසුස්වහන්සේ බෙතානියට පැමිණ පළමුව මාර්තා ද පසුව මරියා ද මුණගැසුණු විට—සමහර විට උන්වහන්සේ ප්‍රමාද වී පැමිණීම නිසා කලකිරීමෙන්—ඔවුන් එක් එක් කෙනා උන්වහන්සේට ආචාර කළේ මෙසේ කියමින්, “ස්වාමිනි, ඔබ මෙහි සිටිසේක් නම් මාගේ සහෝදරයා නොමැරෙයි.”4 මාර්තා තවදුරටත්: “ස්වාමිනි, ඔහු මැරී සතර දවසක් වන බැවින් දැන් ගඳ ඇතැයි කීවාය.”5

මේ දවස් හතර මරියාට සහ මාර්තාට බොහෝ වැදගත් වී තිබුණා. සමහර රබ්බිවරුන්ගේ චින්තන පාසල්වලට අනුව, ජීවිතය තවමත් පැවතිය හැකි බවට බලාපොරොත්තුවක් දෙමින්, මියගිය අයගේ ආත්මය දින තුනක් ශරීරය සමඟ පවතිනු ඇතැයි විශ්වාස කෙරුණා. කෙසේ වෙතත්, සිව්වන දින වන විට එම බලාපොරොත්තුව නැති වී ගියේ, සමහර විට ශරීරය දිරාපත් වීමට පටන් ගෙන “දුගඳ හමන” නිසා විය හැකියි.6

මරියා සහ මාර්තා බලාපොරොත්තු සුන් වූ තත්වයක සිටියා. “යේසුස්වහන්සේ [මරියා] අඬනවා, … දැක, ආත්මයෙන් සුසුම්ලා, කැලඹී,

“ඔහු කොතැන තැබුවහුදැයි? ඇසූසේක. ස්වාමිනි, ඇවිත් බැලුව මැනවයි ඔව්හු උන්වහන්සේට කීවෝය”7

මේ මොහොතේදී සිදුවූ, උන්වහන්සේගේ ලෞකික දේවසේවයේ එක් මහා ප්‍රාතිහාර්යයක් අපට පේනවා. පළමුවෙන් ස්වාමින්වහන්සේ මෙසේ කිව්වා, “ගල අහක්කරපල්ලා.”8 ඉන්පසු, තම පියාණන්වහන්සේට ස්තුති කිරීමෙන් පසු, “ලාසරුස් පිටතට වරෙන්නැයි මහත් ශබ්දයකින් කීසේක.

“මැරී සිටි තැනැත්තේ පිටතට ආවේය; ඔහුගේ අත්පා වස්ත්‍රවලින් බැඳ මුහුණද රෙදිකඩකින් ඔතා තිබුණේය. “මොහු මුදා යන්ට හැරපල්ලායයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.”9

මරියා සහ මාර්තා මෙන්, අපට ලෞකිකත්වයේ සියලු අත්දැකීම්, ශෝකය10 සහ දුර්වලකම පවා අත්විඳීමට අවස්ථාව තිබෙනවා.11 අප ආදරය කරන කෙනෙකුගේ වියෝව සමඟ ඇති වන හිත් වේදනාව අප සෑම කෙනෙකුම අත්විඳියි. අපගේ ලෞකික ගමනට පුද්ගලික රෝග හෝ අප ආදරය කරන කෙනෙකුගේ දුර්වල රෝග ඇතුළත් වෙනවා; ඒ තමයි මානසික අවපීඩනය, කාංසාව හෝ වෙනත් මානසික සෞඛ්‍ය අභියෝග; මූල්‍ය දුෂ්කරතා; පාවාදීම; පාපය වැනි දේවල්. සමහර විට මේවා ඇතිවෙන්නේ බලාපොරොත්තු රහිත හැඟීම් සමඟයි. මමත් එයින් වෙනස් නෑ. ඔබ මෙන්ම මමත් මේ ජීවිතයේ බලාපොරොත්තු වන අභියෝග රාශියකට මුහුණ දී තිබෙනවා. මෙම වාර්තාව තුළින් ගැලවුම්කරුවාණන් ගැන සහ උන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය ගැන එය මට උගන්වන දේට මගේ හිත යොමුවුණා.

අපගේ ලොකුම කනස්සල්ල අතරතුර, අපි, මරියා සහ මාර්තා මෙන්, ගැලවුම්කරුවාණන්ව සොයනවා නැතිනම් උන්වහන්සේගේ දිව්‍යමය මැදිහත්වීම ලබාදෙන ලෙස පියාණන්වහන්සේගෙන් ඉල්ලනවා. අපි අපේ පෞද්ගලික අභියෝගවලට මුහුණ දෙන විට අපගේම ජීවිතයට අදාළ කරගත හැකි මූලධර්ම ලාසරුස්ගේ කතාව අපට උගන්වනවා.

ගැලවුම්කරුවාණන් බෙතානියට පැමිණි විට, ලාසරුස්ව බේරාගත හැකි බවට සියලුදෙනාටම තිබූ බලාපොරොත්තු සුන් වී තිබුණා—දින හතරක් ගත වී තිබුණා, ඒ කියන්නෙ ඔහු නැතිවෙලා. සමහර වෙලාවට අපගේම අභියෝග අතරතුර, ක්‍රිස්තුස්වහන්සේ ප්‍රමාද වැඩියි කියා අපට හැඟෙන්න පුළුවන්, අපේ බලාපොරොත්තුව සහ ඇදහිල්ල අභියෝගයට ලක් වෙන්නත් පුළුවන්. මගේ සාක්ෂිය තමයි අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඉදිරියට යන විට, හතරවන දිනය සැමවිටම පැමිණෙනවා. උන්වහන්සේ සැමවිටම අපගේ උපකාරයට හෝ අපගේ බලාපොරොත්තු නැවත ජීවයට ගෙන ඒමට පැමිණෙනවා. උන්වහන්සේ මෙසේ පොරොන්දු වී තිබෙනවා:

“නුඹලාගේ සිත් කැලඹෙන්ට නොදෙන්න.”12

“නුඹලා අනාථව නාරින්නෙමි: මම නුඹලා වෙතට එමි.”13

සියලු බලාපොරොත්තු සුන් වී ගිය පසුත්, සංකේතාත්මක සිව්වන දිනය දක්වා උන්වහන්සේ අප වෙත නොපැමිණෙන බවක් සමහර විට පෙනෙන්නට පුළුවන්. ඒත් ඇයි මෙතරම් ප්‍රමාද? සභාපති තෝමස් එස්. මොන්සන් මෙසේ ඉගැන්වුවා, “අපට ප්‍රීති වීමට බොහෝ දේ දෙන අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ, අප සමත් විය යුතු පරීක්ෂාවන්ට මුහුණ දී ඒවා වලින් ජයගන්නා විට අප ඉගෙනගෙන වර්ධනය වන බවත් ශක්තිමත් වන බවත් දන්නවා.”14

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් පවා දැවැන්ත සිව්වන දින අත්දැකීමකට මුහුණ දුන්නා. ඔහුගේ ආයාචනය මතකද? “අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ කොහිද?” ඔබේ සැඟවුණු ස්ථානය ආවරණය කරන මණ්ඩපය කොහේද?”15 අපි උන්වහන්සේව විශ්වාස කරන විට, අපිට මේ හා සමාන පිළිතුරක් අපේක්ෂා කරන්න පුළුවන්: “මාගේ පුත්‍රය [හෝ දියණීය], නුඹගේ ප්‍රාණයට සමාදානය වේවා; නුඹගේ විපත්තිය සහ නුඹගේ පීඩාවන් එහෙත් කුඩා කාලයකට පමණක් වන්නේය.”16

අප සොයන දිව්‍යමය මැදිහත්වීම තුළ අපගේම භූමිකාව කුමක් විය හැකිද යන්න, ලාසරුස්ගේ කතාවෙන් අපට ඉගෙන ගත හැකි තවත් පණිවිඩයක්. යේසුස්වහන්සේ සොහොන් ගෙය ළඟට ගිය විට, උන්වහන්සේ මුලින්ම එහි සිටි අයට පැවසුවේ, “ගල අහක් කරන්න” කියායි.17 ගැලවුම්කරුවාණන්ට තිබූ බලයෙන්, ආයාසයකින් තොරව උන්වහන්සේට ආශ්චර්යමත් ලෙස එම ගල ඉවත් කළ නොහැකිද? මෙය දැකීමට සිත් ඇදගන්නාසුළු වූ අතර අමතක නොවන අත්දැකීමක් වෙන්නට තිබුණා, නමුත් උන්වහන්සේ අනෙක් අයට පැවසුවේ “ගල අහක් කරන්න” යනුවෙනුයි.

දෙවනුව, ස්වාමින්වහන්සේ, “ලාසරුස් පිටතට වරෙන්නැයි මහත් ශබ්දයකින්‍” කිව්වා.18 ගල ඉවත් කළ වහාම සමූහයාට පෙනෙන පරිදි ස්වාමින්වහන්සේම ආශ්චර්යමත් ලෙස ලාසරුස්ව විවරයෙහි තැබුවේ නම් එය වඩාත් ආකර්ෂණීය වෙන්නේ නැත්ද?

තෙවනුව, ලාසරුස් පිටතට පැමිණි විට, ඔහු “ඔහුගේ අත්පා වස්ත්‍රවලින් බැඳ මුහුණද රෙදිකඩකින් ඔතා තිබුණා. මොහු මුදා යන්ට හැරපල්ලායයි යේසුස්වහන්සේ ඔවුන්ට [කිව්වා].”19 ලාසරුස්ව ඒ වන විටත් පිරිසිඳුව හා ඔහුගේ සොහොන් වස්ත්‍ර මනාව නැමූ ආකාරයට තබා ඔහුව විවරය අසල සිටුවන්නටත්, ස්වාමින්වහන්සේට හැකි බව මට විශ්වාසයි.

මෙම අංගයන් ඉස්මතු කිරීමේ අරමුණ කුමක්ද? මෙම සෑම කාරණා තුනටම පොදු දෙයක් තිබුණා—ඒ කිසිවකට ක්‍රිස්තුස්වහන්සේගේ දිව්‍ය බලය භාවිතා කිරීමට අවශ්‍ය වුණේ නෑ. උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට කළ හැකි දේ, උන්වහන්සේ ඔවුන්ට කරන ලෙස උපදෙස් දුන්නා. ගෝලයන්ට නිසැකවම එම ගල ඔවුන් විසින්ම චලනය කිරීමට පුළුවන්; ලාසරුස්ට, ඔහුව නැගුටවූ පසු, ගුහාව විවෘත කරන ස්ථානයේ සිටගෙන පෙනී සිටීමට හැකියාව තිබුණා; ඒවගේම ලාසරුස්ට ආදරය කළ අයට සොහොන් රෙදි ඉවත් කිරීමට ඔහුට උදව් කරන්නට පුළුවන්කම තිබුණා.

කෙසේ වෙතත්, ලාසරුස්ව මළවුන්ගෙන් නැවත නැගිටුවීමට බලය සහ අධිකාරිය තිබුණේ ක්‍රිස්තුස්වහන්සේට පමණයි. මගේ හැඟීම තමයි අපට කළ හැකි සියල්ල අපි කිරීම ගැලවුම්කරුවාණන් අපෙන් බලාපොරොත්තු වන අතර උන්වහන්සේට පමණක් කළ හැකි දේ උන්වහන්සේ කරනවා.20

“[ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි] ඇදහිල්ල ක්‍රියාවේ ප්‍රතිපත්තියක්”21 බව සහ “ප්‍රාතිහාර්යයන් ඇදහිල්ල ඇති නොකරන, නමුත් ශක්තිමත් ඇදහිල්ල වර්ධනය වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු වීමෙන් බව” අපි දන්නවා. වෙනත් වචනවලින් කිවහොත්, ඇදහිල්ල පැමිණෙන්නේ ධර්මිෂ්ඨකමින්.”22 පූජනීය ගිවිසුම් ඇති කර ගනිමින් සහ ඒවා තමබින්, ක්‍රිස්තුස්වහන්සේගේ දහම අපගේ ජීවිතයට අදාළ කර ගනිමින් ධර්මිෂ්ඨව ක්‍රියා කිරීමට අප උත්සාහ කරන විට, අපගේ ඇදහිල්ල සතරවන දිනය දක්වා අපව ගෙන යාමට ප්‍රමාණවත් වෙනවා පමණක් නොවේ, නමුත් බලාපොරොත්තු සුන්වීමෙන් පැන නගින, අපව බැඳ තබන සියල්ලෙන් අපවම ලිහිල් කරන අපගේ මාවතේ ඇති ගල් ස්වාමින්වහන්සේගේ උපකාරයෙන් චලනය කිරීමටත් අපට පුළුවන් වෙනවා. “අපගේ බලයේ ඇති සියල්ල”23 අපි කරාවි කියා ස්වාමින්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා, නමුත් අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට උන්වහන්සේ මේ සියල්ල සඳහා අවශ්‍ය උපකාර ලබා දෙන බව මතක තබා ගන්න.

එම ගල් එහා මෙහා කර උන්වහන්සේගේ පර්වතය මත අපි ගොඩනැගෙන්නේ කොහොමද?24 අපට අනාගතවක්තෘවරුන්ගේ උපදෙස් පිළිපදින්න පුළුවන්.

නිදසුනක් වශයෙන්, ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ අපගේම සාක්ෂි වල වගකීම භාර ගන්නා ලෙසත්, ඒවා වෙනුවෙන් වැඩ කිරීමට සහ ඒවා පෝෂණය කිරීමටත්, ඒවා සත්‍යයෙන් පෝෂණය කරමින් නොඇදහිලිවන්තයන්ගේ ව්‍යාජ දර්ශනවලින් ඒවා දූෂණය කිරීමෙන් වළක්වා ගන්නා ලෙසත් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සභාපති රසල් එම්. නෙල්සන් අපෙන් අයැද සිටියා. ඔහු අපි සෑම කෙනෙකුටම මෙසේ පොරොන්දු වුණා, “ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔබගේ සාක්ෂිය අඛණ්ඩව ශක්තිමත් කිරීම ඔබේ ඉහළම ප්‍රමුඛතාවය ලෙස සලකන විට, ඔබේ ජීවිතයේ ප්‍රාතිහාර්යයන් සිදුවන දෙස බලා සිටින්න.”25

අපිට මෙය කරන්න පුළුවන්!

අපට සංකේතාත්මකව නැඟී ඉදිරියට පැමිණිය හැක්කේ කොහොමද? අපට ප්‍රීතියෙන් පසුතැවිලි වී ආඥාවලට කීකරු වීමට තීරණය කරන්න පුළුවන්. ස්වාමින්වහන්සේ මෙහෙම කිව්වා: “යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේම කොට ඔහුට ප්‍රකාශවන්නෙමි.”26 අපට දිනපතා පසුතැවිලි වී ප්‍රීතියෙන් ස්වාමින්වහන්සේ කෙරෙහි ප්‍රේමයෙන් පිරුණු කැමැත්තෙන් ඉදිරියට යාමට උත්සාහ කරන්න පුළුවන්.

අපිට මෙය කරන්න පුළුවන්!

ස්වාමින්වහන්සේගේ උපකාරය ඇතිව, අපව බැඳ තබන සියල්ලෙන් අපට ගැලවිය හැක්කේ කෙසේද? ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් අපට අපව ගිවිසුම් හරහා අපගේ ස්වර්ගික පියාණන්වහන්සේට සහ උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බැඳ තබන්න පුළුවන්. වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් මෙහෙම ඉගැන්වුවා: “[අපගේ] සදාචාරාත්මක හා අධ්‍යාත්මික බලයේ මූලාශ්‍රය කුමක්ද සහ අප එය ලබා ගන්නේ කෙසේද? මූලාශ්‍රය දෙවියන්වහන්සේ යි. එම බලයට අපගේ ප්‍රවේශය වන්නේ උන්වහන්සේ සමඟ ඇති අපගේ ගිවිසුම්. … මෙම දිව්‍ය එකඟතා වලදී, දෙවියන්වහන්සේට සේවය කිරීමට සහ උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට අපගේ කැපවීම වෙනුවෙන් අපව පවත්වා ගැනීමට, විශුද්ධ කිරීමට සහ උසස් කිරීමට දෙවියන්වහන්සේ බැඳී සිටිනවා.27 අපට ශුද්ධ වූ ගිවිසුම් ඇති කරගෙන ඒවා පිළිපදින්න පුළුවන්.

අපිට මෙය කරන්න පුළුවන්!

“ඔබ ඒ ගල අහක් කරන්න.” “ඉදිරියට පැමිණෙන්න.” “ඔහුව නිදහස් කර ඔහුට යන්න දෙන්න.”

උපදෙස්, ආඥා සහ ගිවිසුම්. අපිට මෙය කරන්න පුළුවන්!

වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් මෙසේ පොරොන්දු වුණා. “සමහර ආශිර්වාද පැමිණේ, සමහරෙක් ප්‍රමාද වී පැමිණේ; සමහරක් ස්වර්ගයට යන තෙක් නොපැමිණෙයි; නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය වැලඳගන්නා අයට ඒවා පැමිණෙන්නේය.”28

අවසාන වශයෙන්, “එසේහෙයින්, ධෛර්යමත්ව සිටින්න, තවද බිය නොවන්න, මක්නිසාද ස්වාමින්වහන්සේ වන මම නුඹලා සමඟ වන්නෙමි, තවද නුඹලා සමඟ සිටින්නෙමි.”29

මේ තමයි මගේ සාක්ෂිය, සැමදා පැමිණෙන්නා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. බලන්න යොහාන් 11:3.

  2. යොහාන් 11:6–7.

  3. යොහාන් 11:14.

  4. යොහාන් 11:21, 32.

  5. යොහාන් 11:39.

  6. “යුදෙව් විශ්වාසයන්ට අනුව ආත්මය මරණයෙන් දින තුනකට පසු ශරීරය ආසන්නයේ රැඳී සිටියි. යුදෙව් විශ්වාසයට අනුව, එහි ප්‍රතිඵලයක් ලෙස, මිය ගිය කෙනෙකුගේ නැවත පණ ගැන්වීම සිව්වන දිනයේදී කළ නොහැක්කකි, මන්ද ආත්මය එහි පිහිටීම වෙනස් කළ ශරීරයට නැවත ඇතුළු නොවනු ඇත. හතරවෙනි දවසේදී යේසුස්වහන්සේ ලාසරුස්ව නැඟිට වූ ආශ්චර්යයේ සාක්ෂිකරුවන්ට එය වඩාත් ආකර්ෂණීය විය. මේ අනුව හතරවන දිනය මෙහි විශේෂ අර්ථයක් ඇති අතර, හැකි සියලු උත්ථාන ප්‍රාතිහාර්යයන් අතුරින් ශ්‍රේෂ්ඨතම ප්‍රාතිහාර්යය සම්බන්ධයෙන් භාවිතා කිරීම සඳහා කථකයා විසින් හිතාමතාම තෝරාගනු ලැබ ඇත” (Ernst Haenchen, John 2: A Commentary on the Gospel of John, Chapters 7–21, ed. Robert W. Funk and Ulrich Busse, trans. Robert W. Funk [1984], 60–61).

  7. යොහාන් 11:33–34.

  8. යොහාන් 11:39.

  9. යොහාන් 11:43–44.

  10. බලන්න මෝසෙස් 4:22–25

  11. ඊතර් 12:27 බලන්න.

  12. යොහාන් 14:1.

  13. යොහාන් 14:18.

  14. Thomas S. Monson, “I Will Not Fail Thee, nor Forsake Thee,” Liahona, Nov. 2013, 87. සභාපති මොන්සන් තවදුරටත් මෙසේ පැහැදිලි කළේය: “අපි හද කම්පා කරවන දුකක් අත්විඳින අවස්ථා, අපි දුක් වන අවස්ථා සහ අපගේ සීමාවන්ට අපව පරීක්ෂාවට ලක් කළ හැකි අවස්ථා ඇති බව අපි දනිමු. කෙසේ වෙතත්, එවැනි දුෂ්කරතා අපට වඩා හොඳින් වෙනස් වීමටත්, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අපට උගන්වන ආකාරයට අපගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමටත්, අපට සිටි ආකාරයට වඩා වෙනස් වීමටත් ඉඩ සලසයි—එනම් අපට වඩා හොඳ, අපට වඩා අවබෝධයක්, අපට වඩා සංවේදී වීමට, සහ අපි කලින් තිබුනාට වඩා ප්‍රබල සාක්ෂි සහිතව සිටීමට හැකියාව ලබා දෙයි” (“I Will Not Fail Thee, Nor Forsake Thee,” 87). තවත් බලන්න දහම සහ ගිවිසුම් 84:119: “මක්නිසාද ස්වාමින්වහන්සේ වන, මම, ස්වර්ගයන්ගේ බලය ක්‍රියාත්මක කිරීමට මාගේ හස්තය ඉදිරියට දමා ඇත; නුඹලාට එය දැන් දැකිය නොහැකිය, එහෙත් ටික කාලයකින් පසුව නුඹලා එය දකිනු ඇත, තවද ඒ මා බවත්, මා පැමිණෙන බවත් තවද මාගේ ජනතාව සමග රජකම් කරන බවත් දැනගනු ලබන්නෝය.”

    තවත් බලන්න මොසායා 23:21–24:

    “එසේවුවත් ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සෙනඟට තරවටු කිරීම සුදුසු යැයි සිතන සේක; එසේය, උන්වහන්සේ ඔවුන්ගේ ඉවසිල්ලද ඔවුන්ගේ ඇදහිල්ලද පරීක්ෂා කරන සේක.

    “කෙසේ වෙතත්—කවරෙක් නමුත් ඔහුගේ විශ්වාසය උන්වහන්සේ කෙරෙහි තබන්නේද එවැන්නාම අවසාන දවසේදී ඔසවනු ලබන්නේය. එසේය, තවද එය එසේ මෙම ජනතාව සමඟ විය.

    “මක්නිසාද බලන්න, මම නුඹලා හට පෙන්වන්නෙමි එනම් ඔවුන්ව වහල් භාවයට ගනු ලැබුවෝය, තවද ඔවුන්ගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේ හැර, එසේය ආබ්‍රහම්ගේද, ඊසාක්ගේද, යාකොබ්ගේද දෙවියන්වහන්සේට හැර, ඔවුන්ව මුදවා ගැනීමට කිසිවෙකුටත් නොහැකිය.

    “තවද එය මෙසේ සිදු විය එනම් උන්වහන්සේ ඔවුන්ව බේරාගනු ලැබූ සේක, තවද උන්වහන්සේ ඔවුන් හට උන්වහන්සේගේ බලවත් බලය පෙන්වූ සේක, තවද ඔවුන්ගේ ප්‍රශංසාව අති මහත් විය.”

  15. දහම සහ ගිවිසුම් 121:1.

  16. දහම සහ ගිවිසුම් 121:7.

  17. යොහාන් 11:39.

  18. යොහාන් 11:43.

  19. යොහාන් 11:44.

  20. සභාපති රසල් එම්. නෙල්සන් මෙහෙම කිව්වා,“බොහෝ විට, අප අපගේ උපරිමය කළ පසුත්, තවත් කරන්නට කිසිවක් ඉතිරිව නොමැති විටත්, තවමත් අභියෝගාත්මක අවස්ථාවන්හිදී උන්වහන්සේ මැදිහත් වී ඇති ආකාරය, මගේ උපදේශකයින් සහ මම කඳුළු සලන දෑසින් බලාසිට තිබෙනවා. අපි සැබවින්ම විශ්මයට පත්වෙයි” (“පිළිගැනීමේ පණිවිඩය,” ලියහෝනා, 2021 මැයි, 6).”

  21. Bible Dictionary, “Faith.”

  22. Guide to the Scriptures, “Faith,” scriptures.ChurchofJesusChrist.org.

  23. දහම සහ ගිවිසුම් 123:17.

  24. බලන්න 3 නෙපි 11:32–39.

  25. රසල් එම්. නෙල්සන්, “ලෝකය ජයගෙන විවේකය සොයාගන්න,” ලියාහෝනා, නොවැම්බර් 2022, 97.

  26. යොහාන් 14:21.

  27. D. Todd Christofferson, “The Power of Covenants,” Liahona, May 2009, 20.

  28. Jeffrey R. Holland, “An High Priest of Good Things to Come,” Liahona, Jan. 2000, 45.

  29. දහම සහ ගිවිසුම් 68:6.