ප්‍රධාන සම්මන්ත්‍රණය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම්
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම්

අපගේ ජීවිත මෙහෙයවීමට අපට ශුද්ධලියවිලි ලබා දී තිබෙනවා. අද මගේ පණිවිඩය සමන්විත වන්නේ අපගේ ගැලවුම්කරුවාණන් පවසන ලද වචන වලින් තෝරා ගැනීමකින්.

අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාස කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයින් වශයෙන්, අපි උන්වහන්සේට නමස්කාර කරන අතර ශුද්ධලියවිලිවල ඇති උන්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කරනවා.

වැටීමට පෙර, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ ආදම් සහ ඒව සමඟ කෙලින්ම කතා කළා. ඉන්පසුව, පියාණන්වහන්සේ තම ඒකජාතක පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් ලෙස හඳුන්වා දී “උන්වහන්සේට ඇහුම්කන් දෙන්න”1 යන ආඥාව අපට ලබා දුන්නා. මේ හේතුවෙන් “දෙවියන්වහන්සේ” හෝ “ස්වාමින්වහන්සේ” විසින් කථා කරන ලද වචනවල ශුද්ධලියවිලිමය වාර්තා සෑම විටම පාහේ යෙහෝවා වහන්සේගේ, එනම් උත්ථාන වූ අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වචන බව අපි නිගමනය කරනවා.2

අපගේ ජීවිත මෙහෙයවීමට අපට ශුද්ධලියවිලි ලබා දී තිබෙනවා. අනාගතවක්තෘ නෙපි අපට ඉගැන්වූ පරිදි, අපි මෙසේ කළ යුතුයි “ක්‍රිස්තුස්වහන්සේගේ වචනය භුක්ති විඳපන්න; මක්නිසාද බලන්න, ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා කළයුතු සියල්ල නුඹලාට කියනු ලබන්නේය.”3 යේසුස්වහන්සේගේ ලෞකික දේවසේවාවන් වාර්තා කරන බොහෝ ශුද්ධලියවිලි පද විස්තර කරන්නේ උන්වහන්සේ කළ දේවල්. අද මගේ පණිවිඩය සමන්විත වන්නේ අපගේ ගැලවුම්කරුවාණන් පවසන ලද වචන වලින් තෝරා ගැනීමකින්. මේවා අලුත් ගිවිසුමේ (ජෝසෆ් ස්මිත් දේවානුභාවයෙන් කළ එකතු කිරීම් ඇතුළුව) සහ මොර්මොන්ගේ පොතේ වාර්තා කර ඇති වචනයි. මෙම තේරීම් බොහොමයක් අපගේ ගැලවුම්කරුවාණන් කථා කළ අනුපිළිවලටම තිබෙනවා.

“සැබවක් සැබවක් නුඹට කියමි, යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්ට බැරිය.”4

“තවද ධර්මිෂ්ඨකම් කිරීමට සා පිපාසා වන සියල්ලෝ ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුහු ශුද්ධාත්මයාණන්ගෙන් පුරවනු ලබන්නෝය.”5

“සාමය ඇතිකරන්නෝ ආශිර්වාද ලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය.”6

“පුරාණයේ අයවළුන් විසින්, කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ:

“නුමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමග සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය.”7

“තාගේ අසල්වාසියාට ප්‍රේම කරව, තාගේ සතුරාට වෛර කරවයි කී බව නුඹලා අසා තිබේ.

“නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා, නුඹලාට ශාප කරන්නන්ට ආශිර්වාද කරපල්ලා, නුඹලාට විරුද්ධ වෙමින් නුඹලාව භාවිතා කරන්නන් හා නුඹලාට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරපල්ලා;

“මෙසේ නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. මක්නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදා කරවන සේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන සේක.”8

“මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීය වූ පියාණන්වහන්සේ නුඹලාටත් කමාකරන සේක.

“නුමුත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම්, නුඹලාගේ පියාණන්වහන්සෙත් නුඹලාගේ වරද කමා නොකරන සේක.”9

“නුඹලා ලෝකයට අයිති නම්, ලෝකයා තමුන්ගේම අයට ආදරේ වන්නෝය. නුමුත් නුඹලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛර වෙති.”10

“එසේහෙයින්, මේ ලෝකයේ දේවල් සෙවිය නොයුතුය, එහෙත් නුඹලා පළමුව දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගොඩනගා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පිහිටුවීමට සෙවිය යුතුය, එවිට මේ සියල්ල ඔබට එකතු කරනු ලැබේ.”11

“එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරපල්ලා. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය.”12

“බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම් වෙයල්ලා. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු ක්‍රෑර වූ වෘකයෝය.

“ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳිනගන්නහුය. මනුෂ්‍යයෝ කටුගස්වලින් මුද්‍රික ඵලවත් ගොකටුවලින් අත්තික්කා ඵලවත් නෙළාගනිද්ද?

“එසේම සියලු හොඳ ගස් හොඳ ඵල දරයි; නුමුත් නරක ගහ නරක ඵල දරයි.”13

“ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය.”14

“වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි.

“මාගේ වියගහ ඔබ පිටට ගෙන මා ගැන ඉගෙනගන්න; මක්නිසාද මම සිතින් මෘදුව යටහත්ව සිටින බැවින්: නුඹලාගේ ආත්ම වලට සහනය ලැබෙන්නේය.

“මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.”15

“යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා.

“තවද මනුෂ්‍යයෙකු ඔහුගේ කුරුසිය ඔහු මත ගන්නවා යන්නෙන් අදහස් වන්නේ, ඔහු සියලුම අධර්මිෂ්ඨ දෙයින්, තවද ලෞකික තණ්හාවෙන් ඔහුවම වළකාගෙන, මාගේ ආඥා පිළිපැදීමයි.”16

“එබැවින් ලෝකය අත්හරින්න, ඔබේ ප්‍රාණයන් ගලවාගන්න; මක්නිසාද මනුෂ්‍යයා මුළු ලෝකයම ලබාගෙන, තමාගේම ප්‍රාණය නැතිකර ගන්නේ නම් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද? නොඑසේ නම් මිනිසෙකු තම ප්‍රාණය වෙනුවට කුමක් දිය යුතුද?”17

“යමෙක් උන්වහන්සේගේ කැමැත්ත කරන්ට කැමති නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන්වහන්සේගෙන් වූ ඉගැන්වීමක්ද නොහොත් මා විසින් උපදවා කියනවාදැයි දැනගන්නේය.”18

“තවද මම නුඹලා හට කියන්නෙමි, ඉල්ලාපල්ලා, එවිට නුඹලාට දෙනු ලැබේ; සොයාපල්ලා, එවිට නුඹලාට සම්බ වේ; තට්ටුකරපල්ලා, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.

“ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට දොර හරිනු ලැබේ.”19

“තවද මේ ගාලට අයිති නොවූ වෙනත් බැටළුවෝ මට ඇත්තාහ. ඔවුන්ද මා විසින් ගෙනෙන්ට ඕනෑය, ඔව්හු මාගේ හඬ අසන්නෝය; එසේ එක රැළක්ද එක එඬේරෙක්ද වන්නාහ.”20

“යේසුස්වහන්සේ: නැවත-නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය:

ජීවත්ව සිටින කවුරු නුමුත් මා කෙරෙහි අදහන්නේද, ඔහු කිසිකලකත් නොනසින්නේය.”21

“[ව්‍යවස්ථාවේ ශ්‍රේෂ්ඨතම ආඥාව මෙයයි:] ඔබේ මුළු හෘදයෙන්ද, ඔබේ මුළු ආත්මයෙන්ද, ඔබේ මුළු බුද්ධියෙන්ද, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේම කරව.

“මේක උතුම් වූ පළමුවෙනි වූ ආඥාවය.

“මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරව.

“මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගතවාක්‍යයත් පිහිටා තිබේයයි කීසේක.”22

“යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂා කෙරේද මට ප්‍රේම කරන්නාට මාගේ පියාණන් විසින් ප්‍රේම කරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේම කොට ඔහුට ප්‍රකාශවන්නෙමි.”23

“නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙල්ලා.”24

“මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරපල්ලාය යනුය.”25

“මාගේ අත් පා බලා, ඒ මමම බව දැනගනිල්ලා. මා අතගා බලාපල්ලා. මක්නිසාද මස් හා ඇට මට තිබෙනවා නුඹලාට පෙනෙන ලෙස ආත්මයකට නැතැයි කීසේක.”26

“එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන්ට උගන්වන්න, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න:

“මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමි.”27

ශුද්ධ භූමියේ උන්වහන්සේගේ දේවසේවයෙන් පසු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අමෙරිකානු මහාද්වීපයේ ධර්මිෂ්ඨයන්ට පෙනී සිටියා. මේ උන්වහන්සේ එහිදී කී වචන කිහිපයක්:

“බලන්න, මම දෙවියන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. මම සියලුම දේවල් අහස හා පොළොවද ඒවායේ ඇති සියලු දේවල්ද මැවුවෙමි. මම ආරම්භයේ සිටම පියාණන්වහන්සේ සමඟ සිටියෙමි. මා පියාණන්වහන්සේ තුළද, පියාණන්වහන්සේ මා තුළද වන සේක, තවද මා තුළ පියාණන්වහන්සේ උන්වහන්සේගේ නාමය මහිමවත් කර ඇති සේක.”28

“මම ආලෝකයද ලෝකයේ ජීවනයද වෙමි. මම ඇල්ෆා සහ ඔමේගා ය, ආරම්භයද අවසානයද මම ය.

“තවද නුඹලා තවදුරටත් මා හට රුධිරය වැගිරීම ඔප්පු නොකරන්නේය; එසේය, නුඹලාගේ දවන පූජාවන්ද නවත්වනු ලබන්නේය, මක්නිසාද මම නුඹලාගේ කිසිම පූජාවක් නුඹලාගේ දවන පූජාවන්ද පිළි නොගන්නෙමි.

“තවද නුඹලා මා හට බිඳුණු හදවතක්ද, පසුතැවුණු ආත්මයක්ද පූජාවක් ලෙස ඔප්පු කරන්නෙහුය. බිඳුණු හදවතක් සහ පසුතැවුණු ආත්මයකින් මා වෙතට එන කවරෙකු වුවද, ඔහු ගින්නෙන් සහ ශුද්ධාතමයාණන්ගෙන් බෞතීස්ම විය යුතුය. …

“බලන්න, මම ලෝකයට පැමිණ ඇත්තේ ලෝකය පාපයෙන් ගලවා, ලෝකයට මිදීම ගෙන ඒමට ය.”29

“තවද නැවතත් මම නුඹලා හට පවසන්නෙමි, නුඹලා පසුතැවිලි විය යුතුම වන්නෝය, තවද මාගේ නාමයෙන් බව්තීස්ම වී කුඩා දරුවෙකු මෙන් පැමිණිය යුතු වන්නෝය, නැතහොත් නුඹලා කිසිම ආකාරයකින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෙහුය.”30

“එසේහෙයින් මා මෙන්, හෝ ස්වර්ගයෙහි වැඩසිටින නුඹලාගේ පියාණන්වහන්සේ පරිපූර්ණ වන්නාක් මෙන්, නුඹලාත් පරිපූර්ණ වීම මාගේ කැමැත්තය.”31

“සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් යක්ෂයා විසින් නුඹලාව පරීක්ෂා කර තවද ඔහු විසින් නුඹලාව වහල්භාවය සඳහා ඉවතට ගෙන නොයන පිණිස, නුඹලා අවදිව සිටිමින් නිතරම යාච්ඤා කළ යුතු වන්නෝය.”32

“එසේහෙයින් නුඹලා නිතර පියාණන්වහන්සේට මාගේ නාමයෙන් යාච්ඤා කළ යුතු වන්නෝය.”33

“එසේහෙයින් නුඹලා කුමනාකාර දෙයක් කරන්නේද, නුඹලා මාගේ නාමයෙන් එය කරන්නෙහුය; එසේහෙයින් නුඹලා, සභාව මාගේ නාමයෙන් හැඳින්විය යුතු වන්නෝය.”34

“බලව, මම නුඹලා හට මගේ ශුභාරංචිය දී ඇත්තේය, තවද නුඹලාට දෙන ශුභාරංචිය මෙයයි—එනම් මා ලෝකය තුළට පැමිණියේ මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කිරීමටය, මක්නිසාද මාගේ පියාණන්වහන්සේ මා එවූ බැවින්ය.”

“තවද මාගේ පියාණන්වහන්සේ මා එවූයේ එනම් මා කුරුසිය මත ඔසවනු ලබන පිණිසය; තවද මා කුරුසිය මත ඔසවනු ලැබීමෙන් පසුව, එනම් සියලුම මනුෂ්‍යයන් මා වෙතට සමීප කරගත හැකි වන්නේය … ඔවුන්ගේ ක්‍රියාවන් යහපත් හෝ ඒවා දුෂ්ඨ දැයි විනිශ්චය කරනු ලැබීමට මා ඉදිරියේ ඔවුන්ව සිටවනු ලබන්නාහ.”35

“තවද ආඥාව මෙයයි, පොළොවේ කෙළවර සිටින නුඹලා සියල්ලෙනි පසුතැවිලි වී මා වෙතට වරෙල්ලා, එනම් තවද මාගේ නාමයෙන් බව්තීස්ම වෙයල්ලා, එනම් ශුද්ධාත්මයාණන් ලැබීම කරණකොටගෙන පවිත්‍ර වන පිණිස නුඹලා අවසාන දවසේදී මා ඉදිරියේ කැළැල් රහිතව සිටින පිණිසය.”36

අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාස කරනවා. අපි උන්වහන්සේගේ ඉගැන්වීම් දැනගෙන අනුගමනය කළ යුතු ආකාරය ගැන උන්වහන්සේ පැවසූ දෙයින් මම අවසන් කරන්නම්.

“නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවන සේක.”37

මෙම ඉගැන්වීම්වල සත්‍යතාව මම තහවුරු කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.