ප්‍රධාන සම්මන්ත්‍රණය
ඔබේ ආදිපීතෘ ආශිර්වාදය ලබා ගත යුත්තේ කවදාද?
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඔබේ ආදිපීතෘ ආශිර්වාදය ලබා ගත යුත්තේ කවදාද?

ඔබට ඔබගේ ආශිර්වාදය ලැබෙන විට, ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට ප්‍රේම කරන ආකාරය සහ උන්වහන්සේලා ඔබ කෙරෙහි පුද්ගලිකව අවධානය යොමු කරන ආකාරය ඔබට අවබෝධ වී, ඒ ගැන දැනෙයි.

ඊයේ දින මගේ ආදරණීය මිතුරා වැඩිහිටි රැන්ඩල් කේ. බෙනට් ආදිපීතෘ ආශිර්වාද ගැන කතා කළා. එය විශිෂ්ට පණිවිඩයක් වූ අතර එය අප සියල්ලන්වම දිරිමත් කළා. මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මටත් ආදිපීතෘ ආශිර්වාදය ගැන කතා කරන්න ඉඩදෙන්න? ආදිපීතෘවරුනි, ආදිපීතෘ ආශිර්වාද වලට ඉල්ලීම වැඩි විය හැකි බැවින්, දිගින් දිගටම ඔබගේ කැඳවීම ඉටු කරන විට ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන මෙන් මම යාච්ඤා කරනවා.

මම ස්ටේක සම්මන්ත්‍රණවලට යන විට, මම සෑම විටම ස්ටේක ආදිපීතෘවරයාව සහ ඔහුගේ බිරිඳව මුණගැසෙනවා. ආදිපීතෘවරුන් කියන්නේ මෘදු, කීකරු සහ දෙවියන්වහන්සේ විසින් කැඳවා ඇති ඇදහිය නොහැකි නායකයින්. ඔවුන් මට අපූරු අධ්‍යාත්මික අත්දැකීම් බොහෝමයක් පවසනවා. මම ඔවුන් ආශිර්වාද ලබා දුන් ලාබලතම සහ වැඩිමහල්ම පුද්ගලයන්ගේ වයස අසනවා. මේ වන විට ලාබලතමයාට වයස ඇවුරුදු 11ක් වන අතර, වැඩිමහල් තැනැත්තා 93 වනවා.

මම බව්තීස්ම වී වසර දෙකකට පසු, වයස අවුරුදු 19 දී, සභාවේ නව සාමාජිකයෙකු ලෙස මගේ ආදිපීතෘ ආශිර්වාදය ලබා ගත්තා. මගේ ආදිපීතෘ ඇදහිය නොහැකි තරම් වියපත් වූ කෙනෙක්. ඔහු 1916 දී සභාවට සම්බන්ධ වූ අතර ජපානයේ සභාවේ පුරෝගාමියෙකුද වනවා. ස්වාමින්වහන්සේගේ එම අනුගාමිකයාගෙන් මාගේ ආදිපීතෘ ආශිර්වාදය ලැබීම මට මහත් ගෞරවයක්. ඔහුගේ ජපන් භාශාව මට තේරුම් ගැනීමට තරමක් අපහසු වූවත් එය බලවත් වුණා.

මට හමු වූ බොහෝ ආදිපීතෘවරුන් මට පවසන්නේ බොහෝ පුද්ගලයන් ධර්මදූතයක සේවය කිරීමට පෙර ඔවුන්ගේ ආදිපීතෘ ආශිර්වාදය ලබා ගන්නා බවයි. මගේ ආදරණීය තරුණ පිරිමි ළමුනි, තරුණ ගැහැණු ළමුනි, දෙමාපියනි, ඒවගේම සභානායකවරුනි, ආදිපීතෘ ආශිර්වාදය ඇත්තේ ධර්මදූතයක සේවය කිරීමට සූදානම් වීම සඳහා පමණක් නොවේ. සුදුසු බව්තීස්ම වූ සාමාජිකයින්ට සුදුසු කාලය පැමිණි විට ඔවුන්ගේ ආදිපීතෘ ආශිර්වාදය ලබාගන්න පුළුවන්.1

හිතවත් වැඩිහිටි සාමාජිකයිනි, ඔබගෙන් සමහරෙකුට තවමත් ආදිපීතෘ ආශිර්වාදය ලැබී නැහැ. මතක තබා ගන්න, එය ලබාගන්නට වයසක් නැහැ.

මගේ නැන්දම්මා සභාවේ ඉතා ක්‍රියාශීලී සාමාජිකාවක් වූ අතර, ඇය වයස අවුරුදු 91 දී මිය යන තුරුම සහන සමිතියේ ගුරුවරියක් ලෙස සේවය කළා. ඇයට ආදිපීතෘ ආශිර්වාදයක් නොලැබුණු බව දැනගත් විට මම කණගාටු වුණා. ඇය ජීවිතයේ බොහෝ දුෂ්කරතා අත්විඳ තිබෙනවා මෙන්ම, ඇයට නිවසේ පූජකවරය උසුලන්නෙකු නොසිටි නිසා, ඇයට බොහෝ පූජකවර ආශිර්වාද ලැබුණේ නැහැ. ඇයට වඩාත්ම අවශ්‍ය වේලාවලදී ආදිපීතෘ ආශිර්වාදයක් ඇයට සැනසීම ලබාදෙන්නට තිබුණා.

වැඩිහිටි ඔබට තවමත් ආදිපීතෘ ආශිර්වාදයක් නොලැබුනේ නම්, කරුණාකර කලබල වෙන්න එපා! සෑම කෙනෙකුගේම අධ්‍යාත්මික කාලසටහන වෙනස්. ඔබට වයස අවුරුදු 35 හෝ 85 නම් සහ ඔබට කැමැත්තක් තිබේ නම්, ඔබේ ආශිර්වාදය ලබා ගැනීම ගැන ඔබේ සභානායකවරයා සමඟ කතා කරන්න.

සභාවේ නව සාමාජිකයිනි, ඔබ ආදිපීතෘ ආශිර්වාද ගැන අසා තිබෙනවාද? මම සභාවට සම්බන්ධ වූ විට ආශිර්වාදයක් ලැබීමේ අවස්ථාව ගැන මම දැන සිටියේ නැහැ, නමුත් මගේ ආදරණීය සභානායකවරයා මට ආදිපීතෘ ආශිර්වාද ගැන පැවසූ අතර මම බව්තීස්ම වූ පසු මගේ ආශිර්වාදය ලබා ගැනීමට සූදානම් වන ලෙස මාව දිරිමත් කළා. මගේ හිතවත් නව සාමාජිකයිනි, ඔබටත් ආදිපීතෘ ආශිර්වාදයක් ලබාගන්න පුළුවන්. මෙම පූජනීය අවස්ථාව සඳහා සූදානම් වීමට ස්වාමින්වහන්සේ ඔබට උපකාර කරයි.

ආදිපීතෘ ආශිර්වාදයක් සඳහා හේතුවන අරමුණු දෙකක් අපි සලකා බලමු:

  1. ආදිපීතෘ ආශිර්වාදයක් තුළ ස්වාමින්වහන්සේගෙන් ඔබට පුද්ගලික උපදේශන අඩංගු වනවා.2

  2. ආදිපීතෘ ආශිර්වාදයක් ඉශ්‍රායෙල් වංශයේ ඔබේ පෙළපත ප්‍රකාශ කරනවා.

ආදිපීතෘ ආශිර්වාදය ඔබගේ ස්වර්ගික පියාගෙන් ලැබෙන පණිවිඩයක් වන අතර ඔබගේ ජීවිත කාලය පුරාවටම ඔබට මගපෙන්වීම සඳහා අවශ්‍ය පොරොන්දු සහ දේවානුභාවයෙන් යුත් උපදෙස්ද එහි ඇතුළත් වෙනවා. ආදිපීතෘ ආශිර්වාදයක් ඔබේ ජීවිතය සිතියම් ගත කිරීමට හෝ ඔබේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු දීමට යන්නේ නෑ. එය ජීවිතයේ වැදගත් සිදුවීමක් සඳහන් නොකරන්නේ නම්, ඔබට එම අවස්ථාව නොලැබෙන බව එයින් අදහස් කරන්නේ නැහැ. ඒ හා සමානව, ඔබේ ආශිර්වාදයේ ඇති සියලුම දේවල් මේ ජීවිතයේ සිදුවනු ඇති බවට සහතිකයක් නෑ. ආදිපීතෘ ආශිර්වාදයක් සදාකාලික වන අතර ඔබ සුදුසු ලෙස ජීවත් වන්නේ නම්, මේ ජීවිතයේ ඉටු නොවන පොරොන්දු ඊළඟ ජීවිතයේ දී ලබා දෙනවා.3

ඔබට පෙළපත් පිළිබඳ ප්‍රකාශයක් ලැබෙන විට, ඔබ ඉශ්‍රායෙල් වංශයේ, ආබ්‍රහම්ගේ ගෝත්‍රයට අයත් වන බව ඔබ දැනගන්නවා.4 මෙහි වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා, ස්වාමින්වහන්සේ ආබ්‍රහම් හරහා ඉශ්‍රායෙල් වංශයට දුන් පොරොන්දු කෙරෙහි අවධානය යොමු කරන්න.

එම පොරොන්දුවලට ඇතුළත් වන්නේ මේවායි:

  • “ඔහුගේ පරම්පරාව බෝවනු ඇත.(බලන්න උත්පත්ති 17:5–6; ආබ්‍රහම් 2:9; 3:14).

  • “ඔහුගේ වංශය හෝ පැවත එන්නන් ශුභාරංචිය ලබාගෙන පූජකත්වය දරනු ඇත (බලන්න ආබ්‍රහම් 2:9).

  • “ඔහුගේ වංශයේ දේවසේවය තුළින්, ‘පොළොවේ සියලුම පවුල් ආශිර්වාද ලබන්නෝය, එනම් ගැලවීමේ ආශිර්වාද වන, ශුභාරංචියේ ආශිර්වාදයන් පවා, සදාකාල ජීවනයද පවා ලබන්නෝය’ (ආබ්‍රහම් 2:11).”5

සභාවේ සාමාජිකයන් වශයෙන් අපි තමයි ගිවිසුමේ දරුවන්.6 අපි ශුභාරංචියේ නීති සහ නියෝගවලට කීකරු වන විට අපට ආබ්‍රහමික ගිවිසුමේ ආශිර්වාද ලැබෙනවා.

ඔබගේ ආදිපීතෘ ආශිර්වාදය සඳහා සූදානම් වීම, ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල වැඩි කිරීමට උපකාරී වනවා. ඔබට ඔබේ ආදිපීතෘ ආශිර්වාදය ලැබුණු පසු එය කියවා මෙනෙහි කරන විට ඔබට ඒවා ගැන නිතර අවධානය යොමු කළ හැකි වනවා.

සභාපති තෝමස් එස්. මොන්සන් මෙසේ පැහැදිලි කළා, “ලෙහිට ලියහෝනාව සැපයූ ඒ ස්වාමීන්වහන්සේම, අද ඔබටත් මටත් අපගේ ජීවිතයට මගපෙන්වීම සඳහා, අපගේ ආරක්ශාව පිණිස අන්තරායන් සලකුණු කිරීමට සහ පොරොන්දු දේශයකට නොව අපගේ ස්වර්ගීය නිවස කරා මාර්ගය—එනම් ආරක්ශිත දොරටු පවා සටහන් කර ඇති දුර්ලභ සහ වටිනා තෑග්ගක් සපයනවා.”7

මගේ ආදරණීය සභානායකවරුනි, දෙමාපියනි, වැඩිහිටි ගණපූරණ සහ සහන සමිති සභාපතිවරුනි, කොට්ඨාශ ධර්මදූත නායකයිනි, දේවසේවයේ යෙදෙන සහෝදර සහෝදරියනි, ආදිපීතෘ ආශිර්වාදය තවමත් ලැබී නැති තරුණ පිරිමි ළමයින්ව සහ තරුණ ගැහැණු ළමයින්ව, වැඩිහිටි සාමාජිකයින්ව සහ නව සාමාජිකයින්ව ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම ලබා ගැනීමට දිරිමත් කරන්න සහ එසේ කිරීමට සූදානම් වීමට උපකාර කරන්න.

මම නිරන්තරයෙන්ම සහ යාච්ඤා පූර්වකව මගේ ආදිපීතෘ ආශිර්වාදය කියවනවා; එය සැමවිටම මාව දිරිගන්වනවා. ස්වාමින්වහන්සේ මගෙන් බලාපොරොත්තු වන දේ මම හඳුනාගෙන තිබෙන අතර, පසුතැවිලි වී නිහතමානී වීමට එය මට උපකාර කරනවා. මම එය කියවා මෙනෙහි කරන විට, එහි පොරොන්දු වූ ආශිර්වාද ලැබීමට සුදුසු ලෙස ජීවත් වීමට මට කැමැත්තක් ඇතිවෙනවා.

අප බොහෝ වාරයක් කියවා ඇති ශුද්ධලියවිලි පසුව අපට අලුත් අර්ථයක් ලබාදෙනවා මෙන්ම අපගේ ආදිපීතෘ ආශිර්වාදයද විවිධ අවස්ථාවලදී අපට වෙනස් අර්ථයක් ලබාදෙනවා. මට වයස අවුරුදු 30 දී සහ 50 දී තිබූ අර්ථයට වඩා දැන් මගේ ආදිපීතෘ ආශිර්වාදයේ අර්ථය වෙනස්. එයින් අදහස් වෙන්නේ එහි වචන වෙනස් වන බව නොවේ, නමුත් අපි එය දකින්නේ වෙනස් ආකාරයකටයි.

සභාපති ඩැලන් එච්. ඕක්ස් ආදිපීතෘ ආශිර්වාද පිළිබඳ මෙසේ ප්‍රකාශ කළා: “ආදිපීතෘ ආශිර්වාදයක් ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන් ලබා දී ඇති අතර එය එම ආත්මයාණන්ගේම බලපෑම යටතේ කියවා අර්ථ දැක්විය යුතුයි. ආදිපීතෘ ආශිර්වාදයක අර්ථය සහ වැදගත්කම [එය] ආනුභාව ලත් එම ආත්මයාණගේ බලයෙන්ම කාලයාගේ ඇවෑමෙන් පේළියෙන් පේළියට උගන්වනවා ඇත.”8

සහෝදර සහෝදරියනි, ස්වර්ගීය පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ ප්‍රේමණීය හා ඒකජාතක පුත්‍රයා වන ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවත් වන බවට මම සාක්ෂි දරනවා. උන්වහන්සේලා අපට ප්‍රේම කරනවා. ආදිපීතෘ ආශිර්වාදය උන්වහන්සේලාගෙන් ලැබෙන පූජනීය ත්‍යාගයක්. ඔබට ඔබේ ආශිර්වාදය ලැබෙන විට, උන්වහන්සේලා ඔබට ආදරය කරන ආකාරය සහ උන්වහන්සේලා ඔබ කෙරෙහි පුද්ගලිකවම අවධානය යොමු කරන ආකාරය ඔබට අවබෝධ වනවා මෙන්ම ඔබට එය දැනෙයි.

මොර්මොන්ගේ පොත කියන්නෙ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමක්. ජීවමාන අනාගතවක්තෘවරයෙකු වන සභාපති රසල් එම්. නෙල්සන් විසින් අපව මෙහෙයවනු ලැබීම ගැන මම කෘතඥ වෙනවා.

අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට මම බෙහෙවින් කෘතඥ වෙනවා. මෙම පාස්කු ඉරිදා මම උන්වහන්සේ සහ උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම කෙරෙහි අවධානය යොමු කර, උන්වහන්සේට නමස්කාර කර උන්වහන්සේගේ පරිත්‍යාගයට ස්තූති කරනවා. උන්වහන්සේ අපට ඉතා ගැඹුරින් ආදරය කරන බැවින්, උන්වහන්සේ ගැඹුරින් දුක් වින්ද බව මම දන්නවා. උන්වහන්සේ මරණයෙන් නැවත නැගිට්ටේ අප කෙරෙහි උන්වහන්සේට ඇති ආදරය නිසා බව මම දන්නවා. උන්වහන්සේ සැබෑ යි. මම එසේ සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. බලන්න General Handbook: Serving in The Church of Jesus Christ of Latter-day Saints, 18.17, ChurchofJesusChrist.org.

  2. බලන්න “Patriarchal Blessings,” in True to the Faith (2004), 112.

  3. බලන්න “Patriarchal Blessings,” in True to the Faith, 113.

  4. බලන්න ආබ්‍රහම් 2:10.

  5. Abrahamic Covenant,” in True to the Faith, 5.

  6. බලන්න 3 නෙපි 20:25–26.

  7. Thomas S. Monson, “Your Patriarchal Blessing: A Liahona of Light,” Ensign, Nov. 1986, 65.

  8. Dallin H. Oaks, “Patriarchal Blessings,” Worldwide Leadership Training Meeting: The Patriarch, Jan. 8, 2005, 10.