ප්‍රධාන සම්මන්ත්‍රණය
මහෝත්තම වූ දෙවිඳුන්ට හෝසන්නා
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


මහෝත්තම වූ දෙවිඳුන්ට හෝසන්නා

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජයග්‍රාහී ලෙස යෙරුසෙලමට ඇතුල්වීම සහ ඉන් පසුව ඇති වූ සතියේ සිදුවීම් අපට අද දින අපගේ ජීවිතවලට අදාළ කරගත හැකි දහම ආදර්ශවත් කරනවා.

කලින් සඳහන් කර ඇති ආකාරයට, අද, ගොක් ඉරිදා, අපි ලොව පුරා ඉන්න කිතුණුවන් හා එක් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ගෞරව කිරීමටයි. වසර 2000 කට පමණ පෙර ගොක් ඉරිදා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලෞකික දේවසේවයේ අවසාන සතියේ ආරම්භය සනිටුහන් කළා. එය මානව ඉතිහාසයේ වැදගත්ම සතිය වුණා.

යේසුස්වහන්සේගේ යෙරුසෙලමට ජයග්‍රාහී ප්‍රවේශයේදී පොරොන්දු වූ ගැලවුම්කරුවාණන් ලෙස ප්‍රකාශ කිරීමත් සමඟ ආරම්භ වූ දෙය, උන්වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සහ මරණයෙන් නැවත නැගිටීමත් සමඟ අවසන් වුණා.1 දිව්‍යමය සැලැස්මෙන්, උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව උන්වහන්සේගේ ලෞකික දේවසේවය අවසන් කළ අතර, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ සදාකාලිකව ජීවත් වීමට අපට හැකියාව ලබාදුන්නා.

“ගලීලයේ නාසරෙත් නුවර අනාගතවක්තෘ වූ යේසුස්වහන්සේ”2 බැලීමට නගරයේ දොරටු අසල රැස්ව සිටි සෙනඟක් සමඟ සතිය ආරම්භ වූ බව ශුද්ධලියවිලි අපට පවසනවා. ඔවුන් “තාල අතු රැගෙන උන්වහන්සේගේ පෙරමගට පිටත්ව ගොස්: හෝසන්නා! ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන්නාවූ තැනැත්තේ, එනම්, ඉශ්‍රායෙලයේ රජ ආශීර්වාද ලද්දෙකැයි මොරගසා කීවෝය.”3

බොහෝ කලකට පෙර එම බයිබල් වාර්තාව මට මතක් කර දෙන්නේ ඝානාවේ ටකෝරාඩි හි සභා පැවරුමක් ගැනයි. අපූරු ලෙස, මම එදා එහි සිටියෙ ගොක් ඉරිදා දිනයකයි.

රූපය
ඝානාවේ තකෝරාඩි හි සභාව

මට එම්පින්චින් ඝානා ස්ටේකය නිර්මාණය කිරීම සඳහා තකෝරාඩි ඝානා ස්ටේකය බෙදීමට නියමිතව තිබුණා. අද, ඝානාවේ සභාවේ සාමාජිකයන් 100,000 වඩා සිටිනවා4 (අද අප සමඟ සිටින ඝානාවේ ඇක්‍රා හි ග මාන්ට්සේ, මහෝත්තම රජු නී ටැකී ටෙයිකොඑ ට්සුරු II අපි සාදරයෙන් පිළිගන්නවා.) මෙම ශුද්ධවන්තයන් හමුවීමෙන්, ඔවුන් ස්වාමින්වහන්සේ කෙරෙහි ඇති ගැඹුරු ආදරය හා භක්තිය මට දැනුණා. ඔවුන්ට මගේ ඉමහත් ආදරයත් සභාවේ සභාපතිවරයා ඔවුන්ට ආදරය කරන බවත් මම ප්‍රකාශ කළා. මම යොහාන් විසින් වාර්තා කරන ලද ගැලවුම්කරුවාණන්ගේ වචන ගැනත් සඳහන් කළා: “මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරපල්ලා.”5 ඔවුන් එය සැලකුවේ “මම ඔබට ආදරෙයි සම්මන්ත්‍රණය” ලෙසයි.6

රූපය
ඝානාවේ ටකෝරාඩි හිදී වැඩිහිටි රස්බෑන්ඩ් අතට අත දෙමින්

මම සභා ශාලාවේ සිටින එම ආදරණීය සහෝදර සහෝදරියන්ගේ සහ ඔවුන්ගේ පවුල් දෙස පේළිවල ඉහළට සහ පහළට බැලූ විට, ඔවුන්ගේ මුහුණුවල යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සාක්ෂියේ සහ ඇදහිල්ලේ දීප්තිය මට පෙනුණා. විශාල ලෙස පැතිර යන උන්වහන්සේගේ සභාවේ කොටසක් ලෙස ගණන් ගැනීමට ඔවුන්ගේ තිබූ ආශාව මට දැනුණා. ගීතිකා කණ්ඩායම ගායනා කරන විට, ඔවුන් දේවදූතයන් මෙන් ගායනා කළා.

රූපය
ඝානාවේ තකෝරාඩි හි ගීතිකා කණ්ඩායම
රූපය
ඝානාවේ සාමාජිකයන් සමඟ වැඩිහිටි රස්බෑන්ඩ්

පුරාණ කාලයේ ගොක් ඉරිදා මෙන්, මොවුන්ද, යෙරුසෙලමේ දොරටු අසල තාල අතු අතැතිව, “හෝසන්නා … ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාද ලද්දේය”7 කියා කෑ ගැසූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට උපහාර දැක්වීමට රැස්ව සිටි ගෝලයන් මෙන් වුණා.

රූපය
ඝානාවේ තාල අතු සොලවමින්

ඒ අසල දේවස්ථානයක අය පවා ගොක් ඉරිදාට ගෞරව කරමින් සිටියා. මම දේශනා කූඩුවේ සිට කතා කරන විට, මෙම ඡායාරූපයේ ඇති අය මෙන්, ඔවුන් ප්‍රීතියෙන් තාල අතු අතැතිව වීදියේ ඇවිද යන බව මම ජනේලයෙන් දුටුවා. එදා අපි හැමෝම රජුන්ගෙත් රජුන්ට නමස්කාර කරන—එම දර්ශනය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.

ගොක් ඉරිදා “යේසුස්වහන්සේ යෙරුසෙලමට ඇතුළු වීමට ගෞරව කිරීම සඳහා සෙලවූ තාල අතු පමණක් නොව, උන්වහන්සේගේ හස්තයේ අත්ල ද සිහිපත් කිරීමෙන්” සැබවින්ම මෙය ශුද්ධ වූ දිනය බවට පත් කරන ලෙස සභාපති රසල් එම්. නෙල්සන් අපට අවවාද කර තිබෙනවා. ඉන්පසු සභාපති නෙල්සන් “මෙන්න, මම ඔබව මගේ අත්ලෙහි කොටා ගත්තෙමි’ යන වචන සමගින් ‘මම ඔබව කිසිදා අමතක නොකරමි” යන ගැලවුම්කරුවාණන්ගේ පොරොන්දුව ගැන කතා කළ, යෙසායා වෙත යොමු වුණා.8

ලෞකිකත්වය දුෂ්කර බව ස්වාමින්වහන්සේ මුලින්ම දන්නවා. උන්වහන්සේ “ඒ සියල්ලටම වඩා දේවල් අත්විඳ”9 අප දුක් විඳින විට උන්වහන්සේ අපට උපකාර කරන බවත්, “දෙවියන්වහන්සේ සදාකාලයෙන් සදාකාලයට [අප] සමඟ වන”11 පිණිස උන්වහන්සේගේ ආකාරයට “නුඹගේ මාර්ගයේ රැඳී සිටින්න”10 යන්නෙහි අපගේ ආදර්ශය වන බවත්, උන්වහන්සේගේ තුවාල අපට මතක් කර දෙනවා.

ගොක් ඉරිදා යනු දිනය, වේලාව සහ ස්ථානය සහිත ඉතිහාසයේ තවත් පිටුවක, තවත් සිදුවීමක් පමණක් නොවේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජයග්‍රාහී ලෙස යෙරුසෙලමට ඇතුල්වීම සහ ඉන් පසුව ඇති වූ සතියේ සිදුවීම් අපට අද දින අපගේ ජීවිතවලට අදාළ කරගත හැකි දහම ආදර්ශවත් කරනවා.

යෙරුසෙලමේදී අවසන් වන උන්වහන්සේගේ දේවසේවය තුළින් ගළපන ලද සදාකාලික දහම් කරුණු කිහිපයක් ගැන අපි බලමු.

පළමුව, අනාවැකි. නිදසුනක් වශයෙන්, පරණ ගිවිසුමේ අනාගතවක්තෘ සෙකරියා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යෙරුසෙලමට ජයග්‍රාහී ලෙස ඇතුල් වීම ගැන අනාවැකි පළ කළා, උන්වහන්සේ බූරුවෙකු පිට නැඟී යන බව පවා විස්තර කළා.12 එම නගරයට ඇතුල් වීමට සූදානම් වන විට යේසුස්වහන්සේ තම මරණයෙන් නැවත නැගිටීම ගැන පුරෝකථනය කරමින් මෙසේ පැවසුවා:

“අපි යෙරුසලමට යමුව; මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයන්ටත් ලියන්නන්ටත් පාවාදෙනු ලබන්නේය; ඔව්හුද ඔහු මරණයට නියමකොට,

“කවටකම්කිරීමටත් තැළීමටත් කුරුසියෙහි ඇණ ගැසීමටත් අන්‍ය ජාතීන්ට පාවාදෙන්නෝය. නුමුත් තුන්වෙනිදා ඔහු නැගුටුවනු ලබන්නේය.”13

දෙවනුව, ශුද්ධාත්මයාණන්ගේ සහකාරත්වය. ජෝසෆ් ස්මිත් මෙසේ ඉගැන්වුවා, “ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් මිස යේසුස්වහන්සේ ස්වාමින්වහන්සේ බව කිසිවෙකුට දැනගත නොහැක.”14 ගැලවුම්කරුවාණන් එම උඩුමහලේ17 අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයේදී16 “නුඹලා අනාථව නාරින්නෙමි”18 යනුවෙන් තම ගෝලයන්ට15 පොරොන්දු වුණා. ශුභාරංචියේ සත්‍යයන් ඉදිරියට ගෙනයාමට ඔවුන් සිටින්නේ තනිව නොවේ, මන්ද ඔවුන්ට මගපෙන්වීම සඳහා ශුද්ධාත්මයාණන්ගේ පරිපූර්ණ දීමනාව තිබෙනවා. උන්වහන්සේ මෙසේ පොරොන්දු වුණා, “නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ.”19 ශුද්ධාත්මයාණන්ගේ දීමනාව සමඟ අපට මෙම සහතිකය තිබෙනවා; එනම් “සැමවිට උන්වහන්සේගේ ආත්මය [අප] සමඟ පවති[නවා]”20 එමෙන්ම “ශුද්ධාත්මයාණන්ගේ බලය මගින් [අපට] සත්‍ය සම්බන්ධව සියලු දේවල් දැනගැනීමට හැකි [වෙනවා].”21

තෙවනුව, අනුගාමිකත්වය. සැබෑ අනුගාමිකත්වය යනු නොසැලෙන කැපවීම, සදාකාලික නීතිවලට කීකරු වීම සහ ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමයි. කිසිවකින් නොසැලී එසේ කිරීමයි. තාල අතු සොලවමින් උන්වහන්සේට ප්‍රශංසා කල සමූහයා උන්වහන්සේ මෙසියන්වහන්සේ බව ශබ්ද නගා කිව්වා. සැබවින්ම උන්වහන්සේ මෙසියස්වහන්සේයි. ඔවුන් උන්වහන්සේ වෙතට, උන්වහන්සේගේ ප්‍රාතිහාර්යයන් සහ උන්වහන්සේගේ ඉගැන්වීම් වෙත ඇදී ගියා. නමුත් බොහෝ දෙනෙකුගේ එම අධික ප්‍රශංසාව නොකඩවා පැවතුනේ නෑ. කලින් “හෝසන්නා”22 කියා කෑගැසූ ඇතැමුන් ඉක්මනින් හැරී “ඔහු කුරුසියෙහි ඇණගැසුව මැනව”23 කියා කෑගැසුවා.

හතරවනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම.24 ගොක් ඉරිදාට පසු උන්වහන්සේගේ අවසාන දිනවලදී, උන්වහන්සේගේ ගෙත්සෙමනෙහි වේදනාවේ සිට උන්වහන්සේව නඩු විභාගයේ සමච්චලයට ලක් වීම, කුරුසියේ වධහිංසා පැමිණවීම සහ ණයට ගත් සොහොන් ගෙයක තැන්පත් කිරීම දක්වා උන්වහන්සේගේ විශිෂ්ට වන්දිගෙවීම ඉටු කළා. එහෙත් එය එතැනින් නතර වුණේ නෑ. ස්වර්ගික පියාණන්වහන්සේගේ සියලුම දරුවන්ගේ මිදුම්කරුවාණන් ලෙස උන්වහන්සේගේ කැඳවීමේ මහිමය ඇතිව, දින තුනකට පසු උන්වහන්සේ එම සොහොන් ගෙයින් නික්ම ගොස්, අනාවැකි කී ලෙසම මරණයෙන් නැවත නැගිට්ටා.25

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අසමසම වන්දිගෙවීම ගැන අපි නොකඩවා කෘතඥ වෙනවාද? එහි පවිත්‍ර කිරීමේ බලය අපට දැන් දැනෙනවාද? අපගේ ගැලවීමේ කතුවරයා සහ නිම කරන්නා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප සියල්ලන්ව ගලවා ගැනීමට යෙරුසෙලමට ගියේ ඒ නිසයි. ඇල්මා හි ඇති මෙම වදන් ඔබේ හදවතට දැනෙනවාද: “නුඹලා වෙනස් වූ හදවතක අත්දැකීම විඳ ඇත්නම්, තවද මිදවීමේ ප්‍රේමයේ ගීතය ගායනා කිරීමට නුඹට හැඟුනේ නම්, තවද මම අසන්නෙමි, දැන් නුඹට එසේ හැඟෙන්නෙහිද?”26 මට ඇත්තටම කියන්න පුළුවන්, ඒ ගොක් ඉරිදා දිනෙයේ, ටකෝරාඩි හි ගීතිකා කණ්ඩායම “ප්‍රේමයේ මුදවා ගැනීමේ ගීතය” ගායනා කළා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලෞකික දේවසේවයේ අවසාන ඉරණම්කාරී සතියේදී උන්වහන්සේ කන්‍යාවන් දසදෙනාගේ උපමාව ඉදිරිපත් කළා.27 උන්වහන්සේගේ නැවත පැමිණීම ගැන උගන්වමින් සිටියේ උන්වහන්සේව පිළිගැනීමට අතෙහි පාම් අතු ඇතිව සූදානම් වූ අයට නොවේ නමුත් ඔවුන් තුළ ශුභාරංචියේ ආලෝකය තිබෙන අයටයි. උන්වහන්සේගේ මාර්ග සහ උන්වහන්සේගේ සත්‍යයන් වැළඳ ගැනීමට සහ උන්වහන්සේගේ ආලෝකය බෙදා ගැනීමට ඇති කැමැත්ත පිළිබඳ විස්තරයක් ලෙස, උන්වහන්සේ දල්වන ලද සහ දැල්වෙන පහන්වල රූපක, දැල්ලට ඉන්ධන සැපයීම සඳහා අමතර තෙල් භාවිතා කිරීම පිළිබඳ රූපක භාවිතා කළා.

ඔබ ඒ කතාව දන්නවා. කන්‍යාවන් දස දෙනා සභාවේ සාමාජිකයන්ව නියෝජනය කරන අතර මනාලයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේව නියෝජනය කරනවා.

කන්‍යාවන් දසදෙනා තම පහන් රැගෙන “මනමාලයාගේ පෙරමගට ගියා.”28 පස් දෙනෙක් ප්‍රඥාවන්ත වුණා, ඔවුන් පහන්වල තෙල් යොදාගෙන වැඩිපුරත් තබාගනිමින් සූදානමින් සිටියා, පස්දෙනෙක් අඥාන වුණා, ඔවුන්ගේ සංචිතයේ තෙල් නොමැතිව පහන් අඳුරු වුණා. “අන්න, මනමාලයා එනවා! ඔහුගේ පෙරමගට වරෙල්ලා”29 යන හඬ ඇසුණු විට, “ප්‍රඥාවන්ත වූ සහ සත්‍යය ලබාගත් ඔවුන්, තවද ඔවුන්ගේ මගපෙන්වුම්කරු ලෙස ශුද්ධාත්මයන්වහන්සේ ලබාගත්, තවද රැවටීමට ලක්නොවූ ඔවුන්”30 “උන්වහන්සේගේ මහිමය ඔවුන් මත [වන]”32 පිණිස “ඔවුන්ගේ රජුන්ද තවද ඔවුන්ගේ නිතීදායකයාණන්ද”31 සඳහා සූදානමින් සිටියා. අනෙක් පස්දෙනා වියරුවෙන් තෙල් සොයා ගැනීමට උත්සාහ කළා. නමුත් ඔවුන් ප්‍රමාද වැඩියි. ඔවුන් නොමැතිව පෙරහැර ඉදිරියට ගියා. ඔවුන්ව ඇතුල් කරගන්නා ලෙස තට්ටු කර අයැද සිටි විට, ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “මම නුඹලා නාඳුනමි”33 කියා පැවසුවා.

“මම නුඹව නාඳුනමි” කියා උන්වහන්සේ අපට පැවසුවහොත් අපට කෙසේ හැඟේවිද?

කන්‍යාවන් දස දෙනාට මෙන් අපටත් පහන් තිබෙනවා; නමුත් අපට තෙල් තිබෙනවාද? නිසි ලෙස සූදානම් වීමට නොහැකි තරම් ලෞකික පීඩනයන් සමඟ කාර්යබහුල වන, සිහින් තෙල් ස්වල්පයක් මත සමහරු සිටිතියි මම බිය වෙනවා. තෙල් පැමිණෙන්නේ අනාවැකි සහ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ, විශේෂයෙන් සභාපති නෙල්සන්ගේ, ඔහුගේ උපදේශකයින්ගේ සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ වචන විශ්වාස කිරීමෙන් සහ ඒවා අනුව ක්‍රියා කිරීමෙන්. අපි ශුද්ධාත්මයාණන්වහන්සේට ඇහුම්කන් දී එම දිව්‍ය මගපෙන්වීම මත ක්‍රියා කරන විට අපගේ ප්‍රාණය තෙල්වලින් පිරී යනවා. අප ස්වාමින්වහන්සේට ප්‍රේම කරන බවත් උන්වහන්සේ ප්‍රේම කරන දෙයට අප ප්‍රේම කරන බවත් අපගේ තේරීම්වලින් පෙන්නුම් කරන විට අපගේ හදවත් තුළට තෙල් එකතු වෙනවා. තෙල් පැමිණෙන්නේ පසුතැවිලි වීමෙන් හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ සුවය සෙවීමෙන්.

ඔබගෙන් සමහරක් “වැඩ ලැයිස්තුවක්” ලෙස හඳුන්වන දේ පිරවීමට සොයන්නේ නම්, මෙසේ කරන්න: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් නියෝජනය කරන උන්වහන්සේගේ ජීවමාන ජලයෙන්34 ඔබේ ලැයිස්තුව පුරවන්න. ඊට හාත්පසින්ම වෙනස්ව, දුර බැහැර ස්ථානයක් හෝ දර්ශනීය සිදුවීමක් පරීක්ෂා කිරීමෙන් ඔබේ ප්‍රාණය සම්පූර්ණ කරන්නේ හෝ ඔබට තෘප්තිමත් බවක් දැනෙන්නේ නෑ; නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉගැන්වූ දහම අනුව ජීවත් වෙනවා නම් ඔබට එසේ දැනෙයි. මම කලින් උදාහරණ සඳහන් කළා: අනාවැකි සහ අනාවැකිමය ඉගැන්වීම් වැලඳගන්න, ශුද්ධාත්මයාණන්ගේ පෙළඹවීම් මත ක්‍රියා කරන්න, සැබෑ ගෝලයෙකු වන්න, සහ අපගේ ස්වාමින්වහන්සේගේ වන්දිගෙවීමේ සුව කිරීමේ බලය සොයන්න. එම වැඩ ලැයිස්තුව ඔබව ඔබට යාමට අවශ්‍ය ස්ථානයට රැගෙන යයි—ඒ කියන්නෙ ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් වෙත.

ටකෝරාඩි හි එම ගොක් ඉරිදා මට ඉතා සුවිශේෂී අත්දැකීමක් වූයේ මම එය ඇදහිලිවන්ත සහෝදර සහෝදරියන්ගේ සභාවක් සමඟ බෙදාගත් නිසයි. එබැවින් එය ලොව පුරා මහාද්වීපවල සහ දූපත් වල සිදු වී තිබෙනවා. ඔබේ මෙන් මගේ හදවත සහ ප්‍රාණයත් “මහෝත්තම වූ දෙවිඳුන්ට හෝසන්නා”35 කියා කෑගැසීමට ආශා කරනවා.

අපි අද යෙරුසෙලමේ දොරටු ළඟ තාල අතු අතේ තබාගෙන නොසිටියත්, එළිදරව්ව පොතේ පුරෝකථනය කර ඇති පරිදි, “ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක් සුදු සළු පැළඳ, තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව, සිංහාසනය ඉදිරියෙහිත් බැටළුපැටවාණන් ඉදිරියෙහිත් සිටිනවා දුටිමි”36 යන කියමන ඉටුවන දවස පැමිණෙයි.

ඔබ ධර්මිෂ්ඨව ජීවත් වීමට උද්‍යෝගයෙන් උත්සහ කිරීමට හැකි වන පිණිසත්, අප සැමගේ ශ්‍රේෂ්ඨ මිදුම්කරුවාණන් වන, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ සේනාව සමඟ තාල අතු අතේ තබාගෙන සිටින අය අතර ඔබ සිටීවා කියාත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරයෙකු ලෙස මම ඔබට මාගේ ආශිර්වාදය ලබාදෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. ශුභාරංචි පොත් හතරම, මතෙව් 21–28, මාර්ක් 11–16, ලූක් 19-24, සහ යොහන් 12–21 විස්තර කරන්නේ ලෞකිකත්වය තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දේවසේවයේ අවසාන දිනයන්, එය දිව්‍යමය වශයෙන් නිර්මාණය කරන ලද්දේ ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ ආශිර්වාද දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට ලබා ගැනීමට බවය. සමහර අවස්ථාවලදී කතුවරුන් ඔවුන් ඇතුළත් කරන දේවලින් වෙනස් වන නමුත් ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් සහ ක්‍රියාවල වෙනසක් සිදු නොවේ.

  2. බලන්න මතෙව් 21:10–11.

  3. යොහාන් 12:13.

  4. සාමාජිකත්ව වාර්තා සහ සංඛ්‍යාලේඛන වාර්තා අනුව, ඝානාවේ සාමාජිකයින් 102,592 ක් ඇත.

  5. යොහාන් 15:12.

  6. මම සාමාජිකයන් සමඟ කතා කරන සෑම අවස්ථාවකම ඔවුන් මට පැවසුවේ “වැඩිහිටි රස්බෑන්ඩ්, අපගේ ආදරණීය ප්‍රේරිත්වරයා, මම ඔබට ආදරෙයි” කියායි. මෙම ජනයා ආත්මයෙන් හා දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරී ඇති අතර ඔවුන් එම ආදරය පහසුවෙන්ම බෙදාහදා ගනිති.

  7. මතෙව් 21:9

  8. බලන්න Russell M. Nelson, “The Peace and Hope of Easter” (video), Apr. 2021, ChurchofJesusChrist.org/media; Isaiah 49:16.

  9. දහම සහ ගිවිසුම් 122:8. 1838 දෙසැම්බර් මාසයේදී ජෝසෆ් අනාගතවක්තෘවරයා සහ සභාවේ තවත් නායකයන් අතලොස්සක්ව අසාධාරණ ලෙස ලිබර්ටි බන්ධනාගාරයේ සිර කරන ලදි. තත්වයන් භයානක විය. දුක්ඛිත තත්වයන් තුළ මාස ගණනකට පසු, ඔහු 1839 මාර්තු මාසයේදී සාමාජිකයින්ට ලිවීය, ඔහුගේ තත්වය සහ “දුක් විඳින ශුද්ධවන්තයන්” කෙරෙහි අනුකම්පා කරන ලෙස ඔහු ස්වාමින්වහන්සේගෙන් ඉල්ලා සිටි යාච්ඤා ද එහි ඇතුළත් විය. දහම සහ ගිවිසුම් 121–23 හි වාර්තා කර ඇති පරිදි එම යාච්ඤාවලට ස්වාමින්වහන්සේගේ ප්‍රතිචාරය ද ඔහු බෙදා ගත්තේය.

  10. දහම සහ ගිවිසුම් 122:9. ලිබර්ටි සිරගෙදරදී ජෝසෆ් ස්මිත්ට ස්වාමින්වහන්සේගෙන් ලැබුණු දිරිගැන්වීම ඔහුට සහනය සහ අධ්‍යාත්මික අවබෝධය ගෙන ආවේ විපත්ති සහ පරීක්ෂාවන් අපව ශක්තිමත් කිරීමටත්, ඉවසීම සහ ස්වයං ප්‍රගුණ කිරීමටත් ඉගැන්විය හැකි බවයි. “සියල්ල විඳ දරාගත් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්” මෙන් සියලු අධර්මිෂ්ඨ දේ විඳ ගනිමින්, “ඔබේ මාර්ගය අල්ලාගෙන සිටින්න” කියා ස්වාමින්වහන්සේ ඔහුට ආරාධනා කළ සේක. ඔබ උන්වහන්සේට වඩා උසස්ද? (දහම සහ ගිවිසුම් 122:8).

  11. දහම සහ ගිවිසුම් 122:9. දෙවියන්වහන්සේ “ඔබ සමඟ සිටිනු ඇත” යන ප්‍රතිඥාව තම ඇදහිල්ල තදින් අල්ලාගෙන ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන අයට ස්ථිර පොරොන්දුවකි.

  12. බලන්න සෙකරියා 9:9.

  13. මතෙව් 20:18–19. ජේම්ස් ඊ. තල්මේජ් Jesus the Christ යන පොතෙහි මෙසේ ලියා ඇත: “දොළොස්දෙනා උන්වහන්සේගේ අර්ථය තේරුම් ගැනීමට අපොහොසත් වීම පුදුම සහගත කරුණකි. … ඔවුන්ගේ ආදරණීය ස්වාමියාගේ කියමන්වල යම් බියකරු නොගැලපීමක්, දරුණු නොගැලපීමක් හෝ පැහැදිලි කළ නොහැකි පරස්පරතාවයක් ඔවුන්ට තිබුණි. උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන ක්‍රිස්තුස්වහන්සේ බව ඔව්හු දැන සිටියහ; එමෙන්ම එවැනි කෙනෙකුව යටත් කර මරා දමන්නේ කෙසේද” ([1916], 502–3).

  14. 1842 අප්‍රියෙල් 28 වන දින, 1855 සැප්තැම්බර් 19, Deseret News “History of Joseph Smith,” හි උපුටා දක්වා ඇති පරිදි, ජෝසෆ් ස්මිත් නාවූ හි කාන්තා සහන සමිතිය වෙත මෙම ප්‍රකාශය කළේය. 1 කොරින්ති පොතේ දොළොස්වන පරිච්ඡේදය ගැන සඳහන් කරමින්, ඔහු තුන්වන පදය පැහැදිලි කළේය, “නමුත් ශුද්ධාත්මයාණන් කරණකොටගෙන මිස, කිසිම මිනිසෙකුට යේසුස්වහන්සේ ස්වාමීන් බව පැවසිය නොහැක” එය සංශෝධනය කරමින්, “ශුද්ධාත්මයාණන් කරණකොටගෙන මිස, කිසිම මිනිසෙකුට යේසුස්වහන්සේ ස්වාමීන් බව දැනගත නොහැකිය.” (බලන්න The First Fifty Years of Relief Society: Key Documents in Latter-day Saint Women’s History [2016], 2.2, churchhistorianspress.org.)

  15. යේසුස්වහන්සේ තම ගෝලයන් සමඟ අවසන් රාත්‍රී භෝජනය බෙදා ගත්තේය (බලන්න මාර්ක් 14:12–18). දොළොස්දෙනාට පේත්‍රැස්, ඇන්ඩෘ, යාකොබ්, යොහාන්, මතෙව්, පිලිප්, තෝමස්, බර්තොලමෙව්, යාකොබ් (ඇල්ෆායස්ගේ පුත්), යූදස් ඉස්කාරියොත්, යූදස් (යාකොබ්ගේ සහෝදරයා) සහ සීමොන් ඇතුළත් විය (බලන්න ලූක් 6:13–16).

  16. යේසුස්වහන්සේ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයේදී තම ගෝලයන් සමඟ සක්‍රමේන්තුව ආරම්භ කළේය (බලන්න මතෙව් 26:26–29; මාර්ක් 14:22–25; ලූක් 22:19–20).

  17. “ඉහළ කාමරයේ” යේසුස්වහන්සේ සක්‍රමේන්තුව ආරම්භ කළ නිශ්චිත දිවා/රාත්‍රිය මතෙව්, මාර්ක් සහ ලූක් සහ යොහන් අතර පෙනෙන නොගැලපීම් හේතුවෙන් ඇත්ත වශයෙන්ම මතභේදයට තුඩු දී ඇත. මතෙව්, මාර්ක් සහ ලූක් යෝජනා කරන්නේ අවසාන භෝජන සංග්‍රහය “මුහුන් නොදැමූ රොටි මංගල්‍යයේ පළමු දිනයේ” හෝ පාස්කු භෝජනය සිදු වූ බවයි (බලන්න මතෙව් 26:17; මාර්ක් 14:12; ලූක් 22:1, 7). කෙසේ වෙතත්, යොහාන් යෝජනා කරන්නේ යේසුස්වහන්සේව පාස්කු භෝජනයට පෙර අත්අඩංගුවට ගත් බවයි (යොහන් 18:28 බලන්න), එනම් අවසාන රාත්‍රී භෝජනය පාස්කු භෝජනයට වඩා දිනකට පෙර සිදුවනු ඇති බවයි. යේසුස්වහන්සේව කුරුසියේ ඇණ ගැසීමට පෙර සවස උන්වහන්සේගේ ගෝලයන් සමඟ ඉහළ කාමරයේ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වූ බව සභාවේ විෂයමාලා ද්‍රව්‍ය සහ පසුදවස් වල ශුද්ධවන්තයන්ගේ අධ්‍යාපන ක්‍රමය එකඟ වන බව පෙනේ. ශුද්ධ වූ සතිය සමරන කිතුනුවන් ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව බ්‍රහස්පතින්දා අවසාන රාත්‍රී භෝජන සංග්‍රහයේ දිනය ලෙසත්, සිකුරාදා කුරුසියේ ඇණ ගැසීමේ දිනය ලෙසත්, ඉරිදා නැවත නැඟිටීමේ දිනය ලෙසත් පිළිගනිති.

  18. යොහාන් 14:18.

  19. යොහාන් 14:27.

  20. දහම සහ ගිවිසුම් 20:77.

  21. මොරෝනි 10:5.

  22. බයිබල් ශබ්දකෝෂය පැහැදිලි කරන්නේ හොසන්නා යන්නෙන් අදහස් කරන්නේ “දැන් ගලවාගන්න” යන්නයි. මෙම වචනය ගීතාවලිය 118:25 වෙතින් උපුටා ගන්නා ලදී. “මෙම ගීතිකාව ගායනා කිරීම කූඩාරම් මංගල්‍යයේදී අතු සෙලවීම සමඟ සම්බන්ධ විය. එබැවින් අපගේ ස්වාමීන්වහන්සේගේ ජයග්‍රාහීව යෙරුසෙලමට ඇතුල්වීමේදී සමූහයන් විසින් මෙම වචනය භාවිතා කරන ලදී” (Bible Dictionary, “Hosanna”). බලන්න මතෙව් 21:9, 15; මාර්ක් 11:9–10, යොහාන් 12:13.

  23. මාර්ක් 15:14; ලූක් 23:21.

  24. අපගේ ස්වර්ගික පියාණන්ගේ ගැලවීමේ සැලැස්මේ කේන්ද්‍රස්ථානය වූයේ උන්වහන්සේගේ සියලු දරුවන්ට අමරණීය බව සහ උත්කර්ෂවත් බව ලැබීමට සුදුසු අයට එම ආශිර්වාදය සහතික කරන අසීමිත වන්දිගෙවීම විය. “මම කාව යැවිය යුතුද?” ලෙස පියාණන් ඇසූ විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියට ගොස්, “මෙන්න මම මෙහිය; මා යැවුව මැනවයි” කීවේය (ආබ්‍රහම් 3:27). සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ උගන්වා ඇත: “[යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ] මෙහෙවර වූයේ වන්දිගෙවීමයි. එම මෙහෙවර උන්වහන්සේට සුවිශේෂී විය. ලෞකික මවකගෙන් සහ අමරණීය පියෙකුගෙන් උපත ලැබූ උන්වහන්සේ ස්වේච්ඡාවෙන් තම ජීවිතය පුදකර නැවත එය භාරගත හැකි එකම තැනැත්තා විය (බලන්න යොහන් 10:14–18). උන්වහන්සේගේ වන්දිගෙවීමේ තේජාන්විත ප්‍රතිවිපාක අනන්ත සහ සදාකාලික විය. උන්වහන්සේ මරණයේ කටුව ඉවත් කළ අතර සොහොනෙහි ශෝකය තාවකාලික කළේය (බලන්න 1 කොරින්ති 15:54–55). වන්දිගෙවීම සඳහා උන්වහන්සේගේ වගකීම, මැවීමට සහ වැටීමට පෙර සිටම දැන සිටියේය. එය සියලු මනුෂ්‍ය වර්ගයාගේ නැවත නැඟිටීම සහ අමරණීයභාවය සැපයීම පමණක් නොව, නමුත් උන්වහන්සේ විසින් ස්ථාපිත කරන ලද කොන්දේසි මත—අපගේ පව්වලට සමාව ලැබීමට අපට හැකියාව ලබා දීම සඳහායි. මෙසේ උන්වහන්සේගේ වන්දිගෙවීම අපට උන්වහන්සේ සමග සහ අපගේ පවුල් සමග සදාකාලිකව එක්සත් විය හැකි මාර්ගය විවර කළේය” (“The Mission and Ministry of Jesus Christ,” Liahona, Apr. 2013, 20).

  25. නැවත නැඟිටීම සමන්විත වන්නේ ශරීරය සහ ආත්මය අමරණීය තත්වයක නැවත එක් කිරීමයි, එවිට ශරීරය සහ ආත්මය වෙන් කළ නොහැකි වන අතර ලෞකිකත්වයට හෝ මරණයේ රෝගවලට තවදුරටත් බැඳී නැත (බලන්න ඇල්මා 11:45; 40:23).

  26. ඇල්මා 5:26; තවත් බලන්න ඇල්මා 5:14.

  27. කන්‍යාවන් දස දෙනාගේ උපමාව මතෙව් 25:1–12; දහම සහ ගිවිසුම් 45:56–59 තුළින් සොයාගත හැකිය. මතෙව් 25 හි අවට පරිච්ඡේදවලින් ඇඟවෙන්නේ යේසුස්වහන්සේ මෙම උපමාව ඉගැන්වූයේ උන්වහන්සේගේ අවසාන සතියේ බවයි, මතෙව් 21 හි ඇඟවෙන්නේ යෙරුසෙලමට ඇතුළු වීමෙන් පසුව සිදුවූ බව සහ අවසාන රාත්‍රී භෝජන සංග්‍රහයට මොහොතකට පෙර සිදු වූ බව වන අතර, මතෙව් 26 හි ඇඟවෙන්නේ උන්වහන්සේව අත්අඩංගුවට ගැනීමට පෙර එය සිදු වූ බවයි. අවසාන සතියේ ලබා දුන් කන්‍යාවන් දස දෙනාගේ උපමාවට අමතරව, යේසුස්වහන්සේ අත්තික්කා ගසේ උපමාව (බලන්න මතෙව් 21:17–21; 24:32–33), පුතුන් දෙදෙනාගේ උපමාව (බලන්න මතෙව් 21:28–32), දුෂ්ට ගොවියාගේ උපමාව (බලන්න මතෙව් 21:33–46) ලබා දුන් සේක.

  28. මතෙව් 25:1

  29. මතෙව් 25:6

  30. දහම සහ ගිවිසුම් 45:57.

  31. දහම සහ ගිවිසුම් 45:59.

  32. දහම සහ ගිවිසුම් 45:59.

  33. මතෙව් 25:12 කන්ද උඩ දේශනාවේදී, අඥාන කන්‍යාවන් දස දෙනාගේ වාර්තාවේ යෝජනා කර ඇති පරිදි, “බොහෝ පුදුම ක්‍රියා කර ඇතැයි” උපකල්පනය කරන අය ගැන ස්වාමින්වහන්සේ සඳහන් කරන්නේ, “මම නුඹව නාඳුනමි” (බලන්න මතෙව් 7:22–23) යනුවෙන් බව සඳහන් කරයි.

  34. ජලය ලෞකික ජීවිතයට අත්‍යවශ්‍ය වන්නා සේම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ඉගැන්වීම් (ජීවමාන ජලය) සදාකාල ජීවනය සඳහා ඉතා වැදගත් වේ (බලන්න Guide to the Scriptures, “Living Water,” scriptures.ChurchofJesusChrist.org; තවත් බලන්න යෙසායා 12:3; යෙරමියා 2:13; යොහාන් 4:6–15; 7:37; 1 නෙපි 11:25; දහම සහ ගිවිසුම් 10:66; 63:23).

  35. 3 නෙපි 4:32.

  36. එළිදරව් 7:9.