ප්‍රධාන සම්මන්ත්‍රණය
සාමයේ කුමරුගේ අනුගාමිකයෝ
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


සාමයේ කුමරුගේ අනුගාමිකයෝ

ගැලවුම්කරුවාණන්ගේ මෙන් ගුණාංග වර්ධනය කරගැනීමට අප උත්සාහ කරන විට, අපට ලෝකයේ උන්වහන්සේගේ සාමයේ මෙවලම් බවට පත්වෙන්න පුළුවන්.

සෙකරියාට දුන් අනාවැකිය ඉටු කරමින්,1 යේසුස්වහන්සේ බූරුවෙකු පිට නැගී ජයග්‍රාහී ලෙස ශුද්ධ වූ නගරයට ඇතුළු වූ අතර, එය සාහිත්‍යයේ “යුදෙව් රාජකීයත්වයේ පුරාණ සංකේතයක්”2 ලෙස සලකනු ලැබුවේ සැබවින්ම රජවරුන්ගේ රජුට සහ සාමයේ කුමාරයාට සුදුසු පරිදියි.3 ප්‍රීති ඝෝෂා නැගූ ගෝලයන් රාශියක් උන්වහන්සේව වටකරගෙන සිටි අතර ඔවුන් තම වස්ත්‍ර, තල් කොළ සහ වෙනත් ශාක පත්‍ර යේසුස්වහන්සේ ගමන් කළ මාර්ගය දිගේ ඇතිරුවා. “ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන්නාවූ රජ ආශිර්වාද ලත්තෙක්ය. ස්වර්ගයෙහි සමාදානයද ඉතා උසස්තැන්හි මහිමයද වේවා” කියමින් මහත් හඬින් කියමින් ඔවුන් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළා.4 මෙහෙමත් කිව්වා, “ දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාද ලද්දේය; ඉතා උස්තැන්හි හෝසන්නා.”5 ගොක් ඉරිදා ලෙස හඳුන්වන මෙම දිනයේ අප සමරන මෙම උතුම් සිදුවීම, ගැලවුම්කරුවාණන්ගේ පරාර්ථකාමී පරිත්‍යාගය සහ හිස් සොහොන්ගැබේ විශ්මයජනක ආශ්චර්යයේ කූටප්‍රාප්තියට පත් වූ එම දෛවෝපගත සතිය තුළ සිදුවනු ඇති වේදනාකාරී සිදුවීම්වල ප්‍රීතිමත් පෙර නිමිත්තක් වුණා.

උන්වහන්සේගේ අනුගාමිකයින් වශයෙන්, අපි උන්වහන්සේගේ ගුණ ප්‍රකාශ කිරීමට කැඳවා ඇති6 උන්වහන්සේගේ සුවිශේෂී සෙනඟයි, උන්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව තුළින් ත්‍යාගශීලී ලෙස පිරිනමන සාමයේ ප්‍රවර්ධකයන් අපියි. මෙම සාමය ගැලවුම්කරුවාණන් වෙත තම හදවත් හරවා ධර්මිෂ්ඨව ජීවත් වන සියල්ලන්ට පොරොන්දු වූ තෑග්ගක්; එවැනි සාමයක් අපට මේ ලෞකික ජීවිතය භුක්ති විඳීමට ශක්තිය ලබා දෙන අතර අපගේ ගමනේ වේදනාකාරී පීඩා විඳදරාගැනීමට අපට හැකියාව ලබා දෙනවා.

1847 දී, පුරෝගාමී ශුද්ධවන්තයින් බටහිර දෙසට ගමන් කිරීමේදී ඔවුන් අනපේක්ෂිත දුෂ්කරතාවන්ට මුහුණ දුන් බැවින් ඔවුන්ට සාමය අවශ්‍ය වූ විට, සන්සුන්ව හා එක්සත්ව සිටීමට ස්වාමින්වහන්සේ ඔවුන්ට විශේෂිත උපදෙස් ලබා දුන්නා. වෙනත් දේ අතර, ස්වාමින්වහන්සේ ශුද්ධවන්තයින්ට උපදෙස් දුන්නේ “එකිනෙකා සමඟ වාදකිරීමෙන් වළකින්න; එකිනෙකා පිළිබඳ නපුර කතාකිරීමෙන් වළකින්න”7 කියායි. ධර්මිෂ්ඨ ක්‍රියාවල යෙදෙන සහ ස්වාමින්වහන්සේගේ ආත්මයේ නිහතමානිකම තුළ ගමන් කිරීමට වෙර දරන අයට, අද අප ජීවත් වන කැලඹිලි සහිත දවස්වලින් බේරීමට අවශ්‍ය සාමය පොරොන්දු වී ඇති බව ශුද්ධලියවිලි පද සනාථ කරනවා.8

සාමයේ කුමරුගේ ගෝලයන් වශයෙන්, අපට උපදෙස් දී ඇත්තේ “එකමුතුවෙන් හා එකිනෙකාට ප්‍රේමයෙන් බැඳුණු හදවත්”9 ඇතිව ජීවත් වන ලෙසයි. අපගේ ආදරණීය අනාගතවක්තෘ, සභාපති රසල් එම්. නෙල්සන්, මෑතකදී මෙසේ ප්‍රකාශ කළා, “ආරවුල් මගින් ගැලවුම්කරුවාණන් පෙනී සිටි සහ ඉගැන්වූ සියල්ල උල්ලංඝනය කරනවා.”10 අපගේ අනාගතවක්තෘවරයා තවත් ආයාචනා කළේ දැනට අපගේ හදවත් තුළ සහ අපගේ ජීවිතවල පවතින පෞද්ගලික ගැටුම් අවසන් කිරීමට අපට හැකි සෑම දෙයක්ම කරන ලෙසයි.”11

ක්‍රිස්තුස්වහන්සේ අප කෙරෙහි දක්වන නිර්මල ප්‍රේමය සහ උන්වහන්සේගේ අනුගාමිකයින් වශයෙන් අප එකිනෙකා සඳහා එම ප්‍රේමය ඇතිකර ගැනීමට උත්සාහ කරන විට අපි මෙම ප්‍රතිපත්ති සලකා බලමු. ශුද්ධලියවිලිවල මේ ආකාරයේ ආදරය අර්ථ දක්වන්නේ නිර්මල ප්‍රේමය ලෙසයි.12 අපි චැරිටි යන වචනය ගැන සිතන විට, අපගේ මනස සාමාන්‍යයෙන් ශාරීරික, ද්‍රව්‍යමය හෝ චිත්තවේගීය දුෂ්කරතා අත්විඳින අයගේ දුක් වේදනා සමනය කිරීම සඳහා ත්‍යාගශීලී ක්‍රියා සහ පරිත්‍යාග වෙත යොමු වෙනවා. කෙසේ වෙතත්, චැරිටි යනු අප යමෙකුට පරිත්‍යාග කරන දෙයකට පමණක් සම්බන්ධ දෙයක් නොවේ, නමුත් එය ගැලවුම්කරුවාගේ ගුණාංගයක් වන අතර එයට අපගේ චරිතයේත් කොටසක් වෙන්න පුළුවන්. “පරිපූර්ණත්වයේ සහ සමාදානයේ බැඳීම වන”13 උතුම් ප්‍රේමයේ බැඳීමෙන් අපව වස්ත්‍රාභරණයක් සමඟින් සරසාගන්න කියා ස්වාමින්වහන්සේ අපට උපදෙස් දීම පුදුමයක් නොවේ. නිර්මල ප්‍රේමයෙන් තොරව අපෙන් වැඩක් නැහැ,14 ඒ වගේම එය නොමැතිව අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේගේ මන්දිරවල ස්වාමින්වහන්සේ අප වෙනුවෙන් සූදානම් කර ඇති ස්ථානය අපට උරුම කරගන්න බැහැ.15

විශේෂයෙන්ම උන්වහන්සේගේ ප්‍රාණ පරිත්‍යාගයට පෙර සිදු වූ වේදනාකාරී සිදුවීම්වලට මුහුණ දෙන විට, මෙම පරිපූර්ණත්වයේ සහ සාමයේ බැඳීම හිමි කර ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා යේසුස්වහන්සේ පරිපූර්ණ ලෙස ආදර්ශවත් කළා. යේසුස්වහන්සේ එදා රාත්‍රියේම තම ගෝලයන්ගෙන් කෙනෙක් තමන්ව පාවා දෙන බව දැන, නිහතමානීව ඔවුන්ගේ පාද සෝදන විට උන්වහන්සේට දැනෙන්නට ඇති දේ ගැන මොහොතකට සිතන්න.16 එසේත් නැතිනම්, පැය ගණනකට පසු, යේසුස්වහන්සේ, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා, උන්වහන්සේව පාවා දුන් යූදස් සමඟ පැමිණි එක් මිනිසෙකුගේ කණ දයාවෙන් සුව කළ විට උන්වහන්සේට දැනෙන්නට ඇති දේ ගැන මොහොතකට සිතන්න.17 එසේත් නැතිනම් ගැලවුම්කරුවාණන් පිලාත් ඉදිරියෙහි සිටගෙන, නායක පූජකයන් සහ වැඩිමහල්ලන් විසින් අසාධාරණ ලෙස චෝදනා කළ විට පවා, උන්වවහන්සේට විරුද්ධව එල්ල වූ බොරු චෝදනාවලට විරුද්ධව වචනයක්වත් උන්වහන්සේ නොකියා, උන්වහන්සේ රෝම ආණ්ඩුකාරයාව පුදුමයට පත් කළ විට උන්වහන්සේට දැනෙන්නට ඇති දේ ගැන මොහොතකට සිතන්න.18

මෙම ඛේදජනක සිදුවීම් තුන හරහා, ගැලවුම්කරුවාණන්, අධික දුකෙන් හා ආතතියෙන් බර වී සිටියත්, උන්වහන්සේගේ ආදර්ශයෙන් අපට ඉගැන්වූයේ මෙලෙසයි “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; … ඊර්ෂ්‍යා වෙන්නේ නැත; … පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වෙන්නේ නැත, අශෝභන ලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත, එමෙන්ම නපුර ගණන්ගන්නේ නැත.”19

අවධාරණය කළ යුතු තවත් වැදගත් කාරණයක් තමයි, අපගේ අනුගාමිකත්වයට සෘජු සම්බන්ධතාවයක් ඇති සහ අපි ගැලවුම්කරුවාණන්ගේ සාමය ප්‍රවර්ධනය කරන ආකාරයක් වන, අප එකිනෙකාට සලකන ආකාරය. උන්වහන්සේගේ ලෞකික දේවසේවය අතරතුර, ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් විශේෂයෙන් අවධානය යොමු කළේ, උන්වහන්සේට සමීප වීමට සහ උන්වහන්සේගේ සාමය ප්‍රවර්ධනය කිරීමට කැමති අයට අවශ්‍ය මූලික ගුණාංග වන—ප්‍රේමය, නිර්මල ප්‍රේමය, ඉවසීම, නිහතමානිකම සහ දයාව යන ගුණාංග කෙරෙහි යි. එවැනි ගුණාංග දෙවියන්වහන්සේගෙන් ලැබෙන ත්‍යාග වන අතර, ඒවා වර්ධනය කරගැනීමට අප උත්සාහ කරන විට, අපි අපගේ අසල්වැසියාගේ වෙනස්කම් සහ දුර්වලතා වඩාත් සංවේදනය, සංවේදීතාව, ගෞරවය සහ ඉවසීම ඇතිව දැකීමට පටන් ගන්නවා. අප ගැලවුම්කරුවානන්ට සමීප වන බවටත්, උන්වහන්සේ හා සමාන වන බවටත් වඩාත් පැහැදිලිව පෙනෙන එක් ලකුණක් තමයි, කුමන තත්වයන් යටතේ වුවද, අප අපගේ සෙසු පුද්ගලයින්ට සලකන ප්‍රේමනීය, ඉවසිලිවන්ත සහ කාරුණික ආකාරය.

අනෙක් අයගේ ඇති ලක්ෂණ, දුර්වලතා සහ අදහස් ගැන පුද්ගලයන් සෘණාත්මක සහ අවමන් සහගත ලෙස අදහස් දැක්වීම අපි නිතරම දකිනවා, විශේෂයෙන් එසේ වෙන්නේ ඔවුන් ක්‍රියා කරන සහ සිතන ආකාරයට වඩා අනෙක් අයගේ ඒවා වෙනස් වන විට හෝ පරස්පර වෙන විටයි. යම් තත්වයක් වටා ඇති සියලු තත්වයන් සැබවින්ම නොදැන තමන් ඇසූ දේ නැවත පවසන මෙම පුද්ගලයින් එවැනි අදහස් අන් අයට ලබා දීම දැකීම ඉතා සුලභ යි. අවාසනාවකට, සාපේක්ෂ සත්‍යයන් සහ විනිවිදභාවයේ නාමයෙන් සමාජ මාධ්‍ය මෙවැනි හැසිරීම් දිරිමත් කරනවා. සංයමයකින් තොරව, ඩිජිටල් සංවාද බොහෝ විට මිනිසුන්ව පුද්ගලික ප්‍රහාර සහ උණුසුම් ආරවුල් වලට යොමු කරනවා, එමගින් බලාපොරොත්තු සුන්වීම් ඇති කරනවා, හදවත් තුවාල කරනවා, ඒවගේම දැවෙන සතුරුකමක් පතුරුවනවා.

අන්තිම දවස්වලදී සතුරා කෝපයට පත් වී යහපත් දේට එරෙහිව මිනිසුන්ව උදහසට ලක් කරන බව නෙපි අනාවැකි පළ කළා.20 “යහපත් දේ කිරීමටත්, තවද දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමටත්, තවද උන්වහන්සේට සේවය කිරීමටත්, ආරාධනා කරන්නාවූද පොළඹවන්නාවූද සියලු දේ පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්”21 බව ශුද්ධලියවිලි උගන්වනවා. අනෙක් අතට, “දුෂ්ඨ දේ පැමිණෙන්නේ යක්ෂයාගෙන්ය; මක්නිසාද යක්ෂයා දෙවියන්වහන්සේට සතුරෙක් ය, තවද උන්වහන්සේට විරුද්ධව නිතර සටන් කරන්නේය, තවද පාපයට ආරාධනා කරමින් පොළඹවන්නේය, තවද එනම් එම දුෂ්ඨ වූ දේ නිතර කරන්නේය.”22

මෙම අනාවැකිමය ඉගැන්වීම සලකා බැලීමේදී, විරුද්ධවාදියාගේ එක් උපක්‍රමයක් වන්නේ දෙවියන්වහන්සේගේ දරුවන්ගේ සිත් තුළ සතුරුකම සහ වෛරය ඇවිස්සීම බව පුදුමයක් නොවේ. මිනිසුන් එකිනෙකා සමඟ විවේචනය කරන, සමච්චල් කරන, මඩ ගසන ආකාරය දකින විට ඔහු සතුටු වෙනවා. විශේෂයෙන් පුද්ගලයෙකුව අසාධාරණ ලෙස විනිශ්චය කරද්දි, මෙම හැසිරීම නිසා පුද්ගලයෙකුගේ චරිතය, කීර්තිය සහ ආත්ම අභිමානය විනාශ වෙන්න පුළුවන්. අපි අපගේ ජීවිතයේ මෙවැනි ආකල්පවලට ඉඩ දෙන විට, සතුරාගේ උගුලට හසුවීමේ අවදානමක් ඇතිව, අප අතර අසමගියේ බීජය රෝපණය කිරීමට අපි අපගේ හදවත් තුළ නපුරාට ඉඩ සලසන බව පෙන්වා දීම ඉතා වැදගත්.

අපි අපේ සිතුවිලි, වචන සහ ක්‍රියාවන් ගැන ප්‍රවේශම් නොවන්නේ නම්, අප සතුරාගේ කූට උපක්‍රමවලට හසු වී, අප අවට සිටින අය සහ අපගේ ආදරණීයයන් සමඟ ඇති අපගේ සබඳතා විනාශ විය හැකියි.

සහෝදර සහෝදරියනි, ස්වාමින්වහන්සේගේ සුවිශේෂී සෙනඟ සහ උන්වහන්සේගේ සාමයේ ප්‍රවර්ධකයන් ලෙස, දුෂ්ටයාගේ මෙම උපක්‍රම අපගේ හදවත් තුළ සිදු වීමට ඉඩ හැරීමට අපට හැකියාවක් නෑ. හැඟීම්, සබඳතා සහ ජීවිත පවා විනාශ කරන එවැනි පීඩාකාරී බරක් අපට උසුලා ගෙන යන්නට බැහැ. ශුභාරංචිය නියෝජනය කරන්නේ මහත් ප්‍රීතියේ ශුභාරංචියයි.

ඇත්ත වශයෙන්ම, අප කිසිවෙකුත් පරිපූර්ණ නෑ, නිසැකවම, මෙම ආකාරයේ හැසිරීම් වලට අප රැවටෙන අවස්ථා තිබෙනවා. අපගේ මානව නැඹුරුවාවන් පිළිබඳ උන්වහන්සේගේ පරිපූර්ණ ආදරය සහ සර්වඥ දැනුම තුළ, ගැලවුම්කරුවාණන් සෑම විටම එවැනි අන්තරායන් ගැන අපට අනතුරු ඇඟවීමට උත්සාහ කරනවා. උන්වහන්සේ අපට මෙසේ ඉගැන්වුවා, “මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැන දෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය.”23

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ගැලවුම්කරුවාණන්ගේ මෙන් ගුණාංග වර්ධනය කර ගැනීමට අප උත්සාහ කරන විට, උන්වහන්සේ විසින්ම ස්ථාපිත කළ රටාවට අනුව අපට ලෝකයේ උන්වහන්සේගේ සාමයේ මෙවලම් බවට පත්වෙන්න පුළුවන්. “ගුණවත් වූද, ප්‍රේමනීය වූද, එමෙන්ම සම්භාවනීය වූ හෝ ප්‍රසංසාවට යෝග්‍ය වූ යමක් තිබේද, අපි මේ සියල්ල සොයන්නෙමු”24 යන වචන සෑම විටම මතක තබාගෙන, නගා සිටුවන සහ සහයෝගය දක්වන පුද්ගලයින්, අවබෝධ කරගන්නා සහ සමාව දෙන හදවතක් ඇති පුද්ගලයින්, අනෙක් අයගේ යහපතම දකින පුද්ගලයින් වීමට අපව පරිවර්තනය කරගන්නේ කෙසේ දැයි සිතා බලන්නට මම ඔබට ආරාධනා කරනවා.

අප මෙම ගුණාංග ලුහුබැඳ, වර්ධනය කරගන්නා විට, අපි අපගේ සෙසු පුද්ගලයින්ගේ අවශ්‍යතා සඳහා වඩ වඩාත් සුහදශීලී සහ සංවේදී බවට පත් වන අතර,25 අපි ප්‍රීතිය, සාමය සහ අධ්‍යාත්මික වර්ධනය අත්විඳින බවට මම ඔබට පොරොන්දු වෙනවා.26 නිසැකවම, ස්වාමින්වහන්සේ අපගේ උත්සාහයන් හඳුනාගෙන එකිනෙකාගේ වෙනස්කම්, දුර්වලතා සහ අසම්පූර්ණකම් සමඟ වඩාත් සාධාරණව සහ ඉවසිලිවන්තව සිටීමට අපට අවශ්‍ය ත්‍යාග ලබා දෙයි. එපමණක්ද නොව, අපට රිදවන අයව අමනාප කිරීමට හෝ අමනාප කිරීමට ඇති ආශාවට එරෙහිවීමට අපට වඩා හොඳින් හැකි වෙයි. අපට හිරිහැර කරන හෝ අප ගැන නපුරු කතා කරන අයට ගැලවුම්කරුවාණන් කළාක් මෙන් සමාව දීමට ඇති අපගේ ආශාව නිසැකවම වැඩි වන අතර එය අපගේ චරිතයේ කොටසක් බවට පත්වෙයි.

එලඹෙන ඉරිදා හිස් සොහොන් කොතේ ආශ්චර්යය සැමරීමට සුදානම් වන අපි අද, මේ ගොක් ඉරිදා දිනයේ, අපගේ ප්‍රේමයේ වස්ත්‍ර සහ ගොක් පත්‍ර විහිදුවමින්, සාමයේ කුමරුගේ අඩිපාරේ යමු. ක්‍රිස්තුස්වහන්සේ තුළ සහෝදර සහෝදරියන් වශයෙන්, අපි ප්‍රීතියෙන් මෙසේ ප්‍රකාශ කරමු, “ දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නා: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාද ලද්දේය; ඉතා උස්තැන්හි හෝසන්නා.”27

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවමාන බවත්, උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව තුළින් ප්‍රකාශිත උන්වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය, උන්වහන්සේ සමඟ ගමන් කිරීමටත්, මෙලොව සහ මතු ලෝකය තුළ උන්වහන්සේගේ සාමය භුක්ති විඳීමටත් කැමති සියල්ලන්ටම විහිදෙන බවට මම සාක්ෂි දරනවා. මම මේ දේවල් කියන්නේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.