ප්‍රධාන සම්මන්ත්‍රණය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමුකරන්න
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමුකරන්න

අපගේ ප්‍රශ්නවලට විසඳුම ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි, නමුත් උන්වහන්සේව දැකීමට අප අපගේ දෑස් ඔසවා උන්වහන්සේ වෙත අවධානය යොමු කළ යුතුයි.

මගේ තාත්තා මට නිතරම කිව්වේ “විසඳුම නොපෙනෙන තරමටම, දැඩි ලෙස ඔබේ ප්‍රශ්නවලට අවධානය යොමු නොකරන්න” කියායි.

අපගේ දුෂ්කරතම ප්‍රශ්නවලට පවා විසඳුම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බව මම සාක්ෂි දරනවා. විශේෂයෙන්ම, අප සෑම කෙනෙකුම මුහුණ දෙන සහ අපගෙන් කිසිවෙකුට තනිවම විසඳිය නොහැකි ගැටළු හතරක් උන්වහන්සේ ජයගෙන තිබෙනවා:

  1. පළමු ගැටළුව ශාරීරික මරණය. අපට එය ප්‍රමාද කිරීමට හෝ නොසලකා හැරීමට උත්සාහ කරන්න පුළුවන්, නමුත් අපට එය තනිවම ජයගන්න බැහැ. කෙසේ වෙතත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් මරණය ජයගත් අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, අප සියල්ලන්වම යම් දවසක මරණයෙන් නැවත නැගිටුවනු ලබනවා.1

  2. දෙවන ගැටලුවට මෙලොව ඇති පීඩා, දුෂ්කර අත්දැකීම්, දුක, වේදනාව සහ අසාධාරණකම් ඇතුළත් වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මේ සියල්ල ජයගත්තා. උන්වහන්සේව අනුගමනය කිරීමට වෑයම් කරන අය වෙනුවෙන්, උන්වහන්සේ දිනක ඔවුන්ගේ “සියලු කඳුළු පිසදමා” නැවත දේවල් නිවැරදි කරනවා.2 මේ අතරතුර, අපගේ පරීක්ෂාවන් විශ්වාසයෙන්, උද්යෝගයෙන් සහ සාමයෙන් පසු කිරීමට අපව ශක්තිමත් කිරීමට උන්වහන්සේට පුළුවන්.3

  3. තුන්වන ගැටලුව වන්නේ පාපයෙන් පැන නගින ආත්මික මරණයයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙම ප්‍රශ්නය ජයගත්තේ “අපට සමාදානය ගෙනදෙන දඬුවම” තමන් පිටට ගැනීමෙන්.4 උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය නිසා, ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇදහිල්ල තබා, අවංකව පසුතැවිලි වී, බව්තීස්මය වැනි අත්‍යවශ්‍ය නියෝග තුළින් පියාණන්වහන්සේ අපට පිරිනමන ගිවිසුම පිළිගෙන අවසානය දක්වා විඳදරාගතහොත් අපගේ පාපවල ප්‍රතිවිපාකවලින් අපට නිදහස් වෙන්න පුළුවන්.5

  4. හතරවන ගැටලුව වන්නේ අපගේ සීමිත, අසම්පූර්ණ ස්වභාවයයි. මේ ප්‍රශ්නයට විසඳුමත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ළඟ තිබෙනවා. උන්වහන්සේ අපගේ වැරදි මකා දමා අපව නැවත නිර්දෝෂී කරන්නේ නැහැ. “දුෂ්ඨ දේ කිරීමට ආශාවක් තවත් නැතිව, නොනවත්වාම යහපත් දේ කරන්නට අපේ හදවත් තුළ … බලවත් වෙනසක් ඇති කිරීමට” උන්වහන්සේට පුළුවන්.6 ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙන් අපට පරිපූර්ණ විය හැකි අතර එක් දිනක උන්වහන්සේ මෙන් වෙන්න පුළුවන්.7

අවාසනාවකට මෙන්, බොහෝ විට අපි අපගේම ගැටලු කෙරෙහි බොහෝ අවධානය යොමු කරන නිසා, අපි අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නමැති විසඳුම කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. ඒ වැරැද්ද අපි මගහරින්නේ කොහොමද? පිළිතුර ඇත්තේ උන්වහන්සේ සමඟ සහ ස්වර්ගයේ සිටින අපගේ පියාණන් සමඟ ඇති කර ගැනීම සඳහා අපට ආරාධනා කරන ගිවිසුම් තුළ බව මම විශ්වාස කරනවා.

ගිවිසුම් හරහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කිරීම

අපගේ ගිවිසුම් අපට අපගේ අවධානය, අපගේ සිතුවිලි සහ අපගේ ක්‍රියාවන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි යොමු කිරීමට උපකාරී වෙනවා. අප [අපි] විසින් ඇති කරගන්නා ලද ගිවිසුම් වෙතට ඇලී සිටින විට, අප “පසෙකට දැමිය යුතු” මෙම ලෝකයේ දේවල් සහ අපි උනන්දුවෙන් සෙවිය යුතු “වඩා යහපත් [ලෝකයක] දේවල්” අපට වඩාත් පහසුවෙන් හඳුනාගන්න පුළුවන්.8

මොර්මොන්ගේ පොතේ අම්මොන්වරුන් කළේ එයයි. ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගෙන, උන්වහන්සේ කෙරෙහි තම ජීවිත යොමු කිරීමට පටන්ගත් විට, ඔවුන් තම යුධ අවි වළලා දැමිය යුතු බව හඳුනාගෙන සම්පූර්ණයෙන්ම අවංක වී, “දෙවියන්වහන්සේ දෙසට ඔවුන්ගේ උද්‍යෝගයද එසේම [හඳුනාගත්තා].”9

ගිවිසුම් පැවැත්වීම ආත්මයාණන්ගේ බලපෑමට ආරාධනා කරන ඕනෑම දෙයක් සෙවීමට සහ එය දුරු කරන ඕනෑම දෙයක් ප්‍රතික්ෂේප කිරීමට අපව යොමු කරනවා—“මක්නිසාද ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහභාගිත්වයට අපට සුදුස්සෙකු විය හැකිනම්, ස්වර්ගික පියාණන්වහන්සේ හා උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි ජීවත්වීමට අප සුදුසු බවද අපට දැනගන්න පුළුවන්.”10 මෙයින් අදහස් කරන්නේ කාරුණික වචන භාවිතා කරමින් අපගේ වචන මාලාව වෙනස් කළ යුතු බව වෙන්න පුළුවන්. අධ්‍යාත්මික යහපත සඳහා සුදුසු නොවන පුරුදු, ස්වාමින්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය ශක්තිමත් කරන, තනි තනිව සහ අපගේ පවුල සමඟ දෛනික යාච්ඤාව සහ ශුද්ධලියවිලි අධ්‍යයනය වැනි, නව පුරුදු සමඟ ප්‍රතිස්ථාපනය කිරීම එයින් අදහස් කරනවා වෙන්න පුළුවන්.

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවා: “බව්තීස්ම තටාක වල සහ දේවමාළිගාවල ගිවිසුම් ඇති කරගෙන—ඒවා තබා ගන්නා—සෑම පුද්ගලයෙකුටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයට ප්‍රවේශය වැඩියෙන් තිබෙනවා. …

දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් පැවැත්වීමේ විපාකය ස්වර්ගීය බලයයි—ඒ බලය අපගේ අභියෝග, පරීක්ෂාවන් සහ සිත් වේදනාවන්ට අපට තවත් හොඳින් ඔරොත්තු දීමට හැකිවන ලෙස අපව ශක්තිමත් කරන බලයයි.”11

සෑම ඉරිදාවකම සක්‍රමේන්තුවේදී අපගේ ගිවිසුම් අලුත් කිරීමටත්, අපව සෝදිසි කර බැලීමටත්12 අපගේ ජීවිත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි නැවත යොමු කිරීමටත් කදිම අවස්ථාවක්. සක්‍රමේන්තුවට පංගුකාරයන් වීමෙන්, අපි ප්‍රකාශ කරන්නේ අපි “සෑම විටම උන්වහන්සේව සිහි කරන” බවයි.13 සෑම විටම යන වචනය ඉතා වැදගත්. එය අපගේ ජීවිතයේ සෑම කොටසකටම ගැලවුම්කරුවාණන්ගේ බලපෑම පුළුල් කරනවා. අපි උන්වහන්සේව සිහිපත් කරන්නේ සභාවේදී පමණක් හෝ අපගේ උදෑසන යාච්ඤාව අතරතුරදී හෝ අපට කරදරයක් වූ විට සහ අපට යමක් අවශ්‍ය විට පමණක් නොවේ.

ඔව්, සමහර විට අපේ අවධානය වෙනතකට යොමු වෙනවා. අපිට අමතක වෙනවා. අපේ අවධානය නැති වෙනවා. නමුත් අපගේ ගිවිසුම් අලුත් කිරීම යන්නෙන් අදහස් කරන්නේ අපට ගැලවුම්කරුවාණන්ව සැමවිටම මතක තබා ගැනීමට අවශ්‍ය බව, අපි සතිය පුරාම එසේ කිරීමට උත්සාහ කරන බව සහ ලබන සතියේ සක්‍රමේන්තුවේදී අපි නැවත උන්වහන්සේ කෙරෙහි අවධානය යොමු කරන බවයි.

අපගේ නිවෙස් තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කිරීම

පැහැදිලිවම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කිරීම ඉරිදා, හෝ සභාවේ ක්‍රියාකාරකම් වලට වඩා වැඩි දෙයක් විය යුතුයි. සභාපති නෙල්සන් 2018 දී එන්න, මා අනුගමනය කරන්න හඳුන්වා දුන් විට, ඔහු පැවසුවේ, මෙය“නිවස කේන්ද්‍ර කරගත් සභාවකට” කාලය පැමිණ ඇති බවයි.14 අපි “[අපගේ] නිවස ඇදහිල්ලේ ශුද්ධස්තානයක්” සහ “ශුභාරංචිය ඉගෙනීමේ මධ්‍යස්ථානයක් බවට ප්‍රතිව්‍යුහගත කළ යුතුයි” කියා ඔහු පැවසුවා. අපි එසේ කරන්නේ නම් ඔහු අපට පුදුමාකාර පොරොන්දු හතරක් ලබාදුන්නා15

පළමු පොරොන්දුව:ඔබේ සබත් දිනයන් සත්තකින්ම ප්‍රබෝධමත් වේවි.” එය අප අපගේ ගැලවුම්කරුවාණන් වෙත සමීප වන දිනයක් බවට පත්වෙනවා. පේරු හි තරුණියක් මෙසේ පැවසුවා, “ස්වාමින්වහන්සේගේ දවස ස්වාමින්වහන්සේගෙන් මට වැඩිපුරම පිළිතුරු ලැබෙන දිනයයි.”

දෙවන පොරොන්දුව:ඔබේ දරුවන් ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් ඉගෙනගැනීමට උද්යෝගී වේවි.” අපි මෙසේ කරන්නේ ඒ නිසයි, “තවද අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කථා කරන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ තුල ප්‍රීති වන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනා කරන්නෙමු … එනම් අපගේ දරුවන් ඔවුන්ගේ පව් වලට පව් කමාව ලබාගැනීමට කුමන උල්පත දෙස රැඳීමට දැනගැනීම පිණිසය.”16

අපි මෙය කරන්නේ, දවසක අපේ පුතාත්, ඊනොස් කළාක් මෙන් රැකියාවට හෝ කඳුකරයේ ඇවිදීමට හෝ වනාන්තරවල මෘගයන් දඩයම් කිරීමට යන විට, ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ ප්‍රීතිය ගැන අපි ඔහුට ඉගැන්වූ දේ ඔහුට මතක තිබෙන පිණිසයි. කවුද දන්නෙ? සමහර විට මේ දවස ඔහුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට හරවන ඔහුට අධ්‍යාත්මික කුසගින්න දැනෙන දවස වෙන්න පුළුවන්, එවිට ස්වාමින්වහන්සේ ඔහුට කතාකොට මෙසේ කියයි “නුඹගේ පාපයන්ට සමාව දී ඇත්තේය, තවද නුඹ ආශිර්වාද ලබන්නෙහිය”17

තුන්වන පොරොන්දුව: “නපුරාගේ පෙළඹවීම් ඔබේ ජිවිතයෙන් සහ ඔබගේ පවුලෙන් අඩු වී යාවි.” ඒ කෙසේද? අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය යොමු කරන තරමට, පාපයේ ආකර්ෂණය නැති වී යනවා.18 අපගේ නිවෙස් ගැලවුම්කරුවාණන්ගේ ආලෝකයෙන් පිරෙන විට, විරුද්ධවාදියාගේ අන්ධකාරය සඳහා ඇති ඉඩ කෙමෙන් අඩුවෙනවා.

හතරවන පොරොන්දුව: “ඔබගේ පවුලේ වෙනස්වීම පුදුමාකාර සහ ස්ථිර වේවි.” ඒ කෙසේද? එසේ වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගෙනෙන වෙනස “බලවත් වෙනසක්” වන නිසයි.19 උන්වහන්සේ අපගේ ස්වභාවය වෙනස් කරනවා; එවිට අපි “නව ජීවීන්” බවට පත් වෙනවා. 20 දෙවියන්වහන්සේගේ සියලුම දරුවන් කෙරෙහි ගැලවුම්කරුවාණන්ගේ නිර්මල ප්‍රේමයෙන් පිරී අපි ක්‍රම ක්‍රමයෙන් ගැලවුම්කරුවාණන් වගේ වෙනවා.

මෙම පොරොන්දු ඔවුන්ගේ ජීවිත තුළ සහ ඔවුන්ගේ පවුල් තුළ ඉටුවෙනවාට අකමැති කවුද? ඒවා ලබාගැනීමට අප කළ යුත්තේ කුමක්ද? පිළිතුර තමයි අපගේ නිවස ඇදහිල්ලේ ශුද්ධස්තානයක් සහ ශුභාරංචිය ඉගෙනීමේ මධ්‍යස්ථානයක් බවට ප්‍රතිව්‍යුහගත කිරීම. අපි එය කරන්නේ කොහොමද? ස්වර්ගිය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, උන්වහන්සේලාව අපගේ පවුල් ජීවිතයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමෙන් සහ අපගේ නිවසේ ඇති වැදගත්ම බලපෑම බවට උන්වහන්සේලාව පත්කර ගැනීමෙන් අපට එය කරන්න පුළුවන්.

ශුද්ධලියවිලි වල ඇති ක්‍රිස්තුස්වහන්සේගේ වචන ඔබේ ජීවිතයේ දෛනික කොටසක් බවට පත් කිරීමෙන් ආරම්භ කිරීමට මට යෝජනා කළ හැකිද? පරිපූර්ණ ශුද්ධලියවිලි අධ්‍යයනයක් සඳහා නියමිත සූත්‍රයක් නෑ. එය සෑම දිනකම මිනිත්තු 5ක් හෝ 10ක් වෙන්න පුළුවන්—හෝ ඔබට හැකි නම් ඊට වැඩි කාලයක් වෙන්න පුළුවන්. එය දිනකට පරිච්ඡේදයක් හෝ පද කිහිපයක් වෙන්න පුළුවන්. සමහර පවුල් පාසැලට හෝ රැකියාවට යාමට පෙර උදෑසන අධ්‍යයනය කිරීමට කැමැත්තක් දක්වනවා. තවත් අය නින්දට පෙර රාත්‍රියේදී කියවීමට කැමැත්තක් දක්වනවා. සමහර තරුණ යුවලයන් ඔවුන් රැකියාවට යන අතරතුර තනි තනිව අධ්‍යයනය කර පසුව දුරකථන පණිවිඩ හරහා එකිනෙකා සමඟ තම අදහස් බෙදා ගන්නා බවත්, එම නිසා ඔවුන්ගේ අදහස් සහ සාකච්ඡා වාර්තා වී තිබෙන බවත් ඔවුන් මට කියා තිබෙනවා.

එන්න, මා අනුගමනය කරන්න පුද්ගලයන්ට සහ පවුල්වලට ශුද්ධලියවිලි වලින් ශුභාරංචි මූලධර්ම ඉගෙන ගැනීමට උපකාර කළ හැකි ක්‍රියාකාරකම් සහ සම්පත් පිළිබඳ බොහෝ යෝජනා සපයනවා. බයිබල් වීඩියෝ සහ මොර්මොන්ගේ පොතේ වීඩියෝ ඔබේ පවුලේ අයට ශුද්ධලියවිලි වලට වඩාත් ප්‍රවේශ විය හැකි වටිනා මෙවලම් වෙන්න පුළුවන්. යෞවනයන් සහ ළමයින් බොහෝ විට ශුද්ධලියවිලිවල අමතක නොවන කථාවලින් දේවානුභාවයක් ලබනවා. මෙම කථා සහ ඒවා තුළින් උගන්වන ශුභාරංචි මූලධර්ම ඔබේ දරුවන්ට විශ්වාසවන්ත මිතුරන් මෙන්, ඔවුන්ට සේවය, ගුණවත්කම, කීකරුකම, ඉවසීම, නොපසුබට උත්සාහය, පුද්ගලික එළිදරව්, පිවිතුරු ප්‍රේමය, නිහතමානීකම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල පිළිබඳ හොඳ ආදර්ශ අවශ්‍ය වූ විට ඔබේ දරුවන් සමඟ සිටියි. කාලයාගේ ඇවෑමෙන්, දෙවියන්වහන්සේගේ වචන භුක්ති විඳින විට ඔබේ දරුවන්ට ගැලවුම්කරුවාණන් වෙත වඩාත් සමීප වීමට එය උදෙව් වෙයි. වෙන කවරදාටත් වඩා ඔවුන් උන්වහන්සේව දැන හඳුනා ගනියි.

ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අද ජීවමානයි. උන්වහන්සේ අපගේ ජීවිතයේ ක්‍රියාශීලී, දෛනික පැවැත්මක් වෙන්න පුළුවන්. අපගේ ප්‍රශ්නවලට විසඳුම උන්වහන්සේයි, නමුත් උන්වහන්සේව දැකීමට අප අපගේ දෑස් ඔසවා උන්වහන්සේ වෙත අවධානය යොමු කළ යුතුයි. “සෑම සිතුවිල්ලකදීම මා දෙස බලන්න; සැක නොකරන්න, බිය නොවන්න”21 කියා උන්වහන්සේ කියා තිබෙනවා. අපි උන්වහන්සේ කෙරෙහි සහ ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ කෙරෙහි අවධානය යොමු කරන විට, උන්වහන්සේලා සමඟ ගිවිසුම් ඇති කර තබාගන්නා විට සහ උන්වහන්සේලාව අපගේ නිවසේ සහ පවුල තුළ වඩාත්ම වැදගත් බලපෑම බවට පත් කරගන්නා විට, අපට සභාපති නෙල්සන් දර්ශනය කරගත් ආකාරයේ මිනිසුන් වෙන්න පුළුවන්: එනම්, “ස්වාමින්වහන්සේ නැවත පැමිණෙන විට උන්වහන්සේව පිළිගැනීමට හැකි, සූදානම් සහ සුදුසු ජනතාවක්; මේ වැටුණු ලෝකයට වඩා දැනටමත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව තෝරාගෙන ඇති ජනතාවක්; යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උසස්, ශුද්ධ වූ නීති අනුව ජීවත් වීමට ඔවුන්ගේ තෝරාගැනීමේ නිදහස ගැන ප්‍රීති වන ජනතාවක් වෙන්න අපට පුළුවන්.”22 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.