ලියහෝනා
පාළුකරයේ අපගේ ආලෝකය
2024 ජනවාරි


“පාළුකරයේ අපගේ ආලෝකය,” ලියහෝනා, 2024 ජන.

මාසික ලියහෝනා පණිවිඩය, 2024 ජනවාරි

පාළුකරයේ අපගේ ආලෝකය

මෝර්මොන්ගේ පොත අවංකව කියවන, එහි නියමයන් අනුව ජීවත් වන සහ එහි සත්‍යවාදී බව ගැන යාච්ඤා කරන අයට ශුද්ධාත්මයාණන්ව දැනෙන අතර ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල සහ සාක්ෂිය වැඩි වේ.

රූපය
දිලිසෙන ගල් සහිත යාරෙද්ගේ සහෝදරයා

දිලිසෙන ගල් සහිත යාරෙද්ගේ සහෝදරයාගේ රූපය නෝමැන්ඩි පෝල්ටර් විසින්

කුඩා පිරිමි ළමයෙකු ලෙස පවා, මට මෝර්මොන්ගේ පොත පිළිබඳ සාක්ෂියක් තිබුණි. “පොරොන්දු දේශයට” යන ගමනේදී යාරෙද්ගේ සහෝදරයා සහ ඔහුගේ මිනිසුන්ගේ කතාවට මම විශේෂයෙන් ඇදී ගියෙමි (ඊතර් 2:9).

එළිය නොලැබෙන බත්තල් වල ගමන් කිරීමේ අපේක්ෂාව හමුවේ, යාරෙද්ගේ සහෝදරයා ඇසුවේ, “අහෝ, ස්වාමීනි, මෙම බලවත් ජලය තරණය කිරීමට අන්ධකාරයේ ඔබවහන්සේ අපට ඉඩදෙන සේක්ද?” කියායි. ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “ඹලාගේ යාත්‍රාවල ආලෝකය තිබීමට මා කුමක් කරණවාට නුඹලා කැමතිදැ”යි වදාළ සේක. (ඊතර් 2:22:23).

ස්වාමින්වහන්සේට සියලු බලය ඇති බව යාරෙද්ගේ සහෝදරයා දැන සිටියේය. ස්වාමින්වහන්සේ සියලු ආලෝකයේ උල්පත බව ඔහු දැන සිටියේය. අවශ්‍ය අවස්ථාවකදී උන්වහන්සේව ඇමතීමට ස්වාමින්වහන්සේ තම සෙනඟට අණ කළ බව ඔහු දැන සිටියේය. එමනිසා, ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කරමින්, යාරෙද්ගේ සහෝදරයා කුඩා ගල් 16 ක් සූදානම් කළේය. එවිට “ඒවා අන්ධකාරයේ දී දිදුළන පිණිස” ඔහු ස්වාමින්වහන්සේට තම ඇඟිල්ලෙන් ගල් ස්පර්ශ කරන ලෙස ඉල්ලා සිටි බව ඔබට මතක ඇති(ඊතර් 3: 4).

ස්වාමින්වහන්සේ එම ගල් ස්පර්ශ කරන දර්ශනය එම කතන්දරයේ මුල් කියවීමේ පටන්ම මගේ හිතේ තැන්පත් වී තිබේ. ඒ දර්ශනය මගේ ඇස් ඉදිරිපිට සිදු වූවාක් මෙන් මට පෙනේ. සමහර විට ඒ ආලෝකයෙන් අඳුර දුරුවෙන දර්ශනය මට සැබෑවක් වන නිසා විය හැකියි.

මට ශුද්ධාත්මයාණන් නොහැඟෙන විට, මම ස්වාමීන්වහන්සේගේ ආත්මය සමඟ මඳක් නොගැලපෙන විට, මට අන්ධකාරය දැනේ. නමුත් මම මෝර්මොන්ගේ පොත කියවන විට ආලෝකය නැවත පැමිණේ. මෝර්මොන්ගේ පොත මට ස්වාමින්වහන්සේ විසින් ස්පර්ශ කරන ලද දිදුලන ගලක් වී තිබේ. එය මගේ ජීවින ගමන ආලෝකමත් කළේය.

සදාකාලික ආලෝකයක්

ස්වාමින්වහන්සේගේ හස්තයෙන් පුරාණ ඇමරිකාවට ගෙන එන ලද අය මෙන්, අප සියලු දෙනාම පොරොන්දු වූත් උත්කර්ශවත් වූත් දේශයට යන ගමනේදී කුණාටු සහ අඳුරු දිනවලට මුහුණ දෙමු. නුමුත් ස්වාමින්වහන්සේ යාරෙද්වරුන්ට සහ නෙපිවරුන්ට කළ දේ අප උදෙසා කරනු ඇත. අප උන්වහන්සේට කීකරු වුවහොත්, උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ක්‍රියා කළහොත් සහ උන්වහන්සේගේ උපකාරය ඉල්ලා සිටියහොත්—උන්වහන්සේ අපට මඟ පෙන්වා අපගේ මාර්ගය ආලෝකවත් කරයි.

ස්වාමින්වහන්සේ නෙපිට කතා කොට, නුඹලා මාගේ අඥා පවත්වන්නහු නම්, වනාන්තරයේදී නුඹලාගේ අලෝකය මම වන්නෙමි; තවද මම නුඹලාගේ ඉදිරි මාර්ගය පිළියෙල කරන්නෙමි, කුමක් හෙයින්ද එපමණකින් නුඹලා මාගේ අඥා පවත්වන්නහු නම්, නුඹලා පොරොන්දු දේශයට ගෙනයනු ලබන්නහුය; තවද නුඹලා එනම් මා විසින් ගෙනයනු ලබන බව නුඹලා දැනගන්නහුය” කියා පැවසීය (1 නෙපී 17:13).

ස්වාමින්වහන්සේ නෙපිගේ සහෝදර වන යාකොබ් හට මෙසේ පැවසීය, “මාගේ වචන වලට ඇහුන්කම් දෙන ඔවුන්ට, තවද මම සදහටම ආලෝකයක් වන්නෙමි” (2 නෙපී 10:14).

ගැලවුම්කරුවාණ ගැන, අනාගතවක්තෘ අබිනාඩි සාක්ෂි දරමින්, “උන්වහන්සේ ලෝකයේ ආලෝකයද, ජීවිතයද වන සේක; එසේය, අනන්ත ආලෝකයකි, කවරදාකවත් අඳුරු කළ නිහැකි ආලෝකයකි” (මොසායා 16:9) කීය.

ගැලවුම්කරුවාණන් තමා ගැනම, “මම ලෝකයේ ආලෝකය සහ ජීවනය වෙමි” කීයාද උන්වහන්සේ තවදුරටත්, “මම ආලෝකය වෙමි; මම නුඹලා උදෙසා ආදර්ශයක් තබා ඇත්තෙමි” කියා සාක්ෂි දැරීය (3නෙපී 9:18; 18:16).

රූපය
ගමන් කරන සභාපති රසල් එම්. නෙල්සන්

අලෝකය හැඟීම

මම අපේ අනාගතවක්තෘ, සභාපති රසල් එම්. නෙල්සන්ට ආදරෙයි. එතුමා අසල සිට සේවය කිරීමේ ආශිර්වාදය මට ලැබී තිබෙනවා. ඔහු කාමරයකට ඇතුළු වූ විට, එම කාමරය වහාම දීප්තිමත් වේ. ඔහු ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය ඔහු සමඟ රැගෙන යයි.

ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය සැබෑ ය. එය “දෙවියන්වහන්සේගෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළින් නික්මෙන දිව්‍යමය ශක්තිය, බලය හෝ බලපෑම වන අතර සෑම දෙයකටම ජීවය සහ ආලෝකය ලබා දෙයි.” එය දෙවියන්වහන්සේගේ දරුවන් ශුද්ධාත්මයාණන් වෙතට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය වෙතට ගෙන යා හැකි ප්‍රියමනාප අධ්‍යාත්මික දීමනාවකි.1 මොර්මොන්ගේ පොත කියවීමෙන් එම ආලෝකය ශක්තිමත් වේ.

සමහර අවස්ථාවලදී අපිට අපේ ගමනේදී උපකාර ලැබී ඇති ආකාරය මතක තබා ගැනීමට අපගේ ජීවිතය දෙස ආපසු හැරී බැලිය යුතුය. අපි ආපසු හැරී බලන විට, ගැලවුම්කරුවාණන්ගේ බලපෑම නැවතත් අපට දැනිය හැක. “මතක තබා ගන්න, මතක තබා ගන්න” (හිලමන් 5:12), කියා ශුද්ධ ලියවිල්ල පවසන විට, මම සිතන්නේ ඒවා අපට පවසන්නේ, “ඔබ වරක් දැන සිටි හෝ දැනුණු දේ පමණක් මතක තබා නොගෙන; ඒ වෙනුවට, එම ආලෝකය නැවත නැවතත් දැනෙන්න ඉඩ සලසන්න.” කියායි.

සමහරුන්ට ආධ්‍යාත්මික ආලෝකය පහසුවෙන් දැනේ. අන් අයට, පෞද්ගලික අරගල හෝ ලෞකික බාධාවන් නිසා ආත්මික ආලෝකය දැනීම දුෂ්කර විය හැකිය. නමුත් සමහර අවස්ථාවලදී අප නොසිතන ආකාරයෙන්—අපි විශ්වාසවන්තව සිටිනවා නම්, ආලෝකය පැමිණෙනු ඇත.

සෑම දිනකම2 මොර්මොන්ගේ පොත යාච්ඤාවෙන් අධ්‍යයනය කරන ලෙස” අපට උපදෙස් දුන් සභාපති නෙල්සන්, 2 මොර්මොන්ගේ පොතට අපව ගැළැවුම්කරුවාණන් වෙත ළං කිරීමට සහ ශුභාරංචි ආලෝකය දැනීමට, ශුභාරංචිය සත්‍යයන් ග්‍රහණය කර ගැනීමට සහ ශුභාරංචි ඉගැන්වීම් අනූව සජීවී වීමට උපකාර කළ හැකි ක්‍රම කිහිපයක් බෙදාගෙන ඇත.

සභාපති නෙල්සන් පැවසුවේ අපි මෝර්මන්ගේ පොත කියවන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳ අපගේ අවබෝධය සහ අගය වර්ධනය වනු ඇති බවයි.

පොත අපට හදවතේ වෙනසක් අත්විඳීමට උපකාර කරන විට (මොසායා 27:25) “නැවත ඉපදීමට” ආශාවක් අපට දැනෙනු ඇත (බලන්න මොසායා 5:2).

ඊශ්‍රායෙල්වරුන්ගේ එක්රැස් වීම ගැන මෝර්මොන්ගේ පොතෙන් කියවා අධ්‍යයනය කරන විට, අපගේ මළවුන් ගැන සෙවීමට සහ දේවමාළිගාවේ ඔවුන් වෙනුවෙන් ගැළවීම සහ උත්කර්ෂවත් කිරීම පිළිබඳ නියෝග කිරීමට අපට වැඩි ආශාවක් දැනෙනු ඇත.

අපගේ ප්‍රශ්නවලට පිළිතුරු, තීරණ ගැනීමේ මග පෙන්වීම සහ පසුතැවිලි වීමට සහ නපුරට ඔරොත්තු දීමට ශක්තිය ලැබෙන විට අපට සැහැල්ලුවක් දැනෙනු ඇත.

අපි මෝර්මොන්ගේ පොතේ ඇති සත්‍යයන් කියවන විට, අපගේ ආත්මයට සුවයක්, සැනසීමක්, ප්‍රතිෂ්ඨාපනයක්, සහනයක්, ශක්තියක්, සැනසීමක් සහ ප්‍රීතියක් දැනෙනු ඇත.3

“අහෝ එවිට මෙය සත්‍ය නොවන්නේද?” කියා ඇල්මා ඇසුවේ සත්‍යය, දැනුම සහ සාක්ෂිය යන වැඩිවන, දළුලන බීජය පිළිබඳවය. මම නුඹලාට පවසන්නෙමි, තවද අලෝකය වන්නේ කුමන දෙයක්ද එය යහපත වන්නේය, මක්නිසාද එය ප්‍රත්‍යක්ෂ කරගත හැකි වන්නේය, එසේහෙයින් එය යහපත් යැයි නුඹලා දැනගත යුතු වන්නෝය” (ඇල්මා 32:35).

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පිළිරුව

හෙයින්රිච් හොෆ්මන් විසින්, Christ’s Image [ක්‍රිස්තුස්වහන්සේගේ රූපය]

අඳුරේ ගැලවුම්කරුවාණන් සොයන්න

මගේ මිතුරිය කැම්‍රින්, වයස අවුරුදු 10 දී, ඇයගේ දකුණු ඇසේ සුඳු ඉංගිරියාව ආසාදනයකට ලක් කරමින් දුර්ලභ නමුත් ස්ථිර අක්ෂි රෝගයකට ගොදුරු වුනා.4 සමහර අවස්ථාවලදී, එම වේදනාව නිතරම ඇතිවන විට හා දරාගත නොහැකි වූ විට, කැම්‍රින්ට කිසිදු ආලෝකයක් දරාගත නොහැකි විය. ඇය අන්ධ විය හැකි යැයි කනස්සල්ලට පත් වූ ඇගේ දෙමාපියන්, ඇය සුවපහසු ලෙස තබා ගැනීමට උත්සාහ කිරීම සඳහා ඇගේ නිදන කාමරයේ ජනේල අඳුරු කළහ. කැම්‍රින්ගේ මව, ජැනා, මෙලෙස සිහිපත් කළා:

“ඇයගේ රෝග විනිශ්චය කිරීමෙන් මාස හතරකට පමණ පසු මම ඇගේ අඳුරු කාමරයට ගියෙමි. මගේ දෑස් අඳුරට හුරු වූ පසු, කැම්‍රින් ඇගේ ඇඳ මත ගුලි වී සිටිනු මට පෙනුනි. ඇයගේ වේදනාව කෙතරම්ද යත්, මා ඇතුලට එන හඬ ඇසෙන විට ඇය සෙලවුනේවත් හැඬුවේවත් නැත. ඉදිමී ඇති ඇස් වසාගෙන ඇය නිකම්ම වැතිර සිටියාය.

“මම ඇගේ ඇඳ ළඟ දණ ගසා, ඇගේ අත මගේ අතට ගෙන එය තුන් වරක් මිරිකුවෙමි—‘මම ඔබට ආදරෙයි’ සඳහා වූ අපගේ රහස් කේතය එයයි. සාමාන්‍යයෙන් ඇය ‘මම ඔබට තවත් ආදරෙයි’ කියා පැවසීමට හතර වතාවක් මාගේ අත මිරිකන නමුත්, මෙවර ඇය ප්‍රතිචාර දැක්වූයේ නැත. ඇය බොහෝ වේදනාවෙන් සිටියාය. මගේ කම්මුල් දිගේ වැටෙන කඳුළුත් සමඟ, දැන් බෝලයක් මෙන් වකුටු වී සිටින, කලක් මාගේ ජීවමාන 10 හැවිරිදි දරුවා දෙස බලන විට, මගේ හදවත බිඳී ගියේය.”

ජෙනා නිහඬ, හෘදයාංගම යාච්ඤාවක් කලාය.

“මම යාච්ඥා කරමින් ස්වර්ගීය පියාණන්ට කීවේ උන්වහන්සේ හොඳින්ම දන්නා බව මා දන්නා නමුත්, ‘කරුණාකර ඇයට උදව් කරන්න’ කියායි. මම එහි වාඩි වී යාච්ඤා කරන විට, උණුසුම් රැල්ලකින් මා සේදී ගියේය. ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සිතුවිල්ලක් මගේ සිතට නැඟුණු විට මට සන්සුන් බවක් දැනුනි: ‘උන්වහන්සේ ආලෝකයය. අඳුරේ උන්වහන්සේව සොයන්න.’”

ජෙනා හිස ඔසවා කැම්‍රින්ගේ කනට මෙසේ කීවාය: “ඔබ අඳුරේ ගැලවුම්කරුවාණන්ව සොයා ගත යුතුයි.”

පසුව, සභාවේ පුස්තකාල යෙදුමේ ගීතිකා සහ ශුද්ධ ලියවිලි පද වලට සවන් දෙමින් කැම්‍රින් නින්දට වැටුණි.

රූපය
ඇස් ආවරණයක් පැළඳ සිටින ගැහැණු ළමයා

ඇගේ අක්ෂි ආසාදනය උත්සන්න වන විට, කැම්‍රින් ගැලවුම්කරුවාණන්ව අඳුරේ සොයා ගනු ඇත.

කැම්‍රින්ගේ පවුලේ අයගේ ඡායාරූප අනුග්රහයෙනි

කැම්‍රින්ගේ රෝගය බොහෝ විට නිශ්චලව පවතී, නමුත් එය උත්සන්න වන විට, ජැනා සහ ඇගේ ස්වාමිපුරුෂයා වන ඩැරින් ඇයව සනසමින් නැවතත් ඇගේ නිදන කාමරයේ ජනේල මත බ්ලැන්කට් දමයි. එම වේදනා කාරී කාල වලදී, කැම්රින් පවසන්නේ, “මම අඳුරේ ගැලවුම්කරුවණන්ව සොයානවා” කියාය.5

ජීවිතය “කළු සහ අන්ධකාර පාළුකරයක්” මෙන් පෙනෙන විට (1 නෙපි 8:4) අපට ගැලවුම්කරුවාණන්ව අඳුරේ සොයා ගැනීමටද අවශ්‍ය විය හැකිය. “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සදාකාලික දෙවියන්වහන්සේ” යන එහි සාක්ෂිය සමඟින් මෝර්මොන්ගේ පොත, අපව උන්වහන්සේ වෙතට ගෙන යන බවට මම සාක්ෂි දෙමි.6 මෝර්මොන්ගේ පොත අවංකව කියවන, එහි නියමයන් අනුව ජීවත් වන සහ එහි සත්‍යවාදී බව ගැන යාච්ඤා කරන අයට ශුද්ධාත්මයාණන්ව දැනෙන අතර ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල සහ සාක්ෂිය වැඩි වනබව මම දනිමි.

මෙම “වඩාත්ම නිවැරදි” පොත 7 කියවීමෙන්, එය අගය කරමින්, අපගේ ඇදහිල්ල සහ ලෝකයේ ආලෝකය තුළ අන් අයගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට එය භාවිතා කිරීමෙන් එයට ඇති අපගේ කෘතඥතාව පෙන්වමු.

සටහන්

  1. බලන්න Topics and Questions, “Light of Christ,” topics.ChurchofJesusChrist.org.

  2. රසල් එම්. නෙල්සන්, “මෝර්මොන්ගේ පොත: එය නොමැතිව ඔබේ ජීවිතය කෙබඳු වේවිද?,” ලියහෝනා, 2017 නොවැ., 62.

  3. රසල් එම්. නෙල්සන්, “මොර්මොන්ගේ පොත: එය නැතිව ඔබේ ජීවිතය කෙසේ වේවිද?,” 62,63.

  4. හර්පීස් සිම්ප්ලෙක්ස් කෙරටිටිස් වෛරසය.

  5. ඔවුන්ගේ කතාව බෙදා ගැනීම ගැන මම ජැනා කැනන් සහ ඇයගේ දියණිය කැම්‍රන්ට ස්තූතිවන්ත වෙමි.

  6. මෝර්මොන්ගේ පොත මාතෘකා පිටුව

  7. Teachings of Presidents of the Church: Joseph Smith (2007), 64.