ජේසුස් ක්රිස්තුස්වහන්සේ ලෝකයේ ආලෝකය සහ ජීවනයයි
අපගේ ජීවිතයේ අපට ඇති විය හැකි ගැටලු, අභියෝග සහ අරගල කුමක් වුවත්, පිළිතුර සැමවිටම ජේසුස් ක්රිස්තුස්වහන්සේයි.
මගේ මව් රට වන දකුණු අප්රිකාවේ, දෙමාපියන් තම දරුවන්ට විශේෂ අර්ථයක් ඇති නම් තැබීම සිරිතකි. මගේ නම තාබෝ. එහි තේරුම “ප්රීතිය” යන්නයි. මගේ ආදරණීය බිරිඳගේ මැද නම ගඩිෆෙල්. එහි තේරුම “සදාකාලික හෝ නිමක් නැති” යන්නයි. එකට ගත් කල, අපගේ නම්වල තේරුම “සදාකාලික ප්රීතිය” යන්නයි. මොනතරම් අපේක්ෂාවක් ද!
නමුත් අපි විවාහ වී ටික කලකට පසු, එක් සන්ධ්යාවක් ඇති වූ සාකච්ඡාවක් අනපේක්ෂිත ලෙස අපගේ පළමු බරපතල එකඟ නොවීම බවට පත් වුණා. එය ඉක්මනින් ආරවුලක් දක්වා වර්ධනය වූ අතර, අපි ප්රීතියෙන් හා සතුටින් සිටි යුවළකගේ සිට නිහඩ බලාපොරොත්තු සුන් වූ ආත්මාර්ථකාමී තත්වයකට පත් ව එකිනෙකාට නිහඬව සැලකීමට පටන් ගත්තා.
කලත්රයෙකු, දරුවෙකු, පවුලේ සාමාජිකයෙකු, මිතුරෙකු, සගයෙකු හෝ අසල්වැසියෙකු සමඟ කරන සංවාදයක් හෝ සාකච්ඡාවක් අප බලාපොරොත්තු වූ පරිදි අවසන් නොවූ අවස්ථා අපගෙන් බොහෝ දෙනෙකු අත්විඳ තිබෙනවා. එවැනි අවස්ථාවන්වල දී, සරල හුවමාරුවක් ලෙස ආරම්භ වූ දෙයක් අපට කෝපය, නිෂ්එල බව, කලකිරීම, හෝ පසුතැවීම වැනි හැඟීම් ඇති කරන්න පුළුවන්.
කුමක් ද කරන්නේ කියා මම කල්පනා කරමින් ඉද්දී, මොර්මන්ගේ පොතේ නීෆාවරුන්ට දර්ශනය වූ විට ජේසුස් ක්රිස්තුස්වහන්සේ පැවසූ වචන මතකයට ආවා. උන්වහන්සේ මෙසේ ඉගැන්වුවා:
“මක්නිසාද සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් විවාදයේ ආත්මය ඇත්තා මා කෙරෙන් නොවන්නේය, එහෙත් යක්ෂයාගෙන් වන්නේය, ඔහු විවාදයේ පියාය, තවද ඔහු එකෙක් අනෙකා සමග කෝපයෙන් විවාද වීමට මනුෂ්යයන්ගේ හදවත් කළඹවන්නේය.
“බලව, එකෙක් අනෙකා සමඟ කෝපයෙන් විරුද්ධවීමට මනුෂ්යයන්ගේ හදවත් කැළඹවීම, මෙය මාගේ ධර්මය නොවන්නේය; එහෙත් එනම් එවැනි දේවල් පහ කිරීම, මෙය මාගේ ධර්මය වන්නේය” (3 නීෆායි 11:29–30; අවධාරණය එක් කරන ලදි).
ජේසුස් ක්රිස්තුස්වහන්සේ ලෝකයේ ආලෝකය සහ ජීවනයයි
ශුද්ධලියවිලිවල එන මේ වචන මගේ මනස ආලෝකවත් කළ අතර මා මුහුණ දෙන අභියෝගය විසඳා ගන්නේ කෙසේදැයි දැන ගැනීමට මට උපකාර වුණා. මෙම ඥානාලෝකය ලැබෙන්නේ ගැලවුම්කරුවාණන්ගෙනුයි. 3 නීෆායි 11:11 හි, ගැලවුම්කරුවාණන් මෙසේ පැවසුවා, “ලෝකයේ ආලෝකය සහ ජීවනය මම වන්නෙමි” (අවධාරණය එක් කරන ලදි). උන්වහන්සේගේ ආත්මයාණන් තුළින්, උන්වහන්සේ අපගේ මනස ආලෝකවත් කරනවා (බලන්න දහම සහ ගිවිසුම් 6:15). උන්වහන්සේගේ ආලෝකය උන්වහන්සේගේ පරිපූර්ණ ජීවිතය හා ඉගැන්වීම් තුළින් ද හෙළිදරව් වෙනවා. උන්වහන්සේ මෙසේ ප්රකාශ කළා, “මම ආලෝකය වන්නෙමි; මම නුඹලා උදෙසා ආදර්ශයක් තබා ඇත්තෙමි” (3 නීෆායි 18:16), උන්වහන්සේගේ වචන “[අපගේ] මාවතට එළියක්ය” (ගීතාවලිය 119:105).
අපගේ ජීවිත තුළ ගැලවුම්කරුවාණන්ගේ ආලෝකයෙන් වැඩි ප්රමාණයක් අපට ලබා ගන්න පුළුවන් කොහොමද?
අපගේ ජීවිතයේ දෛනික අභියෝග සහ අරගල හරහා ගමන් කරන විට, ගැලවුම්කරුවාණන්ගේ ආලෝකයෙන් වැඩි ප්රමාණයක් අපට ලැබෙන්නේ කොහොමද කියලා අපෙන් බොහෝ දෙනෙක් කල්පනා කරන්න පුළුවන්. අපි ස්වයංපෝෂිත වීම, පාසලේ දී හෝ රැකියාවේ දී අප මත පනවා ඇති ඉල්ලීම් සපුරාලීම, ප්රමාණවත් නොවීමේ හැඟීම, බිය සහ සැකය, ආදරණීයයෙකුගේ වියෝව සමඟ කටයුතු කිරීම හෝ අපගේ ජීවිත සමඟ කුමක් කළ යුතු දැයි දැන ගැනීම ගැන සැලකිලිමත් වෙන්න පුළුවන්. අපගේ ජීවිතයේ අපට ඇති විය හැකි ගැටලු, අභියෝග සහ අරගල කුමක් වුවත්, පිළිතුර සැමවිටම ජේසුස් ක්රිස්තුස්වහන්සේ.
අපගේ අන්ධකාර අවස්ථාවන්වල දී ආලෝකය ගෙන ඒමටත්, බලාපොරොත්තු රහිත තත්වයන් තුළ බලාපොරොත්තුව නැවත ඇති කිරීමටත් ජේසුස් ක්රිස්තුස්වහන්සේට පුළුවන්. අපි කොහෙද හිටියේ, කොහෙද ඉන්නේ, අපි ඉන්න ඕන කොහෙද කියලා උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ තුළින්, අද දවස අලුත් දවසක් වෙන්න පුළුවන් අතර හෙට දවස වඩා හොඳ දවසක් වෙන්න පුළුවන්.
අපගේ ජීවිතවල ගැලවුම්කරුවාණන්ගේ ආලෝකය වැඩි කිරීමට අපට කළ හැකි දේවල් කිහිපයක් මෙන්න.
පළමුව, ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල වැඩි කරන්න
ජේසුස් ක්රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබා ගැනීම කියන්නේ උන්වහන්සේ අපගේ දෛනික දුෂ්කරතා තේරුම් ගන්නා බවත්, ඒවායින් ඉහළට නැඟී සිටීමට අපට උපකාර කරන්නේ කෙසේදැයි දන්නා බවත් විශ්වාස කිරීමයි. මොකද උන්වහන්සේ අපගේ සියලු වේදනාවන්, පීඩාවන් සහ දුර්වලතා අත්විඳ ඇති නිසයි (බලන්න ඇල්මා 7:11–12). සෑම සිතුවිල්ලකදීම “උන්වහන්සේ දෙස බැලීමට අප මතක තබා ගන්නා විට”, අපට උපකාර කිරීමට උන්වහන්සේ සැමවිටම සූදානමින් සිටින බවත්, “සැක නොසිතා බිය නොවිය” යුතු බවත් අප විශ්වාස කළ යුතු වෙනවා (දහම සහ ගිවිසුම් 6:36).
2024 ඔක්තෝබර් මාසයේ පැවති ප්රධාන සම්මන්ත්රණයේ දී, සභාපති ඩියේටර් එෆ්. උක්ඩ්රොෆ් මෙසේ ඉගැන්වුවා: “ජේසුස් ක්රිස්තුස්වහන්සේ කෙරෙහි ශක්තිමත් ඇදහිල්ල එක රැයකින් ඇති වෙන්නේ නැහැ. නැත, මේ ලෞකික ලෝකය තුළ ස්වයංසිද්ධව වැඩෙන්නේ සැකයේ කටු සහ පඳුරුයි. ඇදහිල්ලේ නිරෝගී, ඵල දරන ගසට චේතනාන්විත උත්සාහයක් අවශ්ය වෙනවා” (“මුල් පෝෂණය කරන්න, ඉන්පසු අතු වර්ධනය වෙයි”,ප්රධාන සම්මන්ත්රණ පුස්තකාලය, ඔක්. 2024).
සභාපති ඩැලින් එච් ඕක්ස් BYU සිසුන් අමතමින් මෙසේ ඉගැන්වූවා, “ශක්තිමත් ඇදහිල්ලකට දැඩි ආශාවකට වඩා වැඩි යමක් අවශ්යයි. යාච්ඤාව සහ ශුද්ධලියවිලි අධ්යයනය තුළින්, වරකට එක් පියවර බැගින් දිනපතා උත්සාහ කිරීම එයින් අදහස් වෙනවා.” (“Coming Closer to Jesus Christ” [Brigham Young University devotional, Feb. 10, 2026], 2, speeches.byu.edu).
දෙවනුව, දිනපතා ශුද්ධලියවිලි, විශේෂයෙන්ම මොර්මන්ගේ පොත අධ්යයනය කළ යුතුයි
මාගේ ශුභාරංචිය දේශනා කරන්න හි අපට මෙසේ ඉගෙනගන්න පුළුවන්: “මොර්මන්ගේ පොත කියවමින් ඒ පිළිබඳව යාච්ඤා කරන විට, මිනිසුන් ගැලවුම්කරුවාණන්ව වඩාත් හොඳින් දැන හඳුනා ගන්නා අතර උන්වහන්සේගේ ප්රේමය අත්විඳීවි” (මාගේ ශුභාරංචිය දේශනා කරන්න: ක්රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදාගැනීම සඳහා මාර්ගෝපදේශයක් [2023], 115).
ශුද්ධලියවිලි අධ්යයනය කිරීමට තනි නිවැරදි ක්රමයක් නැහැ. අපට කාලානුක්රමිකව කියවීමට, මාතෘකාව අනුව අධ්යයනය කිරීමට, විශේෂිත ප්රශ්නයක් කෙරෙහි අවධානය යොමු කිරීමට හෝ අපගේ අවධානය ආකර්ෂණය කර ගන්නා ඡේදයකින් හෝ පදයකින් ආරම්භ කිරීමට තෝරා ගන්න පුළුවන්. අපේ තත්වයන්ට වඩාත් ගැළපෙන කාලයක් තෝරා ගන්නත් අපට පුළුවන්. අවසාන වශයෙන්, අපගේ ශුද්ධලියවිලි අධ්යයනයේ ක්රමය, වේලාව සහ කාලසීමාව අපගේ උත්සාහයේ අනුකූලතාව සහ අවංකභාවයට වඩා වැදගත් වෙන්නේ නැහැ.
අපේ මව් රට වන දකුණු අප්රිකාවේ ධර්මදූත නායකයන් ලෙස අප සේවය කරන අතරතුර, අපගේ ධර්මදූතයෙකු විසින් මොර්මන්ගේ පොත කියවීමෙන් පසු සවලක් ගෙන, ඔහුගේ වත්තේ වළක් හාරා, අලුතින් මිල දී ගත් විශාල කෝපි ටින් එකක් එයට හලා, එය වළ දැමූ මිනිසෙකු පිළිබඳ කතාවක් බෙදාගත්තා. තමා සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳව ආත්මයාණන් විසින් එම මිනිසාට අවබෝධය ලබා දුන් අතර, ඔහු ඒ අනුව ක්රියා කළා. අපගේ ශුද්ධලියවිලි අධ්යයනය කරන විට අපටත් ආලෝකවත් වෙන්න පුළුවන්.
තෙවනුව, දිනපතා පසුතැවිලි වීම පුරුදු වෙන්න
පසුතැවිලි වීම කියන්නේ මනස වෙනස් කර දෙවියන්වහන්සේ වෙත හදවත හැරීමයි. අපගේ ජීවිතවල සිදු කරගත යුතු වෙනස්කම් පිළිබඳව අපි මඳක් සිතා බලමු; මේවාට අප කාලය ගත කරන ආකාරය, අප නරඹන හෝ ශ්රවණය කරන දේ මෙන්ම, අන් අය සමඟ සන්නිවේදනය කිරීමේ දී අප භාවිතා කරන භාෂාව සහ කතා කරන ස්වභාවය වැනි දේ ඇතුළත් වෙන්න පුළුවන්. සමහරවිට අපේ ජීවිතයේ අපි වෙනස් කළ යුතු දේ මොනවා ද කියලා අපට අපෙන්ම අසාගන්න පුළුවන්. අපට මේ හරහා තනිවම යාමට අවශ්ය නොවන බව මතක තබා ගැනීම වැදගත්. ගැලවුම්කරුවාණන් සැමවිටම උපකාර කිරීමට සූදානම්, මොකද උන්වහන්සේ ආරම්භයේ සිටම අවසානය දකින අතර අපගේ දුර්වලතා පරිපූර්ණ ලෙස තේරුම් ගන්නවා; උන්වහන්සේ සැමවිටම “උන්වහන්සේගේ ජනතාවට ඔවුන්ගේ දුර්වලතාවලට අනුව ඔවුන්ට පිහිට වීමට” සූදානම් (ඇල්මා 7:12).
ටමාරා ඩබ්ලිව්. රූනියා සහෝදරිය මෙසේ ඉගැන්වූවා, “පසුතැවිලි වීමට කරන ආරාධනය දෙවියන්වහන්සේගේ ප්රේමයේ ප්රකාශනයක්. ඒ ආරාධනයට ඔව් කීම අපගේම ප්රකාශනයක්” (“ඔබගේ පසුතැවීම ජේසුස් ක්රිස්තුස්වහන්සේට බරක් නොවේ; එය උන්වහන්සේගේ ප්රීතිය දීප්තිමත් කරයි”,ප්රධාන සම්මන්ත්රණ පුස්තකාලය, අප්රේල් 2025).
ජේසුස් ක්රිස්තුස්වහන්සේ වෙතට පැමිණ තම ජීවිතවලට උන්වහන්සේගේ ආලෝකය ලබා ගන්නා සැමට අද දවස අලුත් දවසක් වෙන්න පුළුවන් බවත් හෙට දවස වඩා හොඳ දවසක් වෙනු ඇති බවත් මම සාක්ෂි දරනවා. උන්වහන්සේ ප්රේමණීය ලෙස මෙසේ ආරාධනා කරනවා, “මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි” (මතෙව් 11:28). ජේසුස් ක්රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.