ප්‍රධාන සම්මන්ත්‍රණය
ඔබේ කතාව ලියන්නට ක්‍රිස්තුස්වහන්සේට ආරාධනා කරන්න
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඔබේ කතාව ලියන්නට ක්‍රිස්තුස්වහන්සේට ආරාධනා කරන්න

ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන, ඔබේ ආදර්ශකයාව අනුගමනය කරමින් ඔබේ කතාව ඇදහිල්ලේ එකක් කරන්න.

මම ස්වයං-ඇගයීම සඳහා අදහස් කරන ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරමින් පටන්ගන්නම්:

  • ඔබේ ජීවිතය සඳහා ඔබ ලියන්නේ කුමන ආකාරයේ පෞද්ගලික කතන්දරයක්ද?

  • ඔබේ කතාවේ ඔබ විස්තර කරන මාර්ගය සෘජුද?

  • ඔබේ කතාව අවසන් වෙන්නේ එය ආරම්භ වූ ස්ථානය වන ස්වර්ගික නිවසින්මද?

  • ඔබේ කතාවේ ආදර්ශකයෙක් සිටිනවාද—ඒ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේද?

ගැලවුම්කරුවාණන් “අපගේ ඇදහිල්ලේ කතුවරයාද සම්පූර්ණ කරන්නාද” 1 වන බව මම සාක්ෂි දරනවා. ඔබේ කතාවේ කතුවරයා සහ අවසන් කරන්නා ලෙස ඔබ උන්වහන්සේට ආරාධනා කරනවාද?

උන්වහන්සේ අවසානයේ සිට ආරම්භයට දන්නවා. උන්වහන්සේ ස්වර්ගයේ සහ පොළොවේ නිර්මාතෘවරයායි. උන්වහන්සේට අවශ්‍ය වන්නේ අපි උන්වහන්සේ දෙසට හා අපේ ස්වර්ගික පියාණන්වහන්සේ වෙත ආපසු යාමයි. උන්වහන්සේ අපි තුළ සෑමදෙයක්ම ආයෝජනය කර ඇති අතර උන්වහන්සේට අවශ්‍ය අපි සාර්ථක වීමයි.

ඔබ සිතන විදිහට අපේ කතන්දර උන්වහන්සේ දෙසට හැරවීමෙන් අපව වළක්වන්නේ කුමක්ද?

සමහරවිට මෙම නිදර්ශනය ඔබේ ස්වයං-තක්සේරුවට උපකාරී වෙයි.

හරස් ප්‍රශ්න ඇසීමේදී ඔබ පිළිතුර නොදන්නා ප්‍රශ්නයක් සාක්ෂිකරුවෙකුගෙන් අසන්නේ ඉතා කලාතුරකින් බව, සාර්ථක නඩු විභාග නීතිඥයෙක් දන්නවා. එවැනි ප්‍රශ්නයක් ඇසීම යනු ඔබට—සහ විනිසුරුවරයාට සහ ජූරි සභාවට—ඔබ තවමත් නොදන්නා දෙයක් කීමට සාක්ෂිකරුට ආරාධනා කිරීමක්. ඔබව පුදුමයට පත්කරන පිළිතුරක් ඔබට ලැබිය හැකි අතර ඔබේ නඩුව සඳහා ඔබ සකස් කළ විස්තරයට එය පටහැනි විය හැකියි.

ඔබ පිළිතුර නොදන්නා ප්‍රශ්නයක් සාක්ෂිකරුවෙකුගෙන් ඇසීම සාමාන්‍යයෙන් නඩු විභාගයක් කරන නීතීඥයෙකුට නුවණට හුරු දෙයක් නොවුණත්, එයට විරුද්ධ දෙය අපට සත්‍යයක්. අපගේ දයානුකම්පිත ගැලවුම්කරුවාණන්ගේ නාමයෙන් අපගේ ආදරණීය ස්වර්ගික පියාණන්ගෙන් ප්‍රශ්න ඇසීමට අපට හැකි අතර, අපගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන සාක්ෂිකරු වන්නේ සත්‍යය ගැන නිතරම සාක්ෂි දෙන, ශුද්ධාත්මයාණන්වහන්සේයි. 2 ශුද්ධාත්මයාණන්වහන්සේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ පරිපූර්ණ එකමුතුවකින් ක්‍රියාකරන හෙයින්, ශුද්ධාත්මයාණන්වහන්සේගේ ප්‍රකාශනයන් විශ්වාසදායක බව අපි දන්නවා. එසේනම්, ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් අපට ප්‍රකාශ කරන සත්‍යයට, මේ ආකාරයෙන් ස්වර්ගීය උපකාරය ඉල්ලීමට අපි සමහර වෙලාවට පසුබට වන්නේ ඇයි? සාක්ෂිකරු මිත්‍රශීලී පමණක් නොව නමුත් සැමවිටම සත්‍යය පවසන බව දන්නා විට අපි පිළිතුර නොදන්නා ප්‍රශ්නයක් ඇසීම කල්දාන්නෙ ඇයි?

සමහරවිට ඒ අපට ලැබිය හැකි පිළිතුර පිළිගැනීමට අපිට ඇදහිල්ලක් නැති නිසා වෙන්නට පුළුවන්. ඒ සමහරවිට අප තුළ සිටින ස්වභාවික පුරුෂයා හෝ ස්ත්‍රිය ස්වාමින්වහන්සේ වෙත සියල්ල මුළුමනින්ම හැරවීමට හා උන්වහන්සේව මුළුමනින්ම විශ්වාස කිරීමට විරුද්ධ වන නිසා වෙන්නට පුළුවන්. ප්‍රධාන කතුවරයා විසින් සංස්කරණය නොකළ, අපගේ කතාවේ සුවපහසු අනුවාදයක් වන, අපි අප වෙනුවෙන්ම ලියා ඇති කතාව සමඟ රැඳී සිටීමට අපි තෝරාගන්නේ ඒ නිසා වෙන්නට පුළුවන්. අපි අප වෙනුවෙන්ම ලියන කතාවට හොඳින් නොගැලපෙන ප්‍රශ්නයක් ඇසීමට සහ පිළිතුරක් ලබාගැනීමට අපට අවශ්‍ය වන්නේ නෑ.

අවංකව කිවහොත්, අපි ස්වල්ප දෙනෙක් සමහරවිට අපිව ශෝධනය කරන අභියෝග අපේ කතා වලට ලියනවා. නමුත් ප්‍රධාන චරිතය අරගලය ජයගන්නා විට අප කියවන කතාවක උත්කර්ෂවත් උච්චතම අවස්ථාව කෙරෙහි අපි ආදරය කරන්නේ නැත්ද? අපගේ ප්‍රියතම කතා සිත් ඇදගන්නාසුළු, කාලානුරූපී, ඇදහිල්ල ප්‍රවර්ධනය කරන, සහ කීමට සුදුසු බවට පත්කරන කතාවේ මූලිකාංග වන්නේ අභියෝගයි. අපගේ කතන්දර වල ලියා ඇති ලස්සන අභියෝගයන් අපව ගැලවුම්කරුවාණන් වෙත සමීප කර අපව ශෝධනය කර, අපව උන්වහන්සේ හා සමාන කරනවා.

දාවිත්ට ගොලියත් පරාජය කිරීමට නම්, එම පිරිමි ළමයාට යෝධයා අල්ලාගැනීමට සිදුවුණා. දාවිත් සඳහා වූ සැප පහසු කතාව වන්නේ බැටළුවන් බලාගැනීම සඳහා නැවත හැරී යාම වෙන්නට පුළුවන්. නමුත් ඒ වෙනුවට ඔහු සිංහයෙකුගෙන් සහ වලසෙකුගෙන් බැටළු පැටවුන් බේරාගැනීමේ අත්දැකීම ගැන මෙනෙහි කළා. එම වීර ක්‍රියාවන් ගොඩනගා ගනිමින්, දෙවියන්වහන්සේට තම කතාව ලිවීමට ඉඩදීමට ඔහු විශ්වාසය හා ධෛර්යය එකතු කරගෙන, මෙසේ ප්‍රකාශ කළා, “සිංහයාගේ නිය පහරින්ද වලසාගේ නිය පහරින්ද මා ගැළවූ ස්වාමීන්වහන්සේ, මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගළවන සේක.” 3 දෙවියන්වහන්සේට ජයග්‍රහණය ලබාදීමේ ආශාවෙන්, ශුද්ධාත්මයාණන්වහන්සේට කන්දෙමින්, ගැලවුම්කරුවාණන්ට තම කතාවේ කතුවරයා සහ අවසන් කරන්නා වීමට ඉඩදීමට කැමැත්තෙන්, දාවිත් වූ පිරිමි ළමයා ගොලියත් පරාජය කර තම ජනතාව බේරාගත්තා.

තෝරාගැනීමේ නිදහසේ උත්තරීතර මූලධර්මය, ඇත්තවශයෙන්ම, අපිට අපේම කතන්දර ලිවීමට ඉඩ සලසනවා—දාවිත්ට නැවත බැටළුවන් බලාගෙන ගෙදර යන්නට තිබුණා. නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, විශිෂ්ට කෘතියක් ලිවීමට, අපව උන්වහන්සේගේ දෑතේ දිව්‍යමය මෙවලම්, මුවහත් කළ පැන්සල්, ලෙස භාවිතා කිරීමට සූදානම්ව සිටිනවා. උන්වහන්සේට ඉඩදීමට තරම් මට ඇදහිල්ලක් තිබේ නම්, මගේ කතාව රචනා කිරීමට මම උන්වහන්සේට ඉඩදෙනවා නම්, උන්වහන්සේගේ අතේ ඇති ආයුධයක් ලෙස, ඉතා කෙට්ටු පැන්සලක් වන මාව භාවිතා කිරීමට තරම් උන්වහන්සේ දයානුකම්පිතව කැමැත්තෙන් සිටිනවා.

දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩ සැලසීමේ තවත් කදිම උදාහරණයක් තමයි එස්තර්. ආත්මාරක්ෂාව පිළිබඳ ප්‍රවේශම්කාරී කතාවක ඇලී සිටිනවා වෙනුවට, ඇය ඇදහිල්ල ක්‍රියාත්මක කළ අතර, ඇය මුළුමනින්ම දෙවියන්වහන්සේ වෙතට යොමුවුණා. හාමාන් පර්සියාවේ සිටි සියලුම යුදෙව්වන් විනාශ කිරීමට සැලසුම් කරමින් සිටියා. එස්තර්ගේ ඥාතියෙකු වන මොර්දෙකයි, එම කුමන්ත්‍රණය ගැන දැනගත් අතර, තම ජනතාව වෙනුවෙන් රජු සමඟ කතා කරන ලෙස ඇයට බල කරමින්, ඇයට ලිව්වා. කැඳවීමකින් තොරව රජු ළඟට එන කෙනෙකු මරණයට පත්විය හැකි බව ඇය ඔහුට පැවසුවා. නමුත් ඇදහිල්ලේ අතිමහත් ක්‍රියාවකින්, යුදෙව්වන්ව එකතු කර තමා වෙනුවෙන් නිරාහාරව සිටින ලෙස ඇය මොර්දෙකයිගෙන් ඉල්ලා සිටියා. “මමත් මාගේ වැඩකාරියොත් එසේම නිරාහාරව ඉන්නෙමුව,” ඇය මෙසේ කිව්වා, “එවිට නීතියට එකඟ නැති නුමුත් මම රජු ළඟට යන්නෙමි: මා නැතිවුණොත් නැතිවුණාවේ.” 4

ලෞකිකත්වයේ කාච තුළින් බලද්දී, අවසානය ඛේදජනක වියහැකි නමුත්, ගැලවුම්කරුවාණන්ට ඇගේ කතාව ලිවීමට ඉඩදීමට එස්තර් කැමති වුණා. ආශිර්වාද ලත් ලෙස, රජු එස්තර්ව පිළිගත් අතර, පර්සියාවේ සිටි යුදෙව්වන් බේරුණා.

ඇත්තවශයෙන්ම, එස්තර්ගේ ධෛර්යයේ මට්ටම අපෙන් බලාපොරොත්තු වන්නේ කලාතුරකින්. නමුත් දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදීමට, අපේ කතන්දර වල කතුවරයා සහ නිමකරන්නා වීමට උන්වහන්සේට ඉඩදීම සඳහා, උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට සහ අප විසින් තබා ඇති ගිවිසුම් පවත්වාගැනීම අවශ්‍ය වෙනවා. ශුද්ධාත්මයාණන් තුළින් එළිදරව් ලැබීමට අපට සන්නිවේදන මාර්ගය විවෘත කරන්නේ අපගේ ආඥා හා ගිවිසුම් තබාගැනීම තුළිනුයි. ඒවගේම අප සමඟ අපගේ කතන්දර ලියමින් සිටින, ස්වාමියාගේ හස්තය අපට දැනෙන්නේ ආත්මයාණන්ගේ ප්‍රකාශනයන් තුළින්.

2021 අප්‍රියෙල් මාසයේදී, අපේ අනාගතවක්තෘවරයා වූ, සභාපති රසල් එම්. නෙල්සන් විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි වැඩි ඇදහිල්ලක් අපිට තිබුනානම් අපට කුමක් කළ හැකිවේදැයි සලකා බලන ලෙස අපෙන් ඉල්ලා සිටියා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ වැඩි ඇදහිල්ලක් ඇතිව, අපට පිළිතුර නොදන්නා ප්‍රශ්නයක් අසන්නට පුළුවන්—සත්‍යය ගැන සාක්ෂි දරන, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් පිළිතුරක් එවන්නැයි අපේ ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේගෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඉල්ලන්න. අපට වැඩි ඇදහිල්ලක් තිබුනේ නම්, අපි ප්‍රශ්නය අසන අතර, පසුව අපට ලැබෙන පිළිතුර අපගේ සුවපහසු කතාවට නොගැලපෙන නමුත් අපි එය පිළිගැනීමට කැමතිවෙයි. තවද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ක්‍රියාකිරීමෙන් ලැබෙන පොරොන්දු වූ ආශිර්වාදය නම් අපගේ කතුවරයා සහ අවසන් කරන්නා වශයෙන් උන්වහන්සේ කෙරෙහි අපේ ඇදහිල්ල වැඩිවීමයි. සභාපති නෙල්සන් මෙසේ ප්‍රකාශ කළා අපි “වැඩි ඇදහිල්ලක් අවශ්‍ය දෙයක් කිරීමෙන් අපට වැඩි ඇදහිල්ලක් ලැබේ.” 5

එසේ නම්, මදසරුබාවයෙන් පෙළෙන දරුවන් නොමැති යුවළක්, ඔවුන් විසින් ඔවුන් සඳහා ලියා ඇති කතාවේ ආශ්චර්යමත් දරු උපතක් ඇතුළත් කර තිබුණත්, ඔවුන් දරුවන් හදාගැනීමට ගතයුතුදැයි එම පිළිතුර පිළිගැනීමට කැමැත්තෙන් ඇදහිල්ලෙන් අසයි.

ජ්‍යෙෂ්ඨ යුවළක් විසින් ඔවුන් සඳහා ලියන ලද කතාවේ රැකියාවක් කරන කාලය තුළ තවත් කාලයක් ඇතුළත් වී තිබුනත්, ධර්මදූත සේවයක් කිරීමට යාමට සුදුසු වෙලාව දැන්ද යන වග යාමට කැමැත්ත ඇතිව ඔවුන් අසයි. නැත්නම් සමහරවිට පිළිතුර “තවමත් නැත” විය හැකි අතර, ටික කාලයක් නිවසේ සිටිද්දී ඔවුන්ව තවත් ටික කාලයක් නිවසේදී අවශ්‍ය වූයේ ඇයිද යන්න ඔවුන්ගේ කතාවේ පසු පරිච්ඡේද වලින් ඉගෙනගනියි.

නව යොවුන් වියේ පසුවන තරුණයෙකු හෝ තරුණියක් ඇදහිල්ලෙන් යුතුව තමන් ඉදිරියට යා යුත්තේ ක්‍රීඩාවෙන්ද හෝ ශාස්ත්‍රීයවද හෝ සංගීතයෙන්ද යන්න ඇසිය හැකි අතර, පරිපූර්ණ සාක්ෂිකරුවෙකු වන ශුද්ධාත්මයාණන්ගේ පෙළඹවීම් අනුගමනය කිරිමට කැමති වෙයි.

ගැලවුම්කරුවාණන් අපේ කතා වල කතුවරයා හා අවසන් කරන්නා වීම අපට අවශ්‍ය ඇයි? මක්නිසාද උන්වහන්සේ අපේ හැකියාවන් හොඳින් දන්නා හෙයින්, අපි කිසිදිනෙක නොසිතූ ස්ථාන වලට උන්වහන්සේ අපව ගෙනයයි. උන්වහන්සේ අපව දාවිත් හෝ එස්තර් කෙනෙකු කිරීමට ඉඩ තිබෙනවා. උන්වහන්සේ අපව නම්‍යශීලි කර උන්වහන්සේ හා සමාන වීමට අපව ශෝධනය කරයි. අපි වැඩි ඇදහිල්ලකින් යුතුව ක්‍රියා කරන විට අපට සාක්‍ෂාත් කරගත හැකි දේ තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල වැඩිකරයි.

සහෝදර සහෝදරියනි, වසරකට පෙර අපේ ආදරණීය අනාගතවක්තෘවරයා මෙසේ ඇසුවා: “ඔබේ ජීවිතය තුළ දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදෙන්නට ඔබ කැමතිද? … අනෙක් සෑම අභිලාෂයකට වඩා ප්‍රමුඛස්ථානය ගැනීමට උන්වහන්සේට අවශ්‍ය ඕනෑම දෙයකට ඉඩදීමට ඔබ කැමතිද?” 6 එම අනාවැකි විමසීම් වලට මම නිහතමානීව මෙසේ එකතු කරනවා: “ඔබේ කතාවේ කතුවරයා සහ අවසන් කරන්නා වීමට දෙවියන්වහන්සේට ඔබ ඉඩදෙනවාද?”

අපගේ ක්‍රියාවන් අනුව, අපි දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටගෙන ජීවන පොතින් විනිශ්චය කෙරනු ලබන බව එළිදරව් පොත තුළින් අපි ඉගෙනගන්නවා. 7

අපගේ ජීවිත පොතෙන් අපව විනිශ්චය කරනු ලැබෙයි. අපටම සුව පහසු කතාවක් ලිවීමට අපට තෝරාගන්නට පුළුවන්. නැතහොත් අපේ අනෙකුත් අභිලාෂ වලට වඩා අපි රඟදැක්වීමට උන්වහන්සේ කැමති වන භූමිකාවට ඉඩදෙමින්, අපි සමඟ අපේ කතාව ලිවීමට ප්‍රධාන කතුවරයාට සහ අවසන් කරන්නාට අපට ඉඩදෙන්නට පුළුවන්.

ක්‍රිස්තුස්වහන්සේට ඔබේ කතාවේ කතුවරයා හා අවසන් කරන්නා වන්නට ඉඩදෙන්න!

ශුද්ධාත්මයාණන්වහන්සේට ඔබේ සාක්ෂිකරුවා වන්නට ඉඩදෙන්න!

ඔබ සිටින මාර්ගය සෘජු වන, දෙවියන්වහන්සේ ඉදිරියෙහි වාසය කරන්නට ඔබව ස්වර්ගික නිවස වෙත මගපෙන්වනු ලබන කතාවක් ලියන්න.

සෑම හොඳ කතාවකම කොටසක් වන විපත් සහ පීඩා, ඔබව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත සමීප කර, වඩාත් උන්වහන්සේ හා සමාන වන හේතුවක් කරගන්න.

ස්වර්ගයන් විවෘතව පවතින බව ඔබ හඳුනාගන්නා කතන්දරයක් කියන්න. ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබට ප්‍රකාශ කිරීමට උන්වහන්සේ කැමති බව දැනගෙන, ඔබ පිළිතුර නොදන්නා ප්‍රශ්න අසන්න.

ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන, ඔබේ ආදර්ශකයාව අනුගමනය කරමින් ඔබේ කතාව ඇදහිල්ලේ එකක් කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.