ප්‍රධාන සම්මන්ත්‍රණය
සභාවක අවශ්‍යතාවය
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


සභාවක අවශ්‍යතාවය

අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මගපෙන්වීම මත සහ අධිකාරිය ඇතිව සභාවක ආරම්භය හා අවශ්‍යතාවය, ශුද්ධලියවිලි පද පැහැදිලිව උගන්වනවා.

වසර ගණනාවකට පෙර, ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයෙකු වූ වැඩිහිටි මාර්ක් ඊ. පීටර්සන්, මෙම උදාහරණය සමඟ කතාවක් ආරම්භ කළා.

“කෙනෙත් සහ ඔහුගේ බිරිඳ ලුසිල්, යහපත් අය, අවංකයි ඒවගේම කෙලින් වැඩ කරනවා. කෙසේවතත්, ඔවුන් සභාවට නොයන අතර, ඔවුන්ට සිතෙන්නේ එය නොමැතිව ඔවුන් ප්‍රමාණවත් කියායි. ඔවුන් තම දරුවන්ට අවංකකම සහ ගුණධර්ම උගන්වන අතර සභාවත් ඔවුන් වෙනුවෙන් කරනු ඇත්තේ එයම බව ඔවුන් තමන්ට කියාගන්නවා.

“කෙසේ හෝ, ඔවුන්ගේ පවුලේ විනෝදය සඳහා සති අන්ත අවශ්‍ය බවත්, … [ඒවගේම] සභාවට යාම ඇත්තෙන්ම ඔවුන්ගේ මාර්ගයට බාධාවක් වනු ඇති බවත්, ඔවුන් අවධාරණය කළා.” 1

අද, මගේ පණිවිඩය සැලකිලිමත් වන්නේ සභාවට පැමිණීම හෝ සහභාගී වීම නැවැත්වූ එවැනි යහපත් හා ආගමික අදහස් ඇති මිනිසුන් ගැනයි. 2 මම “සභාවන්” කියන විට, මම එයට සිනගෝග, මුස්ලිම් පල්ලි, හෝ වෙනත් ආගමික සංවිධානද ඇතුළත් කරනවා. රට පුරාම, මේ සියල්ලටම පැමිණීම සැලකිය යුතු ලෙස අඩු වීම ගැන අපි කනස්සල්ලට පත්ව සිටිනවා. 3 කිසියම් හේතුවක් නිසා අපි අපේ සභාවන් අගය කිරීම නැවැත්වුවහොත්, අපි අපේ පෞද්ගලික අධ්‍යාත්මික ජීවිතයට තර්ජනය කරන අතර, දෙවියන්වහන්සේගෙන් වෙන්වන සැලකිය යුතු සංඛ්‍යාවක් නිසා අපේ ජාතීන්ට කරන උන්වහන්සේගේ ආශිර්වාද අඩු වී යයි.

සභාවකට පැමිණීම සහ එහි ක්‍රියා කිරීම අපට යහපත් මිනිසුන් වීමට සහ අන් අයගේ ජීවිත වලට යහපත් බලපෑම් කිරීමට උපකාරී වෙනවා. සභාවේදී ආගමික මූලධර්ම අදාළ කරගත යුතු ආකාරය අපට උගන්වනවා. අපි එකිනෙකාගෙන් ඉගෙනගන්නවා. ඒත්තු ගැන්වීමේ ආදර්ශය දේශනාවකට වඩා බලවත්. ඒ හා සමාන සිත් ඇති අය සමඟ ඇසුරු කිරීමෙන් අපි ශක්තිමත් වෙනවා. සභාවට පැමිණීමේදී සහ සහභාගී වීමේදී, බයිබලයේ පවසන පරිදි, අපේ හදවත් “ආදරයෙන් එකට බැඳෙනවා.” 4

I.

දෙවියන්වහන්සේ ක්‍රිස්තියානුවන්ට බයිබලයෙන් දුන් ශුද්ධලියවිලි සහ නවීන එළිදරව්ව තුළින් සභාවක අවශ්‍යතාවය පැහැදිලිව උගන්වනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් සභාවක් සංවිධානය කළ බවත් සභාවක් උන්වහන්සේගේ කාර්යය උන්වහන්සේගෙන් පසු කරගෙන යන බවට අදහස් කළ බවත් ඒ දෙකම පෙන්නුම් කරනවා. උන්වහන්සේ ප්‍රේරිතවරුන් දොළොස්දෙනෙකු කැඳවා එය මෙහෙයවීමේ අධිකාරිය සහ යතුරු ඔවුන්ට ලබාදුන්නා. ක්‍රිස්තුස්වහන්සේ “සභාවේ ප්‍රධානියා” 5 වන බවත් එහි නිලධාරීන්ව ලබාදී ඇත්තේ “ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණවීම සඳහාත්, දේවසේවයේ කාර්යය පිණිසත්, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිසත්” 6 බව බයිබලය උගන්වනවා. සභාවක ආරම්භය සහ දැන් එහි අවශ්‍යතාවය ගැන නිසැකවම බයිබලයේ පැහැදිලිව තිබෙනවා.

සභා රැස්වීම් වලට සහභාගී වීම ඔවුන්ට උදව් නොකරන බව සමහර අය පවසනවා. සමහරු මෙහෙම කියනවා, “මම අද කිසිවක් ඉගෙනගත්තේ නෑ” හෝ “කිසිවෙකු මට මිත්‍රශීලී වූයේ නෑ” හෝ “මගේ හිත රිදුණා.” පුද්ගලික බලාපොරොත්තු සුන්වීම් කිසිවිටෙකත්, අපට සේවය ලබාගැනීමට නොව සේවය කිරීමට ඉගැන්වූ ක්‍රිස්තුස්වහන්සේගේ දහමෙන් අපව ඈත් නොකළ යුතුයි. 7 මෙය මනසේ තබාගෙන, තවත් සාමාජිකයෙක් ඔහුගේ සභාවට පැමිණීමේ අවධානය ගැන විස්තර කළා:

“අවුරුදු ගණනාවකට පෙර මම සභාවට යාම ගැන මගේ ආකල්පය වෙනස් කළා. මම තවදුරටත් සභාවට යන්නේ මගේ යහපත උදෙසා නොවේ, නමුත් අන් අය ගැන සිතීම සඳහායි. තනිවම වාඩි වී සිටින අයගෙන් කොහොමද කියා අසන්නට, අමුත්තන් පිළිගැනීමට, … පැවරුමක් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට මම අදහස් කරගෙන යනවා. …

“කෙටියෙන් කිවහොත්, මම සෑම සතියකම සභාවට යන්නේ, නිෂ්ක්‍රීය නොවී, ක්‍රියාශීලි වී මිනිසුන්ගේ ජීවිත තුළ යහපත් වෙනසක් ඇතිකිරීමේ අදහසින්.” 8

රූපය
සභාවට පිළිගැනීම

සභාපති ස්පෙන්සර් ඩබ්. කිම්බල් මෙසේ ඉගැන්වුවා “අපි සබත් රැස්වීම් වලට යන්නේ විනෝද වීමට නොවේ නැතිනම් උපදෙස් ලබාගැනීමට පමණක් නොවේ. අපි යන්නේ දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට. එය පුද්ගලික වගකීමක්. … එම සේවාව ඔබට අසාර්ථක ලෙස පෙනෙනවා නම්, අසමත් වී තිබෙන්නේ ඔබ. ඔබ වෙනුවෙන් නමස්කාර කිරීමට වෙන කිසිවෙකුටත් නොහැකියි; ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටීම කළ යුත්තේ ඔබමයි.” 9

සභාවට පැමිණීමට අපගේ හදවත් විවෘත කර අපගේ ප්‍රාණයන් පාරිශුද්ධ කරන්නට පුළුවන්.

රූපය
කොට්ඨාශ මන්ත්‍රණ සභා රැස්වීම

සභාවක අපි සේවය කරන්නේ තනිවම හෝ අපේම ස්ව කැමැත්තෙන් හෝ අපේම අවකාශයේ නොවේ. අපි සාමාන්‍යයෙන් සේවය කරන්නේ කණ්ඩායමක් විදිහටයි. සේවයේ යෙදෙන විට අපි අපගේ වයසේ පුද්ගලවාදයට වඩා ඉහළට යාමට ස්වර්ගයෙන් එවන ලද අවස්ථා අපට හමුවෙනවා. සභාව විසින් මෙහෙයවනු ලබන සේවාව අපගේ අධ්‍යාත්මික වර්ධනය පසුගාමී කළ හැකි පෞද්ගලික ආත්මාර්ථකාමී බවෙන් මිදීමට අපට උපකාරී වෙනවා.

කෙටියෙන් වුවද සඳහන් කළ යුතු, වෙනත් වැදගත් වාසිද එහි තිබෙනවා. සභාවේදී අපි දෙවියන්වහන්සේට සේවය කිරීමට වෙරදරන අපූරු මිනිසුන් සමඟ ඇසුරු කරනවා. මෙය අපගේ ආගමික කටයුතු වලදී අප තනි වී නැති බව අපට මතක්කරදෙනවා. අප සැමට අන් අය සමඟ ආශ්‍රයන් අවශ්‍ය වන අතර, සභාවේ සංගම් යනු අපට සහ අපගේ සහකරුවන්ට සහ දරුවන්ට, අත්විඳිය හැකි හොඳම දෙයක්. එම ආශ්‍රයන් නොමැතිව, දෙමාපියන් ඔවුන්ගේ ඇදහිල්ල තුළ දරුවන් ඇතිදැඩි කිරීමේදී, විශේෂයෙන් දරුවන් සහ ඇදහිලිවන්ත දෙමාපියන් අතර දුෂ්කරතා වැඩිවන බව, පර්යේෂණයන් පෙන්නුම් කරනවා. 10

II.

මෙතෙක්, මම කතා කළේ පොදුවේ සියලුම සභාවන් ගැනයි. ගැලවුම්කරුවාණන්ගේ නැවත පිහිටුවන ලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකත්වය, පැමිණීම, සහ සහභාගී වීම සඳහා වූ විශේෂ හේතු දැන් මම යොමුකරන්නම්.

රූපය
සෝල්ට් ලේක් දේවමාළිගාව

ඇත්තෙන්ම, අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මගපෙන්වීම මත සහ අධිකාරිය ඇතිව සභාවක ආරම්භය හා අවශ්‍යතාවය, පුරාණ හා නූතන ශුද්ධලියවිලි පද පැහැදිලිව උගන්වන බව අපි තහවුරු කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාව පිහිටුවා ඇත්තේ උන්වහන්සේගේ දහමේ පූර්ණභාවය ඉගැන්වීමට සහ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම සඳහා අවශ්‍ය නියෝග ඉටුකිරීම සඳහා උන්වහන්සේගේ පූජක අධිකාරිය සමඟ කටයුතු කිරීමට බවද අපි සාක්ෂි දරනවා. 11 සභාවට පැමිණීම අතහැර තනි අධ්‍යාත්මිකත්වය මත පමණක් විශ්වාසය තබන සාමාජිකයින්, පූජකවරයේ බලය සහ ආශිර්වාද, නැවත පිහිටවූ දහමේ පූර්ණත්වය, සහ එම දහම අදාළ කරගැනීමට පෙළඹවීම් සහ අවස්ථා වන; මෙම ශුභාරංචියේ අත්‍යවශ්‍යතාවයන්ගෙන් වෙන්වී යනවා. තම පවුල සදාකාලික පැවැත්ම සඳහා සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව ඔවුන් අහිමි කරගන්නවා.

නැවත පිහිටුවන ලද සභාවේ තවත් ශ්‍රේෂ්ඨ වාසියක් නම් එය අපට අධ්‍යාත්මික වශයෙන් වර්ධනය වීමට උපකාරී වීමයි. වර්ධනය වීම යනු වෙනස්වීමයි. අධ්‍යාත්මික වශයෙන් මෙහි තේරුම නම් පසුතැවිලි වී ස්වාමින්වහන්සේ වෙත සමීප වීමට උත්සාහ කිරීමයි. නැවත පිහිටුවන ලද සභාවේ අපට පසුතැවිලි වීමට උපකාර වන මූලධර්ම, ක්‍රියාපටිපාටි සහ අනුභාවය ලත් උපකාරකරුවන් සිටිනවා. සාමාජිකත්ව මන්ත්‍රණ සභා තුළ පවා, ඔවුන්ගේ අරමුණ අපරාධ අධිකරණයේ ප්‍රතිඵලය මෙන්, දඬුවම නොවේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් සමාවදීමේ කරුණාව සඳහා සුදුසුකම් ලැබීමට අපට උපකාර කිරීමට සභාවේ සාමාජික මන්ත්‍රණ සභා ආදරයෙන් උත්සාහ කරනවා.

රූපය
ධර්මදූත යුවලයන්
රූපය
දේවමාළිගාව දෙසට ඇවිදයමින්

නැවත පිහිටවූ සභාව විසින් සපයනු ලබන පරාර්ථකාමී සේවය සඳහා වන අභිප්‍රේරණය සහ ව්‍යුහය සැපයීමට පුද්ගල අධ්‍යාත්මිකත්වයට හැකිවන්නේ කලාතුරකින්. ධර්මදූත කැඳවීම් පිළිගැනීම සඳහා තම පාසල් අධ්‍යාපනය හෝ විශ්‍රාමික කටයුතු පසෙකලා සිටින තරුණ තරුණියන් සහ ජ්‍යෙෂ්ඨන් මෙයට කදිම උදාහරණ වෙනවා. ඔවුන් තෝරා නොගත් නුහුරු නුපුරුදු ස්ථාන වල ඔවුන් ධර්මදූතන් ලෙස වැඩ කරනවා. අපි “දේවමාළිගා කාර්යය” ලෙස හඳුන්වන පරාර්ථකාමී සේවයට සහභාගී වන ඇදහිලිවන්ත සාමාජිකයින් සම්බන්ධයෙන්ද එය එසේමයි. එයට අනුග්‍රහය දක්වන, සංවිධානය කරන, සහ මෙහෙයවන සභාව නොමැතිව එවැනි කිසිඳු සේවාවක් කළ නොහැකියි.

අපගේ සාමාජිකයින්ගේ ආගමික ඇදහිල්ල සහ සභා සේවය මඟින් විශාල ප්‍රජාවට ප්‍රයෝජන ලබාදීම සඳහා සහයෝගිතා ප්‍රයත්නයන් තුළ කටයුතු කළ යුතු ආකාරය ඔවුන්ට කියා දී තිබෙනවා. අපේ වර්තමාන සමාජයේ භාවිතාවන් තුළ එතරම් ප්‍රචලිතව පවතින පුද්ගලවාදය තුළ එබඳු අත්දැකීමක් හා සංවර්ධනයක් සිදුවන්නේ නෑ. අපගේ ප්‍රාදේශීය කොට්ඨාශ වල භූගෝලීය සංවිධානය තුළ, අපි වෙනත් ආකාරයකින් තෝරා නොගත් පුද්ගලයින්, අපට උගන්වන සහ අපව පරීක්‍ෂා කරන පුද්ගලයින් සමඟ අපි ඇසුරු කර වැඩ කරනවා.

ආදරය, දයානුකම්පාව, සමාව දීම, සහ ඉවසීම වැනි අධ්‍යාත්මික ගුණාංග ඉගෙනගැනීමට අපට උපකාර කරනවාට අමතරව, විවිධ පසුබිම් හා මනාපයන් ඇති අය සමඟ වැඩ කරන්නේ කෙසේද යන්න ඉගෙනගැනීමට මෙය අපට අවස්ථා සලසනවා. ඔවුන්ගේ සහභාගීත්වයේ මෙම වාසිය තුළින්, අපගේ බොහෝ සාමාජිකයින් සහ බොහෝ සංවිධාන ආශිර්වාද ලබා තිබෙනවා. සහයෝගිතා ප්‍රයත්නයන්හි නායකත්වය දීමට හා එක්සත් වීමට ඇති හැකියාව නිසා පසුදවස් වල ශුද්ධවන්තයින් ප්‍රසිද්ධ වී තිබෙනවා. එම සම්ප්‍රදායේ මූලාරම්භය වූයේ බටහිර ඉන්ටර්මවුන්ටන් ජනපදයේ, පොදු යහපත උදෙසා පරාර්ථකාමී සහයෝගීතාවයේ අපේ වටිනා සම්ප්‍රදාය තහවුරු කළ අපේ නිර්භීත පුරෝගාමීන්ගෙනුයි.

රූපය
Helping Hands ව්‍යාපෘතිය

බොහෝ මානුෂීය හා පුණ්‍යායතන ප්‍රයත්නයන් සාර්ථක කරගත යුත්තේ පුද්ගල සම්පත් මහා පරිමාණයෙන් එකතු කර කළමනාකරණය කිරීමෙනුයි. ලොව පුරා ඇති අතිමහත් මානුෂීය උත්සාහයන් සමඟ නැවත පිහිටුවන ලද සභාව මෙය කරනවා. මේවාට අධ්‍යාපනික හා වෛද්‍ය සැපයුම් බෙදාහැරීම, කුසගින්නෙන් පෙළෙන අයට ආහාර දීම, සරණාගතයින් රැකබලාගැනීම, ඇබ්බැහි වීමේ ප්‍රතිවිපාක ආපසු හැරවීමට උදව් කිරීම, සහ තවත් බොහෝ දේ ඇතුළත් වෙනවා. අපේ සභාවේ සාමාජිකයින් ස්වාභාවික විපත් වලදී Helping Hands ව්‍යාපෘති සඳහා ප්‍රසිද්ධයි. සභා සාමාජිකත්වය එවැනි මහා පරිමාණ ප්‍රයත්නයන්හි කොටස්කරුවන් වීමට අපට ඉඩ සලසනවා. සාමාජිකයින් තම තමන් අතර සිටින දුප්පතුන්ට උපකාර කිරීම සඳහා නිරාහාර පරිත්‍යාගද ගෙවනවා.

රූපය
සක්‍රමේන්තුව ලබාගැනීම

ශුද්ධාත්මයාණන්වහන්සේගේ හවුල තුළින් සාමය හා ප්‍රීතිය දැනීමට අමතරව, සභාවට සහභාගී වන අපගේ සාමාජිකයින්, ප්‍රඥාවේ වචනය අනුව ජීවත් වීමේ ආශිර්වාදය සහ දසයෙන් කොටසේ නීතිය අනුව ජීවත් වීම සඳහා පොරොන්දු වූ ද්‍රව්‍යමය හා අධ්‍යාත්මික සෞභාග්‍යය වැනි ශුභාරංචිය අනුව ජීවත්වීමේ ඵල භුක්ති විඳිනවා. ආනුභාව ලත් නායකයින්ගේ උපදෙස් වල ආශිර්වාදයද අපට තිබෙනවා.

මේ සියලු දෙයකම වැදගත්ම දේවල් වන්නේ, සෑම සබත් දිනකම අපි ලබාගන්නා සක්‍රමේන්තුව ඇතුළු, සදාකාලය සඳහා අත්‍යවශ්‍ය වන අධිකාරිත්වය ඇති පූජකවර නියෝගයන්. නැවත පිහිටුවන ලද සභාවේ උච්චතම නියෝගය වන්නේ, මහිමාන්විත පවුල් සබඳතා අඛණ්ඩව පවත්වා ගැනීමට හැකියාව ලබාදෙන, විවාහයේ සදාකාලික ගිවිසුමයි. සභාපති රසල් එම්. නෙල්සන් මෙම මූලධර්මය මතක සිටින ලෙස ඉගැන්වුවා. ඔහු මෙහෙම කිව්වා: “දෙවියන්වහන්සේ ඉදිරියට අපගේ ගමන අපිට ප්‍රාර්ථනා කරන්නට බැහැ. [එම ආශිර්වාදය] ප්‍රකාශ කරන නීති වලට අපි කීකරු විය යුතුයි.” 12

එම නීතියෙන් එකක් නම් සෑම සබත් දිනකම සභාවේ නමස්කාර කිරීමයි. 13 අපගේ නමස්කාරය සහ සදාකාලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අපව දෙවියන්වහන්සේ වෙත සමීප කරවන අතර ප්‍රේම කිරීමේ අපගේ හැකියාවද විශාල කරනවා. ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා මෙම මූලධර්ම පැහැදිලි කළ විට තමාට දැනුණු හැඟීම විස්තර කරමින්, මෙම කාලපරිච්ඡේදයේ මුල් ප්‍රේරිතවරුන්ගෙන් කෙනෙක් වන පාර්ලි පී. ප්‍රැට් මෙසේ විස්තර කළා: “ඇත්තෙන්ම දෙවියන්වහන්සේ මගේ ස්වර්ගික පියාණන් බවත්; යේසුස්වහන්සේ මගේ සහෝදරයා බවත්, මගේ ළයෙහි බිරිඳ අමරණීය, සහ සදාකාලික සහකාරියක් බවත්: සහනයක් සහ සදාකාලයෙන් සදාකාලයට මහිමයේ ඔටුන්නක් ලෙස මා හට දෙන ලද, කරුණාවන්ත, දේවසේවා දේවදූතයෙක් බවත් මට දැනුණා. කෙටියෙන් කිවහොත්, මට දැන් ආත්මයාණන්ගෙන් හා අවබෝධයෙන් ප්‍රේම කරන්නට පුළුවන්.” 14

අවසානයේදී, සභාවක් තුළින් පමණක් යහපත කළ හැකි යැයි අපි විශ්වාස නොකරන බව මම සියල්ලන්ටම මතක්කරනවා. සභාවකට නොබැඳි, මිලියන ගණනක් ජනයා ගණන් කළ නොහැකි තරම් යහපත් ක්‍රියාවන්ට සහයෝගය දැක්වීම සහ ක්‍රියාත්මක වීම අපට දැකගන්නට පුළුවන්. පසුදවස් වල ශුද්ධවන්තයින් පුද්ගලිකව ඒවායෙන් බොහෝ ගණනකට සහභාගී වෙනවා. මෙම ක්‍රියාවන් අපි දකින්නේ “ලෝකයට පැමිණෙන සෑම මනුෂ්‍යයෙකුටම ආත්මයාණන්වහන්සේ ලබාදෙන ආලෝකය” යන සදාකාලික සත්‍යයේ ප්‍රකාශනයක් ලෙසයි. 15

සභාවකින් තොරව ඉටුකළ හැකි යහපත් ක්‍රියා තිබියදීත්, දහමේ පූර්ණභාවය සහ එහි ගැලවීමේ සහ උත්කර්ෂයේ නියෝග ලබාගත හැක්කේ නැවත පිහිටුවන ලද සභාවෙන් පමණයි. ඊට අමතරව, සභාවට පැමිණීම, අපට වෙනත් ඇදහිලිවන්තයන් සමඟ ඇසුරු කිරීමෙන් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වඩා හොඳ ගෝලයන් වීමට සහ ගිවිසුම් මාවතේ රැඳී සිටීමට උත්සාහ කරන අනෙකුත් අය සමඟ එකට එක්ව වන්දනා කිරීමෙන් අපට ලැබෙන ඇදහිල්ලේ වර්ධනය සහ ශක්තිය ලබාදෙනවා. දෙවියන්වහන්සේගේ දීමනා වලින් ශ්‍රේෂ්ඨතම දීමනාව වන, සදාකාලික ජීවිතය අපි සොයන අතරතුර, මෙම සභා අත්දැකීම් තුළ අපි සියල්ලන්ම ස්ථිර වන ලෙස මම යාච්ඤා කරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.