ප්‍රධාන සම්මන්ත්‍රණය
ඔබේ ප්‍රීතිය කෙතරම් මහත් වනු ඇත්ද
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඔබේ ප්‍රීතිය කෙතරම් මහත් වනු ඇත්ද

ඔබේ ප්‍රායෝගික දැනුම ඔබ බොහෝ වාරයක් බෙදාගෙන ඇති සාක්ෂි සමඟ එකතු කරමින්, ධර්මදූත සේවයක් කරන ලෙස මම දැන් ඔබට ආරාධනා කරනවා.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, සභාපති නෙල්සන් විසින් ඉශ්‍රායෙලය එක් රැස් කිරීම ගැන කළ කථාවකට මගේ සිතුවිලි දිව යනවා. “අද පොළොව මත සිදුවන ඉතාම වැදගත් දේ එයයි. අන් කිසිවක් එහි විශාලත්වයෙන් සැසඳිය නොහැකිය, අන් කිසිවක් එහි වැදගත්කමින් සැසඳිය නොහැකිය, අන් කිසිවක් එම තේජාන්විත බවට සමාන නොවේ.”1

මෙම එක් රැස් කිරීම “දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රාණයන්ගේ වටිනාකම ශ්‍රේෂ්ඨය” යන වැකියෙහි මහත් පිළිගැනීමයි.2 එය ඒ තරම්ම සරලයි. අපි මේ අන්තිම දවස්වල දෙවියන්වහන්සේගේ දරුවන්ව එක් රැස් කරන්නේ ඔවුන්ට “ඔවුන්ගේ හිස මත ආශිර්වාද වැගිරීමට”3 සහ “සදාකාලික ධනය”4 පිළිබඳ පොරොන්දුව ලබාගැනීම සඳහායි. ඊශ්‍රායෙල්වරුන් එක්රැස් කිරීමට අපට ධර්මදූතයන් අවශ්‍ය බව—දැනට සේවය කරනවාට වඩා වැඩි ගණනක් අවශ්‍ය බව එයින් කියවෙනවා.5 ධර්මදූතවරුන් ලෙස සේවය කළ හැකි සභාවේ පළපුරුදු බොහෝ ජ්‍යෙෂ්ඨයන් කෙරෙහි අද මම කතා කරනවා. ස්වාමින්වහන්සේට ඔබව අවශ්‍යයි. අපට ඔබව නිව් යෝර්ක් සහ චිකාගෝ හි, ඕස්ට්‍රේලියාවේ සහ අප්‍රිකාවෙහි, තායිලන්තයේ සහ මෙක්සිකෝවෙහි සහ ඒ අතර සෑම තැනකම අවශ්‍ය වෙනවා.

මට ඔබව නැවත 2015 වසරට ගෙන යාමට ඉඩ දෙන්න. එතකොට මම ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයට අලුතින් කැඳවනු ලැබූ සාමාජිකයෙක්. ප්‍රේරිතවරුන් වශයෙන් අප දරන එක් අපූරු වගකීමක් තමයි ධර්මදූතවරුන්ව ඔවුන්ගේ ශ්‍රම ක්ෂේත්‍රවලට පැවරීම. හැත්තෑවරයෙකු ලෙසත් මම මේ කාර්යයට සහභාගී වෙලා තිබෙනවා,6 නමුත් දැන්, ප්‍රේරිතවරයෙකු ලෙස මේ පැවරුමේ සම්පූර්ණ බර මට දැනුණා. මම තරුණ වැඩිහිටියන් සහ සහෝදරියන් විශාල සංඛ්‍යාවක්, එකින් එක්කෙනා බැගින්, ලොව පුරා ධර්මදූතවලට යාච්ඤාවෙන් යුතුව ස්ථානගත කිරීමෙන් ආරම්භ කළා. ඊට පස්සේ, මම ජ්‍යේෂ්ඨ යුවලයන් වෙත හැරුණා. ලැයිස්තුවේ දහ දෙනෙක් හිටියා. ගොඩක් දෙනෙක් හිටියෙ නෑ. මම පුදුම වෙලා, ධර්මදූත දෙපාර්තමේන්තුවේ මගේ සහකරුගෙන් මෙහෙම ඇහුවා, “ලැබී තිබෙන ඉල්ලීම් පුරවන්න අපිට මේ සතියෙ කී දෙනෙක් අවශ්‍යද?”

ඔහු “300” ලෙස පිළිතුරු දුන්නා

එම නිහඬ මොහොත මා සමඟ රැඳී තිබෙනවා: ඉල්ලීම් 300ක් පිරවීමට යුවල 10ක්.

යුවලයන්ට “ඔවුන්ගේ දණින් වැටී ඔවුන්ට එකතු වී ධර්මදූතයක සේවය කරන්නට දැන් කාලය හරිද කියා අසන ලෙස” සභාපති රසල් එම්. නෙල්සන් ඔවුන්ව දිරිමත් කර තිබෙනවා.7 සියලුම සුදුසුකම් අතරින්, “සේවය කිරීමට ඇති ආශාව වඩාත් වැදගත් වෙන්න පුළුවන්” කියා ඔහු කිව්වා.8

ශුද්ධලියවිලි මෙහෙම කියනවා, “දෙවියන්වහන්සේට සේවය කිරීමට ඔබට කැමැත්තක් ඇතිනම් එම කාර්යය සඳහා ඔබව කැඳවන ඇති සේක.”9 මේ කාර්යය ඇත්තෙන්ම අස්වැන්න නෙලා ගැනීමේ නීතිය ගැන දෙයක්. “වපුරන්නාත් කපන්නාත් එක්ව සන්තෝෂවන පිණිසය”10 ලෙස අපි යොහන් පොතේ කියවනවා.

අස්වැන්න පිළිබඳ නීතිය මගේ පවුල තුළම ඉටු වී තිබෙන ආකාරය මම දැකලා තිබෙනවා.

මීට වසර කිහිපයකට පෙර මම පවුලේ අය බැලීමට යමින් සිටියදී සභානායකවරයා මගෙන් සක්‍රමේන්තු සේවය අවසන් කරන ලෙස ඉල්ලා සිටියා.11 මම දේශනා කූඩුවෙන් බහිනකොටම කාන්තාවක් එයාගේ ළමයි හත්දෙනා එක්ක මගේ ළඟට ඇවිත් ඇය රෙබෙකා ගුස්මාන් බව හඳුන්වා දුන්නා.

ඇය මෙහෙම ඇසුවා, “වැඩිහිටි රස්බෑන්ඩ්, ඔබ රුලෝන් සහ වර්ඩා රස්බෑන්ඩ්ව දන්නවාද?”

මම දිලිසෙමින්, “ඔවුන් මගේ දෙමාපියන්” කියා පිළිතුරු දුන්නා.

සිඳුවන්න යන්නේ කුමක්ද කියලා ඔයාලට බලාගන්න පුළුවන්. සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ ඇයගේ පවුලේ අය සමඟ මෙහි සිටින රෙබෙකාගේ අවසරය ඇතිව, මම ඇගේ පවුලේ අවුරුදු 25 කට පෙර කතාව බෙදා ගන්නම්.12

රූපය
සහෝදරිය වර්ඩා සහ වැඩිමහල් රුලොන් රස්බෑන්ඩ්.

මගේ දෙමාපියන් වන, වැඩිහිටි රූලොන් සහ වර්ඩා රස්බෑන්ඩ් සහෝදරිය, ෆෝර්ට් ලෝර්ඩඩේල් ෆ්ලොරිඩා ධර්මදූතයේ ජ්‍යෙෂ්ඨ යුවළක් ලෙස සේවය කර තිබුණා.13 ඔවුන් උගන්වන්නට අය සොයමින් සිටි අතර දිව්‍ය මගපෙන්වීම මගින් රෙබෙකාගේ නිවසේ දොරට තට්ටු කළා. ඇය යන්තම් යොවුන් වියේ පසුවූ අතර ඔස්මන්ඩ්ස් සංගීතයට සවන් දීමට ප්‍රිය කළා, විශේෂයෙන් මගේ මිතුරා ඩොනීගේ සංගීතයට—ඔහුත් අද මෙහි සිටිනවා.14 ඇය ඔවුන්ගේ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලට ඇහුම්කන් දුන් අතර ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් බව දැනගෙන තිබුණා. ඔවුන් ගැන වෙනස් දෙයක් ඇති බව ඇයට හැඟුණු අතර, එය ඔවුන්ගේ ආගම විය හැකි යැයි සිතමින්, රෙබෙකා පාසල් පුස්තකාලය තුළ සභාවේ විශ්වාසයන් ගැන පර්යේෂණ කිරීමට වසර දෙකක් ගත කළා. ඉතින්, කාරුණික පෙනුමක් ඇති යුවළක් ඇගේ පවුලේ දොරට තට්ටු කර තමන් පසුදවස්වල ශුද්ධවන්තයින්ගේ ධර්මදූතයින් ලෙස හඳුන්වා දුන් විට, ඇය පුදුම වුණා.

රෙබෙකා පසුව මෙහෙම ලිව්වා “මගේ අම්මා මට කිව්වා ඔවුන්ව ආපසු යවන්න කියලා” , නමුත් මගේ හදවත කිව්වේ ‘එපා’ කියලා. මම ඔවුන්ගේ මුහුණු දෙස බැලුවා, මට මහත් උණුසුමක් හා ආදරයක් දැනුණා. ඒ මතකය තවමත් මගේ ඇස්වලට කඳුළුත් ඒවගේම මගේ හදවතට ගැඹුරු හැඟීම් ද ගෙන එනවා. ”15

රෙබෙකා ඔවුන්ට නිවසට ආරාධනා කර තිබුණා, මගේ ධර්මදූත දෙමාපියන් ඇය සමඟ, ඇගේ බාල සහෝදරියන් දෙදෙනා සමඟත් සහ ඇගේ විරුද්ධත්වයන් නොතකා ඇගේ මව සමඟත් ඒ පණිවිඩයක් බෙදාගත්තා.

රෙබෙකා මට ඒ ගැන විස්තර කළේ මෙහෙමයි, “ඔබේ දෙමාපියන් දෙදෙනාම අපට ඇති ඕනෑම ප්‍රශ්නයක් හරි අපූරු ලෙස පැහැදිලි කළා. මට තවමත් ඔවුන්ගේ මුහුණු ඔවුන් වටා ආලෝකයක් තියෙනවා වගේ පේනවා. හැම වෙලාවෙම ඔබගේ මව පිටත්ව යද්දි අපි ඇයව වැළඳගත්තා, ඒවගේම මගේ මවගේ සුවපහසුව සහ ගෞරවය සඳහා ඇය හැම වෙලාවෙම උපකාර කළා. ඔබේ පියා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අපට උගන්වද්දී ඔහුගේ ඇස්වල නිතරම දීප්තියක් තිබුණා. ඔහු මගේ පියාව සාකච්ඡාවලට ඇතුළත් කර ගැනීමට උත්සාහ කළ අතර අවසානයේ ඔහුව දිනා ගත්තා. මගේ පියා ප්‍රාදේශීය සමාජ ශාලාවක සූපවේදියෙක්, ඉතින් ඔබේ පියාගේ ප්‍රියතම ආහාරයක් වුණු, දෙහි පුඩිම වගේම ඔබේ දෙමාපියන්ට රාත්‍රී ආහාර පිසීමට ඔහු පටන් ගත්තා.16

වැඩිහිටි රස්බෑන්ඩ් සහ එම සහෝදරිය, රෙබෙකාට සහ ඇගේ පවුලේ අයට මොර්මොන්ගේ පොත කියවන්න කියා ඉල්ලා සිටි විට, රෙබෙකා දින පහකින් එය කළා. ඇයට වහාම බව්තීස්ම වීමට අවශ්‍ය වූ නමුත් පවුලේ අනෙක් සාමාජිකයන් සූදානම් වෙලා හිටියෙ නෑ. මාස හතරකට පසු, රෙබෙකා තමා බව්තීස්ම වී සැබෑ සභාවට බැඳිය යුතු බව අවධාරණය කළා. ඇය මෙහෙම මතක් කරනවා, “මගේ ප්‍රාණයේ සෑම තන්තුවක්ම එය සත්‍ය බව දැන සිටියා.”17 1979 අප්‍රියෙල් 5 වැනිදා, ධර්මදූතවරුන් විසින් 19 හැවිරිදි රෙබෙකාව, ඇගේ මවව සහ සහෝදරියන් දෙදෙනාව බව්තීස්ම කළා. මගේ තාත්තා ඒ බව්තීස්මයේ සාක්ෂිකරුවෙක්.

මම රෙබෙකාව සහ ඇගේ පවුලේ අයව සභාවේදී මුණගැහුණම, මා සමඟ අපි ඇයගේ පවුලේ ඡායාරූපයක් ගත්තා. මම එය මගේ වයෝවෘද්ධ මව වෙත ගෙන ගියා, ඇය එය ඇගේ හදවත මත තබා ගත්තා. ඊට පස්සේ ඇය මට කිව්වා “රොනී, මේක මගේ ජීවිතේ සතුටුම දවස්වලින් එකක්” කියලා.

රූපය
ගුස්මන්වරු, රාස්බෑන්ඩ්වරු සහ ඔස්මන්ඩ්වරු.

මගේ මවගේ ප්‍රතිචාරය අපගේ ජ්‍යෙෂ්ඨයන්ට මෙම ප්‍රශ්නය යොමු කරනවා, “ඔබේ ජීවිතයේ මේ අවධියේදී ඔබ කරන්නේ මොනවාද?” අන් කිසිවෙකුට කළ නොහැකි දේ ජ්‍යෙෂ්ඨ ධර්මදූතවරුන්ට කළ හැකි බොහෝ ක්‍රම තිබෙනවා. ඔබ සභාවේ පළපුරුදු ඇති යහපතේ කැපී පෙනෙන බලවේගයක්, ඒවගේම දෙවියන්වහන්සේගේ දරුවන්ව දිරිමත් කරන්න සහ මුදවා ගන්න පුළුවන් අය.

ඔබගෙන් සමහර අය මෙහෙම හිතනවා වෙන්න පුළුවන්, “නමුත් මුණුබුරන් හැර යාම ගැන මොකද කියන්නෙ? අපට පවුලේ විශේෂ සංධිස්තාන, උපන් දින, මිතුරන් සහ සුරතල් සතුන් පවා මග හැරෙයි. මගේ අම්මයි තාත්තයි ධර්මදූත සේවයකට ගියේ ඇයි කියලා මම අම්මගෙන් ඇහුවොත්, එයා මෙහම කියයි, “මට මුණුබුරන් ඉන්නවා. ඔබේ පියා සහ මම ධර්මදූත ක්ෂේත්‍රයේ සේවය කළ බව ඔවුන් දැනගන්නවාට මම කැමතියි, අපිට ඕන උනේ අපේ පරම්පරාවට ආදර්ශයක් වෙන්න, ඉතින් අපි ආශිර්වාදිත වුණා, බොහෝ ආශිර්වාදිත වුණා.

මම ලොව පුරා ධර්මදූතයන් වෙත ගියහම, අපගේ ජ්‍යෙෂ්ඨ ධර්මදූත සේනාංකයේ විශිෂ්ට සේවාව මම දැකලා තිබෙනවා. ඔවුන් “ස්වාමින්වහන්සේගේ කැමැත්ත” කරමින් “ස්වාමින්වහන්සේගේ කාර්යය”18 ගැන සතුටු වන බව පැහැදිලියි.

සමහරුන්ට, සහ ඔබ දහස් ගණනකට, ලෝකයේ වෙනත් කොනක පූර්ණ කාලීන ධර්මදූත සේවය සුදුසු ස්ථානයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.19 අනෙක් අයට, නිවසේදී සභා සේවා ධර්මදූතයක සේවය කිරීම වඩාත් සුදුසු වෙන්න පුළුවන්. සෞඛ්‍ය ගැටලු සහ වෙනත් තත්වයන් නිසා සේවය කිරීමට නොහැකි අයත් ඉන්නවා. අපි එම තත්ත්වයන් තේරෙනවා, ඒවගේම සේවය කරන අයට උදව් කරන්න ඔබ මාර්ග සොයාගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. අනාගතවක්තෘවරයාගේ උපදෙස් පිළිපදින්න, ඔබ කුමක් කරනවාට ස්වාමින්වහන්සේ කැමති වෙනවද කියලා දැනගන්න යාච්ඤා කරන්න.

ලොව පුරා ඇති ධර්මදූත ඔබේ සේවය කාරුණිකව අයැද සිටිනවා. සභාපති රසල් එම්. නෙල්සන් අපගේ ජ්‍යෙෂ්ඨ ධර්මදූතවරුන් ගැන මෙහෙම කියලා තියෙනවා, “ඔවුන් ආත්මයෙන් තරුණයි, ප්‍රඥාවන්තයි ඒවගේම වැඩ කිරීමට කැමැත්තෙන් සිටිනවා.”20

ඒ ක්ෂේත්‍රය තුළ, ඔබට අවස්ථා රාශියක් තිබෙනවා: ඔබට ධර්මදූත කාර්යාලවල හෝ දේවමාළිගා වල සේවය කිරීමට, තරුණ ධර්මදූතවරුන්ව ශක්තිමත් කිරීමට, කුඩා ශාඛා ශක්තිමත් කිරීමට, පවුල් ඉතිහාස මධ්‍යස්ථානවල හෝ ඓතිහාසික ස්ථානවල වැඩ කිරීමට, ආයතනික පන්ති ඉගැන්වීමට, මානුෂීය සේවය සැපයීමට, තරුණ වැඩිහිටියන් සමඟ වැඩ කිරීමට, රැකියා මධ්‍යස්ථාන වල හෝ සභා ගොවිපලවලට උපකාර වීමට පුළුවන්. සේවය කළ හැකි ක්‍රම, ඔබට වඩාත් ගැලපෙන දේ, ඔබට අවශ්‍ය ස්ථාන සහ ඔබට යාමට සූදානම් විය හැකි ආකාරය පිළිබඳ විස්තර “ජ්‍යෙෂ්ඨ ධර්මදූත” වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා.21 ඔබට ඔබේ සභානායකවරයා හෝ ශාඛා සභාපතිවරයා සමඟද කතා කරන්න පුළුවන්.

මම බොහෝ යුවලයන්ව සේවය කිරීමට කැඳවා ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය ඔවුන්ගේ මුහුණුවරෙහි පිරෙන ආකාරය දෙස බලා හිඳ තිබෙනවා.22 ඔවුන් ස්වාමින්වහන්සේට සමීප වීම සහ එකිනෙකාට සමීප වීම ගැන, ස්වාමින්වහන්සේගේ ආත්මය ඔවුන් මත වැගිරෙන බව දැනීම ගැන සහ ඔවුන් වෙනසක් කරන බව දැනගත් ආකාරය ගැන ඔවුන් ආපසු පැමිණීමේදී විස්තර කර තිබෙනවා.23 එය අවශ්‍ය නැත්තෙ කාටද?

ධර්මදූතයක් කියන්නෙ යුවලකගේ ජීවිතයේ උතුම්ම පරිච්ඡේදයක් වෙන්න පුළුවන්. “මගේ ස්වාමින්වහන්සේට මාව අවශ්‍ය වනු ඇත”24 කියන්නෙ හොඳ මාතෘකාවක්. ඔබ නුහුරු නුපුරුදු භූමියක ඉන්නවා වෙන්න පුළුවන්, ඒ කොහොම වුණත්, ආත්මයාණන්වහන්සේගේ බලය ඔබට ගෙදර ඉන්නවා මෙන් දැනීමට සලස්වයි.

මගේ දෙමාපියන් සහ නැවත පැමිණි ධර්මදූත යුවල දස දහස් ගණනක් ධර්මදූත සේවයෙන් ඔවුන් ලැබූ ප්‍රීතිය පිළිබඳ සාක්ෂි බෙදාගෙන තිබෙනවා. ස්වාමින්වහන්සේ පසුදවස්වල ශුද්ධලියවිල්ලේ මෙසේ පවසා තිබෙනවා, “තවද නුඹලාගේ සියලු දවස් වලදී මෙම ජනතාව හට පසුතැවිල්ල වෙතට මොරගැසීමට නුඹලා වෙහෙසවිය යුතු වන්නේ නම්, සහ මා වෙතට ගෙන එන එක් ප්‍රාණයක් වෙනුවෙන්, මාගේ පියාණන්වහන්සේගේ රාජ්‍යය තුළ නුඹලාගේ ප්‍රීතිය කෙතරම් මහත් වන්නේද!”25

ධර්මදූත “කෙතෙහි” සේවය කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ කාව්‍යමය විස්තරයක් යෙසායා අපට ලබා දී තිබෙනවා. “එම කෙත ලෝකය” බව ශුද්ධලියවිලි අපට කියනවා.26 මෙම ශ්‍රේෂ්ඨ පුරාණ අනාගතවක්තෘවරයා මෙහෙම ලිව්වා: “මක්නිසාද නුඹලා ප්‍රීතියෙන් පිටත්ව සමාදානයෙන් ගෙනයනු ලබන්නහුය. නුඹලාට ඉදිරියෙන් කඳු හා හෙල් ගී නාද කරන්නෝය, වනයේ සියලු ගස් අත්පොළසන් දෙන්නෝය.”27 කඳු, කෙත්වතු සහ ගස් ධර්මදූත සභාපතිවරුන්, සභානායකවරුන්, දිස්ත්‍රික් නායකයන්, සාමාජිකයන් සහ සත්‍යය සොයන නමුත් “එය සොයාගත හැක්කේ කොතැනදැයි ඔවුන් නොදන්නා” අයට සමාන කළ හැකියි.28 ජ්‍යෙෂ්ඨ ධර්මදූතයන් අපගේ ගැලවුම්කරු සහ මිදුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔවුන්ගේ සාක්ෂිය සමඟින් භූ දර්ශනයම වෙනස් කරන බවට ඔවුන් සාක්ෂි දරනවා ඇත.

ඉශ්‍රායෙලය එක්රැස් කිරීමේ ධර්මදූතවරයෙකු ලෙස සේවය කරන ලෙසත් සමහර විට නැවත සේවය කරන ලෙසත්, ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරයෙකු ලෙස, මම ඔබෙන් ඉල්ලා සිටිනවා අපට ඔබව අවශ්‍යයි—අපට ඔබව අවශ්‍යයි. ජ්‍යේෂ්ඨයිනි, ඔබ ගෙවූ ජීවිත සහ ඔබේ නිවෙස්වල, කොට්ඨාශවල සහ ස්ටේකවල ඔබ තබා ඇති ආදර්ශය ගැන ඔබට අපි කෘතඥ වෙනවා. ඔබේ ප්‍රායෝගික දැනුම ඔබ බොහෝ වාරයක් බෙදාගෙන ඇති සාක්ෂි සමඟ එකතු කරමින්, ධර්මදූත සේවයක් කරන ලෙස මම දැන් ඔබට ආරාධනා කරනවා. මම ඊළඟ වතාවේ ජ්‍යේෂ්ඨ යුවලයන්ව පැවරීමට අසුන් ගන්නා විට ඔබේ කැඳවීම එනතුරු ඔබ සිය ගණනක් නොඉවසිල්ලෙන් බලා සිටිනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා.

ඔබ සේවය කරන විට ඔබේ ජීවිතය තුළ ස්වාමින්වහන්සේගේ ප්‍රේමය දැනෙනු ඇති බවටද ඔබ උන්වහන්සේව හඳුනාගනු ඇති බවටද, උන්වහන්සේ ඔබව හඳුනාගනු ඇති බවටද, මම පොරොන්දු වෙනවා, එමෙන්ම එවිට “ඔබේ ප්‍රීතිය කෙතරම් මහත් වනු ඇත්ද.”29 යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඔබ කැප වූ සේවය ඔබේ පවුලට, ඔබේ මුණුබුරන්ට සහ මී මුණුබුරන්ට පෙළඹවීමක් සහ ආශිර්වාදයක් වෙයි. ඉදිරි වසර ගණනාව තුළ ඔවුන්ගේ ජීවිත තුළ “සාමය සහ ප්‍රේමය [බොහෝ වැඩි වෙයි]”30. මම පොරොන්දු වෙනවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. Russell M. Nelson, “Hope of Israel” (worldwide youth devotional, June 3, 2018), Gospel Library.

  2. දහම සහ ගිවිසුම් 18:10.

  3. 3 නෙපී 10:18.

  4. දහම සහ ගිවිසුම් 78:18.

  5. උතුරු සහ දකුණු අමෙරිකාවේ සිට යුරෝපය සහ අප්‍රිකාව, ආසියාව සහ ඕස්ට්‍රේලියාව/ඕෂනියාව දක්වා සභාවේ ලොව පුරා ධර්මදූත 414 ක ධර්මදූතවරුන් 71,000 ක් ඇත. සභාවේ ජ්‍යෙෂ්ඨ සේවා ධර්මදූතවරු 34,000ක් සිටිති. (ධර්මදූත දෙපාර්තමේන්තුවේ දත්ත, සැප්තැම්බර් 2023.)

  6. බලන්න “The Divine Call of a Missionary,” Liahona, May 2010.52–53.

  7. රසල් එම්. නෙල්සන්, “Senior Missionary Moments,” Liahona, Apr. 2016, 27.

  8. Russell M. Nelson, “Senior Missionaries and the Gospel,” Liahona, Nov. 2004, 81.

  9. දහම සහ ගිවිසුම් 4:3.

  10. යොහාන් 4:36.

  11. මම 2006 අප්‍රියෙල් මාසයේ අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් හි, මගේ මිණිබිරිය බෘක්ලින්ගේ බව්තීස්මයට සහ මිණිබිරිය එලාගේ ආශිර්වාදයට සහභාගි වෙමින් සිටියෙමි.

  12. රෙබෙකා ගුස්මාන් විසින් වැඩිහිටි රොනල්ඩ් ඒ. රස්බෑන්ඩ් වෙත ලිපියක්, සැප්තැම්බර් 8, 2009.

  13. මගේ දෙමාපියන් 1979 දී ෆෝර්ට් ලෝර්ඩඩේල් ෆ්ලොරිඩා ධර්මදූතයෙහි සේවය කළෝය.

  14. ඔස්මන්ඩ් පවුල යනු ඔවුන්ගේ පොප් ගීත සඳහා ප්‍රසිද්ධ ජනප්‍රිය ඇමරිකානු සංගීත කණ්ඩායමකි. මෙම කණ්ඩායම 1970 දශකයේ මැද භාගයේදී රූපවාහිනී විවිධ සංදර්ශනවල රඟ දක්වමින් කීර්තියේ උච්චතම ස්ථානයට පැමිණියේය. ඩොනී සහ මාරි වේදිකා වෘත්තීන් සමඟ රූපවාහිනිය දිගටම කරගෙන ගිය අතර සහෝදරයන් මිසූරි හි බ්‍රැන්සන් හි කලාකරුවන් ලෙස දශක ගණනාවක් රඟ දැක්වීය.

  15. රෙබෙකා ගුස්මන් වෙතින් ලැබුණු ලිපිය, 2009 සැප්තැම්බර් 8.

  16. රෙබෙකා ගුස්මන් වෙතින් ලැබුණු ලිපිය, 2007 සැප්තැම්බර් 8.

  17. රෙබෙකා ගුස්මන් වෙතින් ලැබුණු ලිපිය, 2007 සැප්තැම්බර් 8.

  18. දහම සහ ගිවිසුම් 64:29.

  19. ජ්‍යෙෂ්ඨ ධර්මදූත අවස්ථා විවිධ ආකාර ගන්නා අතර, යුවලයන්ට හෝ ජ්‍යෙෂ්ඨ සහෝදරියන්ට මනාප මෙන්ම පූර්ණ කාලීන හෝ සභා සේවා පැවරුමක් ලැයිස්තුගත කළ හැක. අවසානයේදී, සභාවේ අනාගතවක්තෘවරයා පූර්ණ කාලීන සේවය සඳහා කැඳවීම නිකුත් කරයි. ස්ටේක සභාපතිවරුන් විසින් සභා සේවා පැවරුම් නිකුත් කරති. සේවය මාස 6 සිට මාස 23 දක්වා පරාසයක පැවතිය හැකි අතර, ජ්‍යෙෂ්ඨ ධර්මදූතවරුන්ට තරුණ ධර්මදූතවරුන්ට වඩා නම්‍යශීලී, අඩු වෙහෙසකාරී ක්‍රියාකාරකම් ඇත. බලන්න seniormissionary.ChurchofJesusChrist.org.

  20. Russell M. Nelson, “Senior Missionaries and the Gospel,” Liahona, Nov. 2004, 79.

  21. බලන්න seniormissionary.ChurchofJesusChrist.org.

  22. බලන්න ඇල්මා 5:14. පුද්ගලයාගේ අධ්‍යාත්මික ආකල්ප සහ මානසික තත්ත්වය පිළිබිඹු කිරීමක් ලෙස “මුහුණුවර” විස්තර කළ හැක.

  23. බලන්න යූදස් 1:22; මොසායා 4:20.

  24. බලන්න “I’ll Go Where You Want Me to Go,” Hymns, no. 270.

  25. දහම සහ ගිවිසුම් 18:15.

  26. ස්වාමින්වහන්සේ මෙසේ පැහැදිලි කළේය, “කෙත නම් ලෝකයය; … නෙලාගැනීම ලෝකාන්තිමය වන්නේය.”(මතෙව් 13:38–39).

  27. යෙසායා 55:12.

  28. දහම සහ ගිවිසුම් 123:12.

  29. දහම සහ ගිවිසුම් 18:15.

  30. යූදස් 1:2.