ප්‍රධාන සම්මන්ත්‍රණය
ඔවුන් ඔබවහන්සේව දැනගන්නා පිණිසය
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඔවුන් ඔබවහන්සේව දැනගන්නා පිණිසය

(යොහාන් 17:3)

ඔබ යේසුස්වහන්සේගේ බොහෝ නම් වලින් උන්වහන්සේව දැන හඳුනාගෙන, ඔබ උන්වහන්සේ හා සමාන වීම මාගේ දැඩි ආශාවයි.

මීට වසර කිහිපයකට පෙර, ඇරිසෝනා හි අපගේ නිවස අයත් කොට්ටාශයේ පැවති සක්‍රමේන්තු රැස්වීමකදී මට ජීවිතය වෙනස් කරන අත්දැකීමක් ලැබුණා. සක්‍රමේන්තු යාච්ඤාවෙන් “[යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ] නාමය [අප වෙත] ගැනීමට”1 අපගේ කැමැත්ත සඳහන් කළ විටම යේසුස්වහන්සේට බොහෝ නම් ඇති බව ශුද්ධාත්මයාණන්වහන්සේ මට මතක් කර දුන්නා. එවිට මෙම ප්‍රශ්ණය මගේ හදවතට දැණුනා: “මේ සතියේ මා ගත යුත්තේ යේසුස්වහන්සේගේ නම් වලින් කුමන නාමයද?”

නම් තුනක් මගේ මතකයට පැමිණි විට, මම ඒවා ලියාගත්තා. ඒ නම් තුනෙන් සෑම නමකම මට වඩාත් හොඳින් වර්ධනය කිරීමට අවශ්‍ය වූ ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංග අඩංගු වුණා. ඊළඟ සතියේ මම එම නම් තුන කෙරෙහි අවධානය යොමු කර ඒවායේ අනුරූප ගුණාංග සහ ලක්ෂණ වැළඳ ගැනීමට උත්සාහ කළා. එතැන් සිට, මම මගේ පුද්ගලික නමස්කාරයේ කොටසක් ලෙස එම ප්‍රශ්නය දිගටම මගෙන් ඇසුවා: “මේ සතියේ මා ගත යුත්තේ යේසුස්වහන්සේගේ නම් වලින් කුමන නාමයද?” එම ප්‍රශ්නයට පිළිතුරු දීම සහ ඒ හා සම්බන්ධ ක්‍රිස්තුස් වැනි ගුණාංග වර්ධනය කර ගැනීමට උත්සාහ කිරීම මගේ ජීවිතයට ආශිර්වාද කර තිබෙනවා.

උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ මැදිහත්වීමේ යාච්ඤාවේදී යේසුස්වහන්සේ මෙම වැදගත් සත්‍යය ප්‍රකාශ කළා: “සදාකාල ජීවනය නම් මෙයය, එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැන්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ඔවුන් විසින් ඇඳිනගැනීමය”.2 අද මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව බොහෝ නම්වලින් දැනගැනීමෙන් ලැබෙන ආශිර්වාද සහ බලය ඔබ සමඟ බෙදා ගැනීමට කැමැතියි.

අපි කෙනෙකුව දැන හඳුනාගන්නා එක් සරල ක්‍රමයක් වන්නේ ඔවුන්ගේ නම ඉගෙන ගැනීමයි. “පුද්ගලයෙකුගේ නම එම පුද්ගලයාට ඕනෑම භාෂාවක මිහිරිම හා වැදගත්ම ශබ්දයයි” කියා පවසා තිබෙනවා.3 යමෙකුට වැරදි නමකින් කතා කිරීම හෝ ඔහුගේ නම අමතක වීම වැනි අත්දැකීම් ඔබට තිබෙනවාද? මගේ බිරිඳ ඇලෙක්සිස් සහ මම සමහර අවස්ථාවකදී අපේ දරුවෙකුට “ලෝලා” කියා කතා කළා. අවාසනාවකට, ඔබ අනුමාන කළ පරිදි, ලෝලා කියන්නේ අපේ බල්ලා! හොඳකට හෝ නරකට කෙනෙකුගේ නම අමතක වීමෙන් සන්නිවේදනය වන්නේ ඔබ එම පුද්ගලයාව හොඳින් නොදන්නා බවයි.

යේසුස්වහන්සේ මිනිසුන්ව දැන සිටි අතර ඔවුන්ගේ නමින් උන්වහන්සේ ඔවුන්ට කතා කළා. පුරාණ ඊශ්‍රායෙලයට උන්වහන්සේ මෙසේ පැවසුවා, “භය නොවන්න, මක්නිසාද මම නුඹ මුදාගතිමි, නුඹේ නම කියා හඬ ගැසීමි; නුඹ මාගේය.”4 පාස්කු දින උදෑසන, නැවත නැගිටි ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ මරියාගේ සාක්ෂිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඇයව නමින් හැඳින්වූ විට ශක්තිමත් වුණා.5 එලෙසම දෙවියන්වහන්සේ ජෝසෆ් ස්මිත්ගේ ඇදහිල්ලෙන් කරන ලද යාච්ඤාවට පිළිතුරු වශයෙන් ඔහුට ඔහුගේ නමින් කතා කළා.6

සමහර අවස්ථාවලදී, යේසුස්වහන්සේ තම ගෝලයන්ට ඔවුන්ගේ ස්වභාවය, හැකියාව සහ විභවය පෙන්නුම් කරන නව නම් ලබා දුන්නා. යෙහෝවාවහන්සේ විසින් යාකොබ්ට ඊශ්‍රායෙල් යන අලුත් නාමය ලබාදුන්නා, එහි අර්ථය “දෙවියන්වහන්සේ සමඟ ජයගන්නා තැනැත්තා” හෝ “දෙවියන්වහන්සේ ජයගනිත්වා” යන්නයි.7 යේසුස්වහන්සේ යාකොබ් සහ යොහාන්ට “ගජර්නාවේ පුත්‍රයන්”8 යන අර්ථය ඇති බොවනගර්ස් යන නාමය ලබා දුන්නා. ඔහුගේ අනාගත නායකත්වය දුටු යේසුස්වහන්සේ සීමොන් හට පර්වතයක් යන අරුත දෙන සීෆස් නොහොත් පේත්‍රැස් යන නම තැබුවා.9

යේසුස්වහන්සේ අප සෑම කෙනෙකුවම නමින් හඳුනනවා සේම, අපට උන්වහන්සේව වඩාත් හොඳින් දැන හඳුනා ගත හැකි එක් ක්‍රමයක් තමයි උන්වහන්සේගේ බොහෝ නම් ඉගෙන ගැනීම. ඊශ්‍රායෙල් සහ පේත්‍රැස්ගේ නම් මෙන්ම, යේසුස්වහන්සේගේ නම් බොහොමයක් උන්වහන්සේගේ මෙහෙවර, අරමුණ, චරිතය සහ ගුණාංග තේරුම් ගැනීමට උපකාර වන මාතෘකා වෙනවා. අපි යේසුස්වහන්සේගේ බොහෝ නම් දැනගත් විට, උන්වහන්සේගේ දිව්‍ය මෙහෙවර සහ උන්වහන්සේගේ පරාර්ථකාමී චරිතය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට අපට හැකි වෙනවා. උන්වහන්සේගේ බොහෝ නම් දැනගැනීම, අපට උන්වහන්සේ හා සමාන වීමටත්—අපගේ ජීවිතයට ප්‍රීතිය සහ අරමුණ ගෙන දෙන ක්‍රිස්තුස්වහන්සේ වැනි ගුණාංග වර්ධනය කර ගැනීමටත් අපව පොලඹවනවා.

වසර කිහිපයකට පෙර, සභාපති රසල් එම්. නෙල්සන්, Topical Guide හි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධ සියලුම ශුද්ධලියවිලි පද අධ්‍යයනය කළා.10 ඉන්පසු ඔහු තරුණ වැඩිහිටියන්ටද මෙම ශුද්ධලියවිලි පද ඉගෙන ගැනීමට ආරාධනා කළා. යේසුස්වහන්සේගේ බොහෝ නම් ගැන සභාපති නෙල්සන් මෙසේ පැවසුවා, “යාච්ඤාපූර්වකව හා දැඩි උනන්දුවෙන් උන්වහන්සේගේ විවිධ මාතෘකා සහ නම් ඔබට පෞද්ගලිකව අදහස් කරන්නේ කුමක්ද යන්න සොයමින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සෑම දෙයක්ම තේරුම් ගැනීමට උත්සාහ කරන්න.”11

සභාපති නෙල්සන්ගේ ආරාධනයට අනුව, මම යේසුස්වහන්සේගේ බොහෝ නම් ඇතුළත් ලැයිස්තුවක් සකස් කිරීමට පටන් ගත්තා. මගේ පුද්ගලික ලැයිස්තුවේ දැන් නම් 300කට වඩා තිබෙනවා, ඒවගේම මා තවම සොයා නොගත් තවත් බොහෝ නම් ඇති බව මට විශ්වාසයි.

යේසුස් වහන්සේගේ සමහර නම් උන්වහන්සේට පමණක් වෙන් කර තිබෙනවා,12 ඒවගේම අප සෑම කෙනෙකුටම අදාළ වන නම් සහ මාතෘකා පහක් බෙදා ගැනීමට මම කැමතියි. ඔබ යේසුස්වහන්සේව උන්වහන්සේගේ බොහෝ නම් වලින් දැන හඳුනා ගන්නා විට ඔබේම ලැයිස්තුවක් සකස් කර ගැනීමට මම ඔබට ආරාධනා කරනවා. එසේ කිරීමෙන්, යේසුස් වහන්සේගේ ගිවිසුම්ගත අනුගාමිකයෙකු ලෙස ඔබ වෙත භාර ගැනීමට ඔබට අවශ්‍ය වන—වෙනත් නම්—එහි අනුරූප ක්‍රිස්තුස් වැනි ගුණාංග සමඟ තිබෙන බව ඔබට පෙනී යයි.13

පළමුව, යේසුස්වහන්සේ කියන්නේ යහපත් එඬේරා යි. 14 ඒ ආකාරයට, යේසුස්වහන්සේ තම බැටළුවන්ව හඳුනන අතර,15 “තමාගේම බැටළුවන්ට නම කියා අඬගසනවා”16 මෙන්ම, දෙවියන්වහන්සේගේ බැටළු පැටවා ලෙස, උන්වහන්සේගේ බැටළුවන් වෙනුවෙන් තම ජීවිතය පූජා කළා.17 ඒ හා සමානව, යේසුස්වහන්සේට අවශ්‍ය වන්නේ, විශේෂයෙන්ම අපේ පවුල් තුළ සහ දේවසේවය කරනු ලබන සහෝදර සහෝදරියන් ලෙස අප යහපත් එඬේරුන් වීමයි. යේසුස්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්නුම් කරන එක් ක්‍රමයක් තමයි උන්වහන්සේගේ බැටළුවන් පෝෂණය කිරීම.18 ඉබාගාතේ යන බැටළුවන් වෙනුවෙන්, යහපත් එඬේරුන්, නැතිවූ බැටළුවන් සොයා ගැනීමට පාළුකරයට ගොස්, ඔවුන් ආරක්ෂිත ස්ථානයට පැමිණෙන තෙක් ඔවුන් සමඟ සිටිනවා.19 යහපත් එඬේරුන් ලෙස මෙන්ම දේශීය තත්වයන් ඉඩ දෙන පරිදි, පුද්ගලයින්ට ඔවුන්ගේ නිවෙස්වල සිට දේවසේවය කිරීමට වැඩි කාලයක් ගත කිරීමට අප උත්සාහ කළ යුතුයි. අපගේ දේවසේවයේදී, කෙටි පණිවුඩ යැවීම සහ තාක්ෂණය, පුද්ගලික සම්බන්ධතා වල උසස් බව වැඩිදියුණු කරගැනීමට මිස, ඒ වෙනුවට භාවිතා කරන දෙයක් නොවිය යුතුයි.20

දෙවනුව, ඉදිරියට සිදුවීමට නියමිත යහපත් දේවල උත්තම පූජකයා යේසුස්වහන්සේ යි.21 තම කුරුසියේ ඇණ ගැසීම පැය කිහිපයකින් සිදුවන බව දැනගත් යේසුස්වහන්සේ මෙසේ පැවසුවා: “මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙයල්ලා; මම ලෝකයෙන් ජයගතිමි.”22 අද, අපගේ ලෝකය තියුණු, එකිනෙකට වෙනස් අදහස් සහිත පුද්ගල කණ්ඩායම් වලින් පිරී බෙදී ඇති බැවින්, ධනාත්මක බව, ශුභවාදී බව සහ බලාපොරොත්තුව දේශනා කිරීමට සහ ප්‍රගුණ කිරීමට අපට විශාල අවශ්‍යතාවයක් තිබෙනවා. අපගේ අතීතයේ කුමන අභියෝග තිබුණත්, ඇදහිල්ල සැමවිටම බලාපොරොත්තුවෙන් පිරී අනාගතය දෙසට යොමු කරන අතර,23 සතුටින් සිටීමට වූ යේසුස්වහන්සේගේ ආරාධනය ඉටු කිරීමට අපට ඉඩ සලසනවා.24 ශුභාරංචිය තුළ ප්‍රීතියෙන් ජීවත්වීම මගින් අපට ඉදිරි යහපත් දේවල අනුගාමිකයන් වීමට උපකාර කරයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඇති තවත් නාමයක් වන්නේ ඊයෙත් අදත් සදාකාලයටත් ඒකාකාරමය යන්නයි.25 ස්ථාවරත්වය යනු ක්‍රිස්තුස්වහන්සේට සමාන ගුණාංගයක්. යේසුස්වහන්සේ හැමවිටම කළේ තම පියාණන්ගේ කැමැත්ත26 වන අතර අපව බේරා ගැනීමට, අපට උපකාර කිරීමට සහ අපව සුව කිරීමට උන්වහන්සේගේ හස්තය නිරන්තරයෙන් දිගු වෙනවා.27 ශුභාරංචියට අනුව ජීවත් වීමේදී අප වඩාත් ස්ථාවර වන බැවින්, අපි යේසුස්වහන්සේ හා සමාන වෙනවා.28 මිනිසුන් සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඈත මෑත වීසි වෙන විට සහ ලෝකය එහි ජනප්‍රියත්වයේ පෙන්ඩුලමේ විශාල පැද්දීම අත්විඳිනු ඇතත්29 ස්ථාවර ශුභාරංචිය අනුව ජීවත්වීම ජීවිතයේ කුණාටු වලදී ස්ථිරව සහ නොසැලී සිටීමට අපට උපකාර කරනවා.30 “ස්වාමින්වහන්සේ උදෙසා කාලය වෙන් කරන්න” යන සභාපති නෙල්සන්ගේ ආරාධනය පිළිගැනීමෙන් ද අපට ස්ථාවරත්වය විදහා දක්වන්න පුළුවන්.31 විශාල අධ්‍යාත්මික ශක්තියක් ලැබෙන්නේ දිනපතා යාච්ඤාව, පසුතැවිලි වීම, ශුද්ධලියවිලි අධ්‍යයනය සහ අන් අයට සේවය කිරීම වැනි “ශුද්ධ වූ පුරුදු සහ ධර්මිශ්ඨ චර්යාවන්”32 වර්ධනය කිරීම වැනි කුඩා හා සරල දේවල් වලින්.33

හතරවනුව, යේසුස්වහන්සේ ඊශ්‍රායෙල් හි ශුද්ධ වූ තැනැන්වහන්සේ යි.34 යේසුස්වහන්සේගේ ජීවිතය ශුද්ධ බවේ ආදර්ශයක් වුණා. අපි යේසුස්වහන්සේව අනුගමනය කරන විට, අපට ඊශ්‍රායෙලය තුළ ශුද්ධ වූ කෙනෙකු වෙන්න පුළුවන්35 සෑම පිවිසුමකටම ඉහළින් “ස්වාමින්වහන්සේට ශුද්ධකම” ලෙස කොටා ඇති දේවමාළිගාවට නිතිපතා පැමිණෙන විට අපට ශුද්ධකම වර්ධනය කරගන්නට පුළුවන් වෙනවා. අප දේවමාළිගාවක නමස්කාර කරන සෑම අවස්ථාවකම, අපගේ නිවෙස් ශුද්ධස්ථානයන් බවට පත් කිරීමට බලයෙන් සැරසී අපි පිටත් වෙනවා.36 දැනට ශුද්ධ වූ දේවමාළිගාවට ඇතුළු වීමට නිර්දේශයක් නොමැති ඕනෑම කෙනෙකුට, ඔබගේ සභානායකයා හමුවී එම ශුද්ධස්ථානයට ඇතුළු වීමට හෝ ආපසු එහි යාමට සූදානම් වන ලෙස මම ඔබට ආරාධනා කරනවා. දේවමාළිගාවේ කාලය අපගේ ජීවිතයේ ශුද්ධකම වැඩි කරනවා.

අවසාන වශයෙන් යේසුස්වහන්සේගේ තවත් එක් නාමයක් තමයි උන්වහන්සේ ඇදහිලිවන්ත හා සත්‍යවන්තය යන බව.37 යේසුස්වහන්සේ සැමවිටම ඇදහිලිවන්ත හා සැමවිටම සත්‍යවන්ත වූවා සේම, උන්වහන්සේගේ දැඩි ආශාව තමයි අප මෙම ගුණාංග අපගේ ජීවිත තුළ ප්‍රදර්ශනය කිරීම. අපගේ ඇදහිල්ල බිඳ වැටෙන විට, පේත්‍රැස් ගලීලයේ කුණාටු සහිත මුහුදේ ගිලෙන්නට පටන්ගත් ආකාරයටම, “ස්වාමිනි, මාව ගලවන්න” කියා යේසුස්වහන්සේට මොරගැසීමට අපට පුළුවන්.38 එදින යේසුස්වහන්සේ දියේ ගිලෙමින් සිටි ගෝලයා බේරාගැනීමට අත දිගු කළා. උන්වහන්සේ මටත් එලෙසම කර තිබෙනවා, උන්වහන්සේ ඔබ වෙනුවෙන්ද එලෙසම කරනවා. කවදාවත් යේසුස්වහන්සේව අත්හරින්න එපා—උන්වහන්සේ කවදාවත් ඔබව අත්හරින්නේ නෑ!

අපි ඇදහිලිවන්තව හා සත්‍යවන්තව සිටින විට, “මා තුළ සිටින්න” නැතහොත් “මා සමඟ සිටින්න” යන යේසුස්වහන්සේගේ කැඳවීම අපි අනුගමනය කරනවා.39 අප ප්‍රශ්නවලට මුහුණ දෙන විට, අපගේ ඇදහිල්ල නිසා සමච්චලයට පත්වෙන විට, ලෝකයේ විශාල හා ඉඩකඩ සහිත ගොඩනැගිලිවල සිටින අය විසින් නින්දාවේ ඇඟිලි අප වෙත යොමු කරන විට, අපි ඇදහිලිවන්තව හා සත්‍යවන්තව සිටිමු. මේ මොහොතවල් වල, අපි යේසුස්වහන්සේගේ ආයාචනය සිහිපත් කරමු: “සෑම සිතිවිල්ලකම මා දෙස බලන්න; සැක නොකරන්න, බිය නොවන්න.”40 අප එසේ කරන විට, උන්වහන්සේ සමඟ සදාකාලිකවම සිටීමට අවශ්‍ය ඇදහිල්ල, බලාපොරොත්තුව සහ ශක්තිය උන්වහන්සේ අපට ලබා දෙයි.41

ආදරණීය සහෝදර සහෝදරියනි, යේසුස්වහන්සේට අවශ්‍ය වන්නේ අප උන්වහන්සේව දැන හඳුනා ගැනීමයි, මක්නිසාද ස්වර්ගයෙන් යට අපට ගැලවීම ලැබීමට ඇති එකම නාමය උන්වහන්සේගේයි.42 යේසුස්වහන්සේ මාර්ගය, සත්‍යය සහ ජීවනයයි—උන්වහන්සේ තුළින් මිස වෙන කිසිඳු ආකාරයකින් කිසිවෙකුට පියාණන් වෙතට ආපසු යා නොහැක.43 යේසුස්වහන්සේ තමයි එකම මාර්ගය! එම හේතුව නිසා, යේසුස්වහන්සේ “මා වෙතට එන්න,”44 “මා අනුගමනය කරන්න,”45 “මා සමඟ ඇවිදින්න,”46 සහ “මා ගැන ඉගෙනගන්න”47 යනුවෙන් ඉල්ලා සිටිනවා.

මගේ මුළු හදවතින්ම, උන්වහන්සේ ජීවත් වන බවටත්, උන්වහන්සේ ඔබට ආදරය කරන බවටත්, උන්වහන්සේ ඔබව නමින් දන්නා බවටත්—මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරනවා. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයායි,48 පියාණන්ගේ ඒකජාතක පුත්‍රයායි.49 උන්වහන්සේ අපගේ පර්වතය, අපගේ බලකොටුව, අපගේ පලිහ, අපගේ රැකවරණය සහ අපගේ ගැලවුම්කරුවාණන්.50 උන්වහන්සේ අඳුරේ බබළන ආලෝකයයි.51 උන්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන්52 සහ මිදුම්කරුවාණන්.53 උන්වහන්සේ උත්ථානය හා ජීවනයයි.54 ඔබ යේසුස්වහන්සේගේ බොහෝ නම් වලින් උන්වහන්සේ දැන හඳුනාගෙන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔබගේ ජීවිතය තුළ උන්වහන්සේගේ දිව්‍යමය ගුණාංග ආදර්ශමත් කරන විට, ඔබ උන්වහන්සේ හා සමාන වීම මාගේ දැඩි ආශාවයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. දහම සහ ගිවිසුම් 20:77.

  2. යෙසායා 17:3 අවධාරණය කිරීම් සහිතයි. Concerning this prayer, President David O. McKay taught: “This text is taken from one of the most glorious prayers—I suppose the greatest prayer—ever uttered in this world, not excepting the Lord’s Prayer. This was Christ’s prayer uttered just before he entered the Garden of Gethsemane on the night of his betrayal. … I know of no more important chapter in the Bible” (in Conference Report, Oct. 1967, 5).

  3. Dale Carnegie, How to Win Friends and Influence People, rev. ed. (1981), 83.

  4. යෙසායා 43:1 අවධාරණය කිරීම් සහිතයි.

  5. බලන්න යොහාන් 20:16.

  6. බලන්න ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:17.

  7. Bible Dictionary, “Israel.”

  8. මාර්ක් 3:17.

  9. බලන්න ලූක් 6:14; යොහාන් 1:42.

  10. බලන්න Russell M. Nelson, “I Studied More Than 2,200 Scriptures about the Savior in Six Weeks: Here Is a Little of What I Learned,” Inspiration (blog), Feb. 28, 2017, ChurchofJesusChrist.org. මෙම අත්දැකීමෙන් පසුව, සභාපති නෙල්සන්, “මම වෙනස් මිනිසෙක්!” කියා පැවසුවා. (“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය අපගේ ජීවිතයට ඇදගැනීම,” ලියහෝනා, මැයි 2017, 39).

  11. Russell M. Nelson, “Prophets, Leadership, and Divine Law” (worldwide devotional for young adults, Jan. 8, 2017), broadcasts.ChurchofJesusChrist.org.

  12. නිදසුනක් වශයෙන්, යේසුස්වහන්සේ යනු මෙසියස්වහන්සේයි, ක්‍රිස්තුස්වහන්සේයි, ශ්‍රේෂ්ඨ යෙහෝවායි, මළවුන්ගෙන් කුලුඳුලාණන් සහ දෙවියන්වහන්සේගේ එකම පුත්‍රයායි.

  13. ඨොපිcඅල් Topical Guide හි යේසුස්වහන්සේ සම්බන්ධ ශුද්ධලියවිලි පද අධ්‍යයනය කිරීමට සභාපති නෙල්සන්ගේ ආරාධනයට අමතරව, බයිබල් ශබ්දකෝෂයේ Christ, names of යටතේ ඇති දේවල් වෙත යොමු වීමෙන් ඔබට යේසුස්වහන්සේගේ බොහෝ නම් අධ්‍යයනය කළ හැකිය. ඔබ වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ්ගේ Witness for His Names (2019) නම් පොත සහ වැඩිහිටි රොනල්ඩ් ඒ. රස්බන්ඩ් විසින් කර ඇති කතාවක් වන “Name above All Names” අධ්‍යයනය කිරීමටද කැමති විය හැක (Brigham Young University–Hawaii devotional, Oct. 20, 2020), speeches.byuh.edu.

  14. බලන්න යොහාන් 10:11.

  15. බලන්න යොහාන් 10:14.

  16. යොහාන් 10:3.

  17. බලන්න මතෙව් 10:11–15; 1 නෙපි 11:31–33.

  18. බලන්න යොහාන් 21:15–17.

  19. විශේෂයෙන්ම ලූක් 15:4 හි ජෝසෆ් ස්මිත් පරිවර්තනය කියවෙන ආකාරයට, “බැටළුවන් සියයකින්, එකෙකු නැතිවුවහොත්, අනූ නවය අත්හැර නැති වූ එකා පසුපස ඔහු සොයාගන්නා තුරු පාළුකරයට නොයන්නේ, ඔබගෙන් කවර මනුශ්‍යයෙක්ද?” (ලූක් 15:4හි, පාද සටහන a, අවධාරණය කිරීම් සහිතයි).

  20. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් නිරීක්ෂණය කළ පරිදි: “සියලු දෙනා සිතන්නේ පාඨයක් [සේවය කිරීමට] ප්‍රමාණවත් බවයි. ඔබ නිවසේ සිටිය යුතු අතර මිනිසුන්ගේ දෑස් දෙස බැලිය යුතු අවස්ථා තිබේ, මක්නිසාද ඔබට කිසිදා වෙනත් මාර්ගයකින් නොලැබෙන හැඟීම් සහ ඥානය නිවස තුළ ලැබෙනු ඇත” (“An Evening with Elder David A. Bednar” [broadcast for religious educators], Feb. 7, 2020], broadcasts.ChurchofJesusChrist.org).

  21. බලන්න හෙබ්‍රෙව් 9:11.

  22. යොහාන් 16:33

  23. See Jeffrey R. Holland, “‘Remember Lot’s Wife’: Faith Is for the Future” (Brigham Young University devotional, Jan. 13, 2009), 2, speeches.byu.edu. “ඇදහිල්ල සැමවිටම අනාගතය දෙසට යොමුවේ. ඇදහිල්ල සැමවිටම ආශිර්වාද හා සත්‍යයන් සහ අපගේ ජීවිතවල තවමත් ඵලදායී වන සිදුවීම් සමඟ සම්බන්ධ විය යුතුය.

  24. බලන්න මතෙව් 9:2; මාර්ක් 6:50; යොහාන් 16:33; 3 නෙපි 1:13; දහම සහ ගිවිසුම් 61:36.

  25. බලන්න හෙබ්‍රෙව් 13:8; තවත් බලන්න Bible Dictionary, “Christ, names of.”

  26. බලන්න යොහාන් 8:29.

  27. බලන්න ඇල්මා 5:33; 19:36; 3 නෙපි 9:14.

  28. උදාහරණයක් ලෙස, බලන්න, David A. Bednar, “More Diligent and Concerned at Home,” Liahona, Nov. 2009, 20: “අපගේ පෞද්ගලික ජීවිතයේ විශිෂ්ට කාර්යයක අත්තිවාරම දැමීමේදී අඛණ්ඩතාව ප්‍රධාන මූලධර්මයකි. … අපි වඩාත් ස්ථාවර විය යුතුය, එමෙන්ම ඒ බවට පත්විය යුතුය.”

  29. බලන්න එපීස 4:14.

  30. බලන්න මොසායා 5:15.

  31. රසල් එම්. නෙල්සන්, “ස්වාමින්වහන්සේ සඳහා කාලය වෙන් කරන්න,” ලියාහෝනා, නොවැ. 2021, 120.

  32. බලන්න ඇල්මා 37:6.

  33. මෙය සභාපති ඩැලන් එච්. ඕක්ස් විසින් ඔහුගේ දෙවසේවයේදී කිහිප වතාවක්ම පුනරුච්චාරණය කළ වාක්‍ය ඛණ්ඩයකි. නිදසුනක් වශයෙන්, බලන්න, “YSA Face to Face with Elder Oaks and Elder Ballard” (broadcast for young single adults, නොවැ. 19, 2017), ChurchofJesusChrist.org.

  34. බලන්න 2 නෙපි 9:18–19, 41.

  35. තරුණ වැඩිහිටියන් සඳහා මෑත කාලීන ලෝක ව්‍යාප්ත රැස්වීමකදී, වෙන්ඩි නෙල්සන් සහෝදරිය විසින්, ජීවිතය වෙනස් කිරීමට, විශ්වාසය වැඩි කිරීමට සහ කාංසාව අඩු කිරීමට, පෙළඹවීමට, කෘතඥතාව වැඩි කිරීමට සහ ආතතිය අඩු කිරීමට, පරීක්ෂාවට එරෙහි වීමට සහ ප්‍රීතිය, සැනසීම, ආදරය සහ සාමය ගෙන ඒමට හැකි බව කියූ ප්‍රශ්නයක් ඇය විසින් පළ කර තිබුණා. එම ප්‍රශ්නය වූයේ “ශුද්ධ තරුණ වැඩිහිටියෙකු කුමක් කරයිද?” යන්නයි. ඉන්පසුව මෙම ප්‍රශ්නය දිනකට එක් අවස්ථාවකදී අඛණ්ඩව දින තුනක් යෙයොදාගැනීමට ඇය දිරිමත් කළාය. බලන්න “One Question That Can Change Your Life” (worldwide devotional for young adults, May 15, 2022), broadcasts.ChurchofJesusChrist.org.

  36. බලන්න දහම සහ ගිවිසුම් 109:12–13, 22.

  37. බලන්න එළිදරව් 19:11.

  38. මතෙව් 14:30.

  39. යොහාන් 15:4. abide යන්න සඳහා ග්‍රීක වචනය μείνατε (මෙයින්ට් හෝ මෙනෝ) වේ, එහි තේරුම නැවතී සිටීම හෝ රැඳී සිටීමයි.

  40. දහම සහ ගිවිසුම් 6:36.

  41. වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් වරක් සඳහන් කළේ ස්පාඤ්ඤ භාෂාවෙන් “abide in me” යන ඉංග්‍රීසි වාක්‍ය ඛණ්ඩය “permaneced en mi” ලෙස පරිවර්තනය කර ඇති බවයි. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “එවිට මෙහි හැඟීම ‘ඉන්න—නමුත් සදහටම සිටින්න’ යන්නයි… ස්ථිරවම එන්න, ඔබ වෙනුවෙන් සහ ඔබව අනුගමනය කළ යුතු සියලු පරම්පරාවන් වෙනුවෙන්, අපි එකිනෙකාට අවසානය දක්වා ශක්තිමත් වීමට උදව් කරන්නෙමු” (“Abide in Me,” Liahona, May 2004, 32).

  42. බලන්න 2 නෙපි 31:21.

  43. බලන්න යොහාන් 14:6.

  44. මතෙව් 11:28; 3 නෙපි 9:14, 22.

  45. මතෙව් 16:24; ලූක් 18:22; යොහාන් 21:19; තවත් බලන්න 2 නෙපි 31:10.

  46. එළිදරව් 3:4; මෝසෙස් 6:34.

  47. මතෙව් 11:29; දහම සහ ගිවිසුම් 19:23.

  48. බලන්න 3 නෙපි 9:15.

  49. බලන්න යොහාන් 1:14; ඇල්මා 5:48.

  50. බලන්න 2 සාමුවෙල් 22:2–3.

  51. බලන්න දහම සහ ගිවිසුම් 6:21.

  52. බලන්න ලූක් 2:11.

  53. බලන්න දහම සහ ගිවිසුම් 18:11–13.

  54. බලන්න යොහාන් 11:25.