අත්පොත් සහ කැඳවීම්
32. පසුතැවිලි වීම සහ සභා සාමාජික මන්ත්‍රණ සභා


“32. පසුතැවිලි වීම සහ සභා සාමාජික මන්ත්‍රණ සභා,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“32. පසුතැවිලි වීම සහ සභා සාමාජික මන්ත්‍රණ සභා,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
මිනිසුන් කතා කරමින්

32.

පසුතැවිලි වීම සහ සභා සාමාජික මන්ත්‍රණ සභා

32.0

හැඳින්වීම

බොහෝ පසුතැවිලි වීම් සිදුවන්නේ යම් පුද්ගලයෙකු, දෙවියන්වහන්සේ සහ එම පුද්ගලයාගේ පාපය නිසා පීඩාවට පත්වූවන් අතර ය. කෙසේවෙතත්, සමහර අවස්ථාවලදී සභා සාමාජිකයින්ගේ පසුතැවිලි වීමේ ප්‍රයත්න සඳහා සභානායකවරයෙකු හෝ ස්ටේක සභාපතිවරයෙකු ඔවුන්ට උපකාර විය යුතුය.

පසුතැවිලි වීම සඳහා සාමාජිකයින්ට උපකාර කරන විට, සභානායකවරු සහ ස්ටේක සභාපතිවරු ආදරයෙන් හා සැලකිල්ලෙන් එය කරති. පුද්ගලයන්ව ඔසවා ඔවුන්ට පාපයෙන් ඉවත් වී දෙවියන්වහන්සේ වෙත හැරීමට උපකාර කළ ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය ඔවුන් අනුගමනය කරති (බලන්න මතෙව් 9:10–13; යොහාන් 8:3–11).

32.1

පසුතැවිලි වීම සහ සමාව දීම

උන්වහන්සේගේ දයාවේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා, අපගේ පව්වලට වන්දිගෙවීමට ස්වර්ගික පියාණන්වහන්සේ තම ඒකජාතක පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වගන්සේව එව්වේය (බලන්න ඇල්මා 42:15). අපගේ පාප සඳහා යුක්තියේ නීතියට අවශ්‍ය කරන දඬුවම යේසුස්වහන්සේ වින්දේය (බලන්න දහම සහ ගිවිසුම් 19:15–19; තවත් බලන්න ඇල්මා 42:24–25). මෙම පරිත්‍යාගය තුළින් පියාණන් සහ පුත්‍රයාණන් යන දෙදෙනාම අප කෙරෙහි උනවහන්සේලාගේ අසීමිත ආදරය පෙන්වූහ (බලන්න යොහන් 3:16).

අපි “පසුතැවිලි වීම සඳහා ඇදහිල්ල” ක්‍රියාත්මක කරන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් දයාව ලබා දෙමින්, ස්වර්ගික පියාණන්වහන්සේ අපට සමාව දෙන සේක (ඇල්මා 34:15; තවත් බලන්න ඇල්මා 42:13). අපව පවිත්‍ර කර අපට සමාව ලබා දුන් විට, අපට අවසානයේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කරගත හැකිය (බලන්න යෙසායා 1:18; දහම සහ ගිවිසුම් 58:42).

පසුතැවිලි වීම යනු හැසිරීම වෙනස් කිරීමට වඩා වැඩි දෙයකි. එයින් අදහස් වන්නේ පාපයෙන් ඉවත්ව ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙසට හැරීමයි. එය හදවතේ සහ මනසෙහි වෙනසක් ඇති කරයි (බලන්න මොසායා 5:2; ඇල්මා 5:12–14; හිලමන් 15:7). පසුතැවිලි වීම තුළින්, අපි දෙවියන්වහන්සේ සමඟ එක් වී, නව පුද්ගලයන් බවට පත්වෙමු (බලන්න 2 කොරින්ති 5:17–18; මොසායා 27:25–26).

පසුතැවිලි වීමේ අවස්ථාව ස්වර්ගික පියාණන්වහන්සේ තම පුත්‍රයාණන්ගේ ත්‍යාගය තුළින් අපට ලබා දී ඇති උතුම්ම ආශිර්වාදයකි.

32.2

සභා සාමාජිකත්වය සීමා කිරීම හෝ ඉවත් කිරීමේ අරමුණු

සාමාජිකයෙකු බරපතළ පාපයක් කළහොත්, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා ඔහුට හෝ ඇයට පසුතැවිලි වීමට උපකාර කරයි. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, සභාවේ ඔහුගේ සාමාජිකත්ව වරප්‍රසාද ටික කාලයකට සීමා කිරීමට අවශ්‍ය විය හැකිය. සමහර අවස්ථා වලදී, යම් කාලයක් සඳහා පුද්ගලයෙකුගේ සාමාජිකත්වය ඉවත් කිරීමට ඔහුට අවශ්‍ය විය හැකිය.

පුද්ගලයෙකුගේ සාමාජිකත්වය සීමා කිරීම හෝ ඉවත් කිරීම මගින් දඬුවමක් ලබාදීමක් අදහස් නොකරයි. ඒ වෙනුවට, පුද්ගලයෙකුට පසුතැවිලි වීමට සහ හදවතේ වෙනසක් අත්විඳීමට මෙම ක්‍රියාවන් සමහර අවස්ථා වලදී අවශ්‍ය වේ. එමගින් පුද්ගලයෙකුට ඔහුගේ හෝ ඇයගේ ගිවිසුම් අලුත් කිරීමට සහ තබා ගැනීමට ආත්මිකව සූදානම් වීමට කාලය ලබා දෙයි.

සාමාජික සීමා කිරීම් පැනවීමේ හෝ ඉවත් කිරීමේ අරමුණු තුන පහත පරිදි වේ.

32.2.1

අන් අයව ආරක්ෂා කිරීමට උපකාර කිරීම

පළමු අරමුණ අන් අයව ආරක්ෂා කිරීමට උපකාර කිරීමයි. සමහර අවස්‍ථා වලදී යම් පුද්ගලයෙකු ශාරීරික හෝ ආත්මික තර්ජනයක් එල්ල කළ හැකිය. කොල්ලකාරී හැසිරීම්, ශාරීරික හානි, ලිංගික අපයෝජන, මත්ද්‍රව්‍ය භාවිතය, වංචාව සහ ඇදහිල්ල අත්හැරීම මෙය සිදුවිය හැකි ක්‍රම කිහිපයකි. මෙවැනි සහ වෙනත් බරපතළ ආකාරවලින් යමෙකු තර්ජනයක් වන විට, සභානායකවරයෙකු හෝ ස්ටේක සභාපතිවරයෙකු දේවානුභාවයෙන් යුතුව අන් අයව ආරක්ෂා කිරීමට ක්‍රියා කරයි (බලන්න ඇල්මා 5:59–60).

32.2.2

පසුතැවිලි වීම තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ බලයට ප්‍රවේශ වීමට පුද්ගලයෙකුට උපකාර කිරීම

දෙවන අරමුණ වන්නේ පසුතැවිලි වීම තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ බලයට ප්‍රවේශ වීමට පුද්ගලයෙකුට උපකාර කිරීමයි. මෙම ක්‍රියාවලිය තුළින්, ඔහුට හෝ ඇයට නැවතත් පවිත්‍ර වී දෙවියන්වහන්සේගේ සියලු ආශිර්වාද ලබාගැනීමට සුදුස්සෙකු විය හැකිය.

32.2.3

සභාවේ ගරුත්වය ආරක්ෂා කිරීම

තුන්වන අරමුණ වන්නේ සභාවේ ගරුත්වය ආරක්ෂා කිරීමයි. පුද්ගලයෙකුගේ හැසිරීම සභාවට සැලකිය යුතු හානියක් කරන්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ සභා සාමාජිකත්වය සීමා කිරීම හෝ ඉවත් කිරීම අවශ්‍ය විය හැකිය (බලන්න ඇල්මා 39:11). සභාවේ ගරුත්වය ආරක්ෂා වන්නේ බරපතළ පාපයන් සැඟවීමෙන් හෝ අවම කිරීමෙන් නොවේ—නමුත් ඒවාට ආමන්ත්‍රණය කිරීමෙනි.

32.3

ඉශ්‍රායෙලයේ විනිශ්චයකරුවන්ගේ භූමිකාව

සභානායකවරුන්ව සහ ස්ටේක සභාපතිවරුන්ව ඉශ්‍රායෙලයේ විනිශ්චයකරුවන් ලෙස කැඳවා වෙන් කරනු ලැබ ඇත (බලන්න දහම සහ ගිවිසුම් 107:72–74). සභා සාමාජිකයන්ට පසුතැවිලි වීමට උපකාර කිරීමේදී ස්වාමින්වහන්සේව නියෝජනය කිරීම සඳහා ඔවුන් පූජකවර යතුරු දරති (බලන්න දහම සහ ගිවිසුම් 13:1; 107:16–18).

බොහෝ විට සභානායකවරු සහ ස්ටේක සභාපතිවරු පුද්ගලික උපදේශන හරහා පසුතැවිලි වීමට සහාය වෙති. මෙම උපකාරයට සභා සාමාජිකත්වයේ සමහර වරප්‍රසාද අවිධිමත් ලෙස කාලයකට සීමා කිරීම ඇතුළත් විය හැකිය.

සමහර බරපතළ පාප සඳහා, නායකයින් සාමාජික මන්ත්‍රණ සභාවක් පැවැත්වීමෙන් පසුතැවිලි වීමට සහාය වේ (බලන්න 32.6). මෙම උපකාරයට සභා සාමාජිකත්වයේ සමහර වරප්‍රසාද විධිමත් ලෙස සීමා කිරීම හෝ යම් කාලයක් සඳහා පුද්ගලයෙකුගේ සාමාජිකත්වය ඉවත් කිරීම ඇතුළත් විය හැකිය.

සභානායකවරු සහ ස්ටේක සභාපතිවරු සාමාජිකයින්ට පසුතැවිලි වීමට උපකාර කරන විට ආදරය හා සැලකිල්ල පෙන්නුම් කරති. කාමමිථ්‍යාචාරයේ යෙදුණු ස්ත්‍රිය කෙරෙහි ගැලවුම්කරුවාණන්ගේ ප්‍රතිචාරය ඒ සඳහා මගපෙන්වීමකි (බලන්න යොහන් 8:3–11). ඇගේ පව්වලට සමාව ලැබුණු බව උන්වහන්සේ නොකීවත්, උන්වහන්සේ ඇයව හෙළා දුටුවේ නැත. ඒ වෙනුවට, උන්වහන්සේ ඇයට පැවසුවේ “තවදුරටත් පව් නොකරන” ලෙසත්—පසුතැවිලි වී ඇගේ ජීවිතය වෙනස් කරගන්නා ලෙසත් ය.

මෙම නායකයින් උගන්වන්නේ “පශ්චාත්තාප වන්නාවූ එක පව්කාරයෙකු ගැන ස්වර්ගයෙහි ප්‍රීති වන” බවයි (ලූක් 15:7). ඔවුන් ඉවසිලිවන්තයි, සහයෝගය ලබාදෙයි සහ ධනාත්මකයි. ඔවුන් බලාපොරොත්තුව ඇති කරයි. ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය නිසා සියල්ලන්ට පසුතැවිලි වී පවිත්‍ර විය හැකි බව ඔවුන් උගන්වමින් සාක්ෂි දරති.

එක් එක් පුද්ගලයාට පසුතැවිලි වීමට උපකාර කරන්නේ කෙසේදැයි දැනගැනීම සඳහා සභානායකවරු සහ ස්ටේක සභාපතිවරු ආත්මයාණන්වහන්සේගෙන් මගපෙන්වීම සොයති. සභා නායකයින් විසින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කලින් සැකසූ ප්‍රමිති ඇත්තේ බරපතළම පාප සඳහා පමණි (බලන්න32.6). කිසිඳු අවස්ථා දෙකක් එකිනෙකට සමාන නොවේ. නායකයින් ලබා දෙන උපදේශනය සහ ඔවුන් විසින් පහසුකම් සපයන පසුතැවිලි වීමේ ක්‍රියාවලිය ආනුභාව ලත් විය යුතු අතර එක් එක් පුද්ගලයාට එය වෙනස් විය හැකිය.

32.4

පාපොච්චාරණය, රහස්‍යභාවය සහ රජයේ බලධාරීන්ට වාර්තා කිරීම

32.4.1

පාපොච්චාරණය

පසුතැවිලි වීම සඳහා ස්වර්ගික පියාණන්වහන්සේට පාප පාපොච්චාරණය කිරීම අවශ්‍ය වේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පැවසුවේය, “මෙම කාරණය හේතුවෙන් මනුෂ්‍යයෙක් ඔහුගේ පාපයට පසුතැවිලි වන්නේ නම්—බලන්න, ඔහු ඒවා පාපොච්ඡාරණය කොට තවද ඒවා අත්හල යුතු යැයි නුඹ දැනගන්නෙහිය” (දහම සහ ගිවිසුම් 58:43; තවත් බලන්න මොසායා 26:29).

සභාවේ සාමාජිකයන් බරපතළ පාපයන් සිදු කරන විට, එම පාප සම්බන්ධව ඔවුන්ගේ සභානායකවරයාට හෝ ස්ටේක සභාපතිවරයාට පාපොච්චාරණය කිරීමද ඔවුන්ගේ පසුතැවිල්ලට ඇතුළත් වේ. එවිට ඔහුට ඔවුන් වෙනුවෙන් පසුතැවිලි වීමේ ශුභාරංචියේ යතුරු ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේ (බලන්න දහම සහ ගිවිසුම් 13:1; 84:26–27; 107:18, 20). මෙමගින් ඔවුන්ට සුව වීමට සහ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම තුළින් නැවතත් ශුභාරංචි මාවතට පැමිණීමට උපකාර ලැබෙයි.

පාපොච්චාරණයේ පරමාර්ථය වන්නේ සාමාජිකයින්ට ඔවුන්ට දැනෙන බර අඩු කරගැනීමට දිරිගැන්වීමයි, එවිට ඔවුන්ට වෙනස් වීමට සහ සුව වීමට ස්වාමින්වහන්සේගේ උපකාරය සම්පූර්ණයෙන්ම ලබා ගත හැකිය. පාපොච්චාරණය මගින් “බිඳුණු හදවතක් සහ පසුතැවිලි වූ ආත්මයක්” වර්ධනය කිරීම සඳහා උපකාර කරයි (2 නෙපී 2:7). ස්වේච්ඡා පාපොච්චාරණය පෙන්නුම් කරන්නේ පුද්ගලයෙකු පසුතැවිලි වීමට කැමති බවයි.

සාමාජිකයෙකු පාපොච්චාරණය කළ විට, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා 32.8 හි ඇති උපදේශනය සඳහා වූ මාර්ගෝපදේශ අනුගමනය කරයි. සාමාජිකයාට පසුතැවිලි වීමට උපකාර කිරීම සඳහා සුදුසු සැකසුම පිළිබඳව ඔහු යාච්ඤාවෙන් යුතුව මගපෙන්වීම් සොයයි. සාමාජික මන්ත්‍රණ සභාවක් උපකාරවත් වේද යන්න පිළිබඳ ඔහු සලකා බලයි. සභාවේ ප්‍රතිපත්තියට අනුව සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය නම්, ඔහු මෙය පැහැදිලි කරයි (බලන්න 32.6).

සමහර අවස්ථාවල සාමාජිකයෙකු කලත්‍රයෙකුට හෝ වෙනත් වැඩිහිටියෙකුට වැරදි කර තිබිය හැකිය. පසුතැවිලි වීමේ කොටසක් ලෙස, ඔහු හෝ ඇය සාමාන්‍යයෙන් එම පුද්ගලයාට ඒ ගැන පාපොච්චාරණය කර සමාව ඉල්ලා සිටිය යුතුය. බරපතළ පාපයක් කර ඇති යෞවනයෙකු සාමාන්‍යයෙන් ඔහුගේ හෝ ඇයගේ දෙමාපියන්ගෙන් උපදෙස් ලබාගත යුතු බවට දිරිගන්වනු ලැබේ.

32.4.4

රහස්‍යභාවය

සභානායකවරුන්ට, ස්ටේක සභාපතිවරුන්ට සහ ඔවුන්ගේ උපදේශකයින්ට ඔවුන් සමඟ බෙදා ගන්නා සියලුම රහස්‍ය තොරතුරු ආරක්ෂා කිරීමට පාරිශුද්ධ වූ යුතුකමක් ඇත. මෙම තොරතුරු සම්මුඛ සාකච්ඡා, උපදේශන සහ පාපොච්චාරණයන් තුළින් පැමිණිය හැකිය. සාමාජික මන්ත්‍රණ සභාවලට සහභාගි වන සියල්ලන්ටමත් රහස්‍යභාවයේ එම යුතුකම අදාළ වේ. සාමාජිකයින් විසින් බෙදාගන්නා දේ රහසිගතව තබා නොගන්නේ නම් ඔවුන් පාපයන් පාපොච්චාරණය කිරීම හෝ මගපෙන්වීම සෙවීම මගහැරිය හැකි නිසා, රහස්‍යභාවය අත්‍යවශ්‍යය. විශ්වාසය කඩ කිරීම මගින් සාමාජිකයින්ගේ විශ්වාසය පාවා දෙන අතර එමගින් ඔවුන්ට ඔවුන්ගේ නායකයින් කෙරෙහි ඇති විශ්වාසය නැති වී යයි.

ඔවුන්ගේ රහස්‍යභාවයේ රාජකාරියට අනුකූලව, සභානායකවරයෙකුට, ස්ටේක සභාපතිවරයෙකුට හෝ ඔවුන්ගේ උපදේශකයින්ට එවැනි තොරතුරු බෙදාගත හැක්කේ පහත පරිදි පමණි:

  • සාමාජික මන්ත්‍රණ සභාවක් පැවැත්වීම හෝ ඊට අදාළ කරුණු පිළිබඳව ඔවුන් සාමාජිකයාගේ ස්ටේක සභාපතිවරයා, ධර්මදූත සභාපතිවරයා හෝ සභානායකවරයා සමඟ සාකච්ඡා කළ යුතු විට.

  • සාමාජිකත්ව ක්‍රියාමාර්ග හෝ වෙනත් බරපතළ ගැටළු පවතින අතරතුර පුද්ගලයා නව කොට්ඨාශයකට මාරු වූ විට (හෝ පූජක නායකයාව නිදහස් කරනු ලැබූ විට).

  • තම කොට්ඨාශයෙන් හෝ ස්ටේකයෙන් පිටත ජීවත් වන සභා සාමාජිකයෙකු බරපතළ පාපයකට සම්බන්ධ වී ඇති බව සභානායකවරයෙක් හෝ ස්ටේක සභාපතිවරයෙක් දැනගත් විට.

  • සාමාජික මන්ත්‍රණ සභාවකදී තොරතුරු හෙළිදරව් කිරීම අවශ්‍ය විට.

  • නිශ්චිත පුද්ගලයන් සමඟ තොරතුරු බෙදා ගැනීමට නායකයාට අවසර දීමට සාමාජිකයෙකු විසින් තෝරාගත් විට.

  • සාමාජික මන්ත්‍රණ සභාවේ තීරණය පිළිබඳ සීමිත තොරතුරු හුවමාරු කරගැනීම අවශ්‍ය විය හැකිය.

අන් අයව ආරක්ෂා කිරීමට සහ නීතියට අනුකූලව ක්‍රියා කිරීමට නායකයින්ට උපකාර කිරීම සඳහා, සභාව විසින් පුහුණු වෘත්තිකයන්ගෙන් උපකාර ලබා දෙයි. මෙම මගපෙන්වීම ලබා ගැනීම සඳහා, නායකයින් එය ලබා ගත හැකි ස්ථාන වලදී සභාවේ අපයෝජන උපකාරක මාර්ගයට ක්ෂණිකව අමතයි (බලන්න 38.6.2.1). එය ලබාගත නොහැකි ස්ථාන වලදී, ස්ටේක සභාපතිවරයා විසින් ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය නීති උපදේශකවරයාව සම්බන්ධ කරගනියි.

සභානායකවරයෙකු හෝ ස්ටේක සභාපතිවරයෙකු එවැනි මගපෙන්වීමක් ලබා නොගෙන රහස්‍ය තොරතුරු හෙළි කළ යුත්තේ එක් අවස්ථාවකදී පමණි. ජීවිතයට තර්ජනයක් වන හානියක් හෝ බරපතළ අනතුරක් වළක්වා ගැනීම සඳහා සහ මගපෙන්වීම ලබා ගැනීමට කාලය නොමැති නම්, එම හෙළි කිරීම අවශ්‍ය වන්නේ එවිටය. එවැනි අවස්ථාවලදී, රහස්‍යභාවයේ යුතුකමට වඩා අන් අයව ආරක්ෂා කිරීමේ යුතුකම වැදගත් වේ. එවිට නායකයින් වහාම සිවිල් බලධාරීන්ව ඇමතිය යුතුයි.

32.6

පාපයේ බරපතළකම සහ සභාවේ ප්‍රතිපත්තිය

(1) අන් අයව ආරක්ෂා කිරීම සහ (2) පුද්ගලයෙකුට පසුතැවිලි වීමට උපකාර කිරීම සඳහා සැකසුම තීරණය කිරීමේදී පාපයේ බරපතළකම වැදගත් සැලකිල්ලකි. ස්වාමින්වහන්සේ පවසා ඇත්තේ උන්වහන්සේට “ඉතා සුළුවෙන්වත් පාපය දෙස බැලීමට නොහැකි” බවයි (දහම සහ ගිවිසුම් 1:31; තවත් බලන්න මොසායා 26:29). උන්වහන්සේගේ සේවකයන් බරපතළ පාපයක් පිළිබඳ සාක්ෂි නොසලකා හැරිය යුතු නැත.

බරපතළ පාප යනු දෙවියන්වහන්සේගේ නීතිවලට එරෙහිව හිතාමතා කරන, විශාල වරදකි. බරපතළ පාප වර්ග පහත ලැයිස්තුගත කර ඇත.

  • ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපයෝජන

  • ලිංගික දුරාචාරය

  • වංචනික ක්‍රියා

  • විශ්වාසය කඩකිරීම්

  • තවත් සමහර ක්‍රියා

සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය අවස්ථා සහ අවශ්‍ය විය හැකි අවස්ථා

පාපයේ ආකාරය

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍යයි

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍ය විය හැකියි

පාපයේ ආකාරය

ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපයෝජනය

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍යයි

  • ඝාතනය

  • ලිංගික දූෂණය

  • ලිංගික අපයෝජන වරද

  • ළමා හෝ තරුණ අපයෝජනය

  • ප්‍රචණ්ඩ කොල්ලකාරී හැසිරීම

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍ය විය හැකියි

  • මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම

  • පහරදීම් සහ හිරිහැර ඇතුළු ලිංගික අපයෝජන (මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වන අවස්ථා සඳහා 38.6.18 බලන්න)

  • කලත්‍රයෙකුව හෝ වෙනත් වැඩිහිටියෙකුව අපයෝජනය කිරීම (මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වන අවස්ථා සඳහා 38.6.2.4 බලන්න)

පාපයේ ආකාරය

ලිංගික දුරාචාරය

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍යයි

  • අනියම් සබඳතා

  • ළමා කාමුක දර්ශන

  • බහු විවාහය

  • ලිංගික කොල්ලකාරී හැසිරීම

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍ය විය හැකියි

  • කාමමිථ්‍යාචාරය, වේශ්‍යාකම, සමලිංගික සබඳතා, සහ අන්තර්ජාලයෙන් හෝ දුරකථනයෙන් සිදුවන ලිංගික සම්බන්ධතා ඇතුළු පුරුෂයෙකු හා ස්ත්‍රියක් අතර නීත්‍යානුකූල විවාහයකින් පරිබාහිර අනෙකුත් සියලුම ලිංගික සම්බන්ධතා

  • සහවාසය, සිවිල් සංගම් සහ හවුල්කාරිත්වයන් සහ සමලිංගික විවාහ

  • සාමාජිකයෙකුගේ විවාහයට හෝ පවුලට සැලකිය යුතු හානියක් සිදුකර ඇති ආකාරයෙන් කාමුක දර්ශන දැඩි ලෙස හෝ අත්හළ නොහැකි ලෙස භාවිතා කිරීම

පාපයේ ආකාරය

වංචනික ක්‍රියා

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍යයි

  • වංචා සහ ඒ හා සමාන ක්‍රියාකාරකම් වැනි මූල්‍ය කොල්ලකාරී හැසිරීම් (සභාවේ අරමුදල් හෝ දේපළ වංචා කිරීමට සාමාජිකයෙකු සම්බන්ධ වූයේ නම් 32.6.3.3 බලන්න)

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍ය විය හැකියි

  • මංකොල්ලකෑම, ගෙවල් බිඳීම, සොරකම් කිරීම හෝ මුදල් වංචා (සභාවේ අරමුදල් හෝ දේපළ වංචා කිරීමට සාමාජිකයෙකු සම්බන්ධ වූයේ නම් 32.6.3.3 බලන්න)

  • බොරු සාක්ෂි

පාපයේ ආකාරය

විශ්වාසය කඩකිරීම්

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍යයි

  • සභාවේ ප්‍රමුඛ තනතුරක් දරන අතරතුර සිදුකරන බරපතළ පාපයක්

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍ය විය හැකියි

  • සභාවේ හෝ ප්‍රජාවේ අධිකාරිය ලත් හෝ විශ්වාස ලත් තනතුරක් දරමින් සිදුකර ඇති බරපතළ පාප (සභාවේ අරමුදල් හෝ දේපළ වංචා කිරීමට සාමාජිකයෙකු සම්බන්ධ වූයේ නම් 32.6.3.3 බලන්න)

  • බොහෝ දෙනෙක් දන්නා බරපතළ පාප

පාපයේ ආකාරය

තවත් සමහර ක්‍රියා

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍යයි

  • බොහෝ අපරාධ චෝදනා

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍ය විය හැකියි

  • ගබ්සාව (38.6.1 හි ව්‍යතිරේකයක් අදාළ නොවේ නම්)

  • බරපතළ පාප රටාව

  • ළමා ආධාර සහ දික්කසාද දීමනාව නොගෙවීම ඇතුළු පවුලේ වගකීම් හිතාමතාම අත්හැර දැමීම

  • නීති විරෝධී මත්ද්‍රව්‍ය විකිණීම

  • වෙනත් බරපතළ අපරාධ ක්‍රියාවන්

32.6.3

සාමාජික මන්ත්‍රණ සභාවක් හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් අවශ්‍යද යන්න පිළිබඳව ස්ටේක සභාපතිවරයා ප්‍රාදේශීය සභාපතිවරයාගෙන් උපදේශන ලබාගන්නා අවස්ථා

සමහර කාරණා සඳහා අමතර සංවේදීතාවයක් සහ මගපෙන්වීමක් අවශ්‍ය වේ. හොඳම ආකාරයෙන් උපකාර කරන්නේ කෙසේදැයි දැන ගැනීමට, ස්ටේක සභාපතිවරයා මෙම කොටසේ ඇති තත්ත්වයන් පිළිබඳව ප්‍රාදේශීය සභාපතිවරයාගෙන් උපදෙස් ලබාගත යුතුමය.

32.6.3.2

ඇදහිල්ලෙන් වැටීම

ඇදහිල්ලෙන් වැටීමේ ගැටළු බොහෝ විට කොට්ඨාශයක හෝ ස්ටේකයක සීමාවෙන් ඔබ්බට බලපෑමක් ඇති කරයි. අනෙක් අයව ආරක්ෂා කිරීම සඳහා ඒවා ඉක්මනින් ආමන්ත්‍රණය කළ යුතුය.

යම් සාමාජිකයෙකුගේ ක්‍රියාවක් ඇදහිල්ලෙන් වැටීමක් විය හැකි යැයි හැඟෙන්නේ නම් සභානායකවරයා ස්ටේක සභාපතිවරයාගෙන් උපදෙස් ලබාගනියි.

මෙහි භාවිතා කර ඇති පරිදි, ඇදහිල්ලෙන් වැටීම යනු සාමාජිකයෙකු විසින් පහත සඳහන් ඕනෑම දෙයක නිරත වීමකි:

  • සභාවට, එහි දහමට, එහි ප්‍රතිපත්තිවලට හෝ එහි නායකයින්ට පැහැදිලි ලෙස සහ හිතාමතාම ප්‍රසිද්ධ විරෝධයක් සමඟ නැවත නැවතත් ක්‍රියා කිරීම

  • සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් නිවැරදි කිරීමෙන් පසුව සභාවේ දහම නොවන දේ සභාවේ දහම ලෙස ඉගැන්වීමේ දිගටම පැවතීම

  • සභාවේ සාමාජිකයන්ගේ ඇදහිල්ල සහ ක්‍රියාකාරකම් දුර්වල කිරීමට හිතාමතාම ක්‍රියා කරන රටාවක් පෙන්වීම

  • සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් නිවැරදි කිරීමෙන් පසුව ඇදහිල්ල අත්හළ නිකායන්හි ඉගැන්වීම් දිගටම අනුගමනය කිරීම

  • විධිමත් ලෙස වෙනත් සභාවකට සම්බන්ධ වීම සහ එහි ඉගැන්වීම් ප්‍රවර්ධනය කිරීම

32.6.3.3

සභාවේ අරමුදල් වංචා කිරීම

යම් සාමාජිකයෙකු සභාවේ අරමුදල් වංචා කරන්නේ නම් හෝ සභාවේ වටිනා දේපළ සොරකම් කරන්නේ නම්, සාමාජික මන්ත්‍රණ සභාවක් හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වේද යන්න පිළිබඳව ස්ටේක සභාපතිවරයා ප්‍රාදේශීය සභාපතිවරයාගෙන් උපදෙස් ලබාගනියි.