2020
නත්තලේදී ගැලවුම්කරුවාණන්ගේ ආලෝකය බෙදාගැනීම
2020 දෙසැම්බර්


“නත්තලේදී ගැලවුම්කරුවාණන්ගේ ආලෝකය බෙදාගැනීම,” ලියහෝනා, 2020 දෙසැම්බර්

රූපය
දේවසේවය

නිල්ට්සා බියට්‍රිස් සැන්ටිලන් කැස්ටිලෝ විසින් උපත පිළිබඳ ඡායාරූපය; ගෙටි ඉමේජස් වෙතින් ත්‍යාග පිළිබඳ ඡායාරූපය

දේවසේවා මූලධර්ම, 2020 දෙසැම්බර්

නත්තලේදී ගැලවුම්කරුවාණන්ගේ ආලෝකය බෙදාගැනීම

ඔබ දේවසේවය කරන අය ගැන සලකා බලන්න. මෙම නත්තලේදී ක්‍රිස්තුස්වහන්සේට සමීප වීමට ඔබ ඔවුන්ට උදව් කරන්නේ කෙසේද?

අපි අවුරුද්ද පුරාම ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහිපත් කරන අතර, නත්තල් සමය යනු මෙතෙක් ලබාදී ඇති ශ්‍රේෂ්ඨතම ත්‍යාගය සමරන සමයයි: “මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක” (යොහාන් 3:16). අපි නත්තල් සමයේ දේවසේවයේ යෙදෙන විට, අපටත් අන් අයට ගැලවුම්කරුවාණන් වෙතට ළංවීමට උපකාර වන ත්‍යාග ලබාදිය හැකිය. ස්වර්ගික පියාණන්වහන්සේ විසින් දෙන ලද ත්‍යාග පිළිබිඹු කිරීමක් ලෙස අප ගැනම සිතීම පුදුම සහගතය.

මම තවමත් එම ත්‍යාගය අගය කරමි

සුසෑන් හාඩි, කැලිෆෝනියාව, ඇමරිකා එක්සත් ජනපදය

මට වයස අවුරුදු 11 දී, අපි ඇදහිල්ලේ ලිපි කටපාඩම් කර ඒවායේ තේරුම ඔහුට පැහැදිලි කළහොත් ඔහු අපේම ශුද්ධලියවිලි කට්ටලයක් අපට ලබාදෙන බව, මගේ ඉරිදා පාසලේ ගුරුවරයා වන සහෝදර ඩීට්ස් අපගේ පන්තියට පැවසුවේය.

ඩීට්ස් සහෝදරයා සහ සහෝදරිය ජීවිතය තනිව පටන්ගන්නා, තරුණ යුවළක් විය. සහෝදර ඩීට්ස් හට කිසිම කෙනෙකුට තෑග්ගක් ගන්න පුළුවන්ද යන වග මම විශ්වාස නොකළෙමි. නමුත් ඇදහිල්ලේ ලිපි කටපාඩම් කිරීමට තරම් වැදගත් යැයි ඔහු සිතන්නේ නම්, එම අභියෝගය භාරගන්නට මම තීරණය කළෙමි.

මම එම 13 අවසන් කළ පසු, කාලය ගෙවී ගිය අතර මට ඔහුගේ පොරොන්දුව අමතක විය.

පසුව, නත්තල් දිනයේදී, මගේ නම සහිත පාර්සලයක් මට ලැබුණි. ශුද්ධලියවිලි නිතිපතා කියවීමට මා උනන්දු කරන කාඩ්පතක් සමඟ, මටම පමණක් වූ ශුද්ධලියවිලි කට්ටලයක් එය විවෘත කිරීමෙන් මම සොයාගත්තෙමි. එය 1972 දී සිදුවූ දෙයක් වුවත්, අද දක්වාම එම ශුද්ධලියවිලි කට්ටලය මා සතුව තිබේ. ඒවා මට ගොඩක් වටියි.

එය එම ත්‍යාගයෙහි මූල්‍ය වටිනාකම නොවෙයි, නමුත් ඒ ඔහු මට දැක්වූ කරුණාව සහ ඔහු මා වෙනුවෙන් කළ කැපකිරීම නිසා දේව වචනය හැදෑරීමේ දැඩි ආශාවක් මා තුළ ඇති වීමයි. සහෝදර ඩීට්ස් මට ආශිර්වාද කළ ආකාරයටම අන් අයගේ ජීවිත වලට මට ආශිර්වාද කළ හැකිවේ යැයි බලාපොරොත්තුවෙන්, මම මා අවට සිටින අයට අර්ථවත් ත්‍යාග ලබාදීමෙන් සහෝදර ඩීට්ස්ගේ දේවසේවයේ ආදර්ශය අනුගමනය කිරීමට උත්සාහ කරමි.

කොටසක් කිරීමට ආරාධනයක්

රිචඩ් එම්. රොම්නි, යූටා, ඇමරිකා එක්සත් ජනපදය

අපගේ කොට්ටාශයේ නත්තල් එකතුවීම සැලසුම් කරන අය අඩු ක්‍රියාකාරී සාමාජිකයෙකු හමුවීමට හා වැඩසටහනට සහභාගී වන ලෙස ඔහුට ආරාධනා කරන්නට මාගෙන් ඇසූ විට, මා කලබල වූ බව මම පිළිගත යුතුයි. මට ඩැරන් මුණගැසී ඇත්තේ මීට පෙර එක් වරක් පමණි, ඒ ඔහු පෙර තිබූ කොට්ටාශ ක්‍රියාකාරකමකට සහභාගී වූ විටයි. ඔහු ඔහුගේ නළල හරහා යතුරුපැදි හිස්පළඳනාවක් පැළඳ සිටියේය. ඔහුගේ දිගු සුදු කොණ්ඩය පෝනිටේල් එකක් ලෙස බැඳ තිබූ අතර, ඔහුට සම්පූර්ණ සුදු රැවුලක් තිබිණි, එමෙන්ම ඔහුගේ දෑත් පච්ච වලින් ආවරණය වී තිබිණි.

දැන්, කමිටු සාමාජිකයෙකු සමඟ, මම ඩැරන්ගේ දොරකඩ සිටගෙන, ඔහු කුමක් කියාවි දැයි කල්පනා කරමින් සිටියෙමි. ඔහු අපෙන් ඇතුළට එන ලෙස ඉල්ලා සිටි අතර, අපි ආවේ මන්දැයි අපි ඔහුට කීවෙමු. “ආහ්, මම ඒක කරන්න බොහොම කැමතියි!” ඔහු කීවේය.

බොහෝ දෙනෙකුට එම ක්‍රියාකාරකම අර්ථවත් කිරීමට උපකාරී වෙමින්, ඔහු හොඳ දෙයක් කළේය. ටික කාලයකට පසු, මගේ දේවසේවා සහකාරියට සහ මට නිතරම ඩැරන්ව බැහැදකින ලෙසට ඉල්ලීමක් ලැබුණි. ඔහුට අපව දැකීම සැමවිටම සතුටට කරුණක් ලෙස පෙනුණු අතර, අප අතර රසවත් සංවාද කිහිපයක්ද ඇතිවුණි. කොට්ටාශ ක්‍රියාකාරකමක වැඩසටහනකට සහභාගී වීමට ඔහුට ආරාධනා කිරීමට ලැබූ දේවානුභාවය, ආදරණීය සබඳතාවයක් කරා මගපෙන්වීම ගැන මම කෘතඥ වෙමි.

නත්තලේදී අන් අයට දේවසේවය කිරීම

ඔබ දේවසේවය කරන අයට ඔබ ඔවුන් ගැන සිතන බව දැනගැනීමට, විශේෂයෙන් මේ වසරේ මේ අවස්ථාවේදී ඔබට කළ හැකි දේවල් කිහිපයක් මෙන්න.

  1. සමහර වේලාවට දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් පුදුම සහගත ලෙස ක්‍රියාකරයි. සරල “ඉතිං, ඔබට කොහොමද?” සමඟ සංවාදයක් ආරම්භ කිරීම, වෙනසක් කළ හැකිය.

  2. සුදුසු අවස්ථා වලදී ඔවුන්ගේ සැමරුම් වලට සම්බන්ධ වන්න. අපට පොදුවේ ඇති විශ්වාසයන් ගැන ඉගෙනගැනීමට නත්තල් කාලය හොඳ අවස්ථාවක් විය හැකිය. ඔබ විශ්වාසයන් බෙදාගෙන අන් අයට ඇහුම්කන්දෙන විට, ඔබ වැඩි අවබෝධයක් සඳහා දොර විවර කරයි.

  3. ඔවුන් වෙනුවෙන් නමින් යාච්ඤා කරන්න. උන්වහන්සේගේ පුත්‍රයාණන් වෙතට ඔවුන්ව ළං කළ හැකි හැකි ක්‍රම ගැන සිතීමට ඔබට උදව් කරන්නැයි ස්වර්ගික පියාණන්ගෙන් ඉල්ලා සිටින්න.

  4. සරල ත්‍යාග බොහෝවිට වඩාත් හොඳින් මතකයේ රැඳෙයි. ආදරය ලැබීමට ත්‍යාගයන් විසිතුරු විය යුතු නැත. කාලය පිළිබඳ ත්‍යාගය, සවන්දීමේ ත්‍යාගය, ඡායාරූපයක් හෝ මතකයක් බෙදාගැනීම—මේ සියල්ල හදවතේ ත්‍යාගයන් විය හැකිය.

  5. සාක්ෂිය පිළිබඳ ත්‍යාගය දෙන්න. ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇති ඔවුන්ගේ ප්‍රේමය ඔබ සමඟ බෙදාගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න, එලෙසම උන්වහන්සේ කෙරෙහි ඇති ඔබේ ආදරය බෙදාගැනීමට ඉදිරිපත් වෙන්න.

  6. නත්තල් සේවයකට සහභාගි වීමට අන් අයට ආරාධනා කරන්න. සමහර අය නමස්කාර කිරීමට අවශ්‍ය නමුත් කොතැනට යා යුතුදැයි නොදනිති. ඔබ සමඟ නමස්කාර කිරීමට ඔවුන්ට ආරාධනා කරන්න.

  7. ඔවුන්ගේ නිවස සාමයෙන් පුරවන්න. ඔවුන්ගේ හදවතට බලාපොරොත්තුව හා ආදරය ගෙන එන, ධර්මදූතයින්ට බෙදාගත හැකි විශේෂ නත්තල් පණිවිඩයක් ඇති බව ඔවුන්ට දන්වන්න.

සභාවක් ලෙස සැමට දේවසේවය කිරීම

සෑම සභාවකම අවශ්‍යතා එකිනෙකට අනන්‍යයි. විශාල ක්‍රියාකාරකමක් සංවිධානය කිරීමෙන් සමහරු ප්‍රයෝජන ලබති. වෙනත් සභාවන්ට කුඩා හා සරල දෙයකින් ප්‍රයෝජන ගත හැකිය. ක්‍රියාකාරකම් සැලසුම් කිරීම හා සංවිධානය කිරීම සඳහා සම්බන්ධ වන අය පවතින අවශ්‍යතා සපුරාලන්නේ කෙසේද යන්න, යාච්ඤාපූර්වකව සලකා බලන්න.

  • ප්‍රංශයේ පැරිස් නුවර ස්ටේක තුනක සාමාජිකයින් දක්ෂතා ප්‍රදර්ශනයක් සහ විලාසිතා සංදර්ශනයක් ඇතුළත් ලෝකය ආලෝක කරන්න (Light the World) සන්ධ්‍යා ප්‍රදර්ශනයට සහාය විය. සරණාගතයින්ට සහ නිවාස නැතිකමින් දුක්විඳින පුද්ගලයින්ට ලබාදුන් භාණ්ඩ ඔවුන් විසින් සකස් කරන ලදි.

  • ආහාර, ජාත්‍යන්තර නත්තල් සම්ප්‍රදායන් ප්‍රදර්ශනය කිරීම, සංගීතය, සේවා ව්‍යාපෘති සහ දරුවන් සඳහා උපත පිළිබඳ කථාව තුළින් ක්‍රිස්තුස්වහන්සේ සැමරීමේ හමුවක් සමඟින්, චාලට් නෝර්ත් කැරොලිනා සෙන්ට්‍රල් ස්ටේකය ප්‍රජාව වෙනුවෙන් “ලොව පුරා නත්තල්” උත්සවයක් පැවැත්වූවේය.

  • වෙරෝ බීච් ෆ්ලොරිඩා ස්ටේකයේ සාමාජිකයින් අප නත්තල් උත්සවය සමරන්නේ ඇයිද යන්න පිළිබඳ ප්‍රජා මතක්කිරීමක් කිරීමට සම්බන්ධ විය. ප්‍රජා පුණ්‍යායතන සඳහා සෙල්ලම් බඩු පරිත්‍යාග කරන ලදි. ප්‍රාථමික දරුවන්ගේ ගායනා කණ්ඩායමක් විසින් ඉදිරිපත්කිරීමක් සිදුකරන ලද අතර බොහෝ සභාවන් වල තොරතුරු ප්‍රදර්ශනය කරන කුටි තිබුණි.

  • ජැක්සන්විල් ෆ්ලොරිඩා සවුත් ස්ටේකය විසින් ප්‍රජාව වෙනුවෙන් ලෝකයේ ගැලවුම්කරුවාණන් ලෙස නිෂ්පාදනයක් ඉදිරිපත් කළේය.