“ළමා හා තරුණ තරුණියන්ගේ වැඩසටහන තුළින් දේවසේවය,” ලියහෝනා, 2020 ඔක්තෝම්බර්
ඡායාරූප ටොම් ගාර්නර්, අයිසැක් ඩාර්කෝ-අචෙම්පොන්ග්, ඇලෙක්සැන්ඩර් කේ. බෝටෙන්ග් සහ ජොනාස් රෙබිකි විසිනි
දේවසේවා මූලධර්ම, 2020 ඔක්තෝම්බර්
ළමා හා තරුණ තරුණියන්ගේ වැඩසටහන තුළින් දේවසේවය
වර්ධනය වීමට අන් අයට ආරාධනා කිරීම සහ එම මඟ දිගේ ඔවුන්ට උපකාර කිරීම දේවසේවයේ සාරයයි.
ළමා හා තරුණ තරුණියන්ගේ වැඩසටහන තුළින් දේවසේවයේ යෙදීමට අවස්ථා බහුලව ඇත. සමහරවිට ඔබට නිවසේ ඔබේම ළමයින් හෝ තරුණ තරුණියන් සිටිනවා වන්නට පුලුවන්. සමහරවිට ඔබ මෙම වැඩසටහනේ නායකයෙක් හෝ ඔබ ළමයින් හා තරුණ තරුණියන් සිටින පවුල් වලට දේවසේවය කරනවා වන්නට පුලුවන්. එසේත් නැතිනම් සමහර ළමයින්ව සහ තරුණ තරුණියන්ව ඔබ හඳුනනවා වන්නට පුලුවන් (එය අප සියල්ලන්ම ආවරණය කරනවා). ඔබගේ තත්වය කුමක් වුවත්, අන් අයගේ ජීවිත වලට ආශිර්වාද කිරීම සඳහා මෙම වැඩසටහන හෝ එහි මූලධර්ම භාවිතා කිරීමට බොහෝ ක්‍රම තිබේ.
අපව එක්ව සංවර්ධනය කිරීම
ළමයින්ගේ හා තරුණ තරුණියන්ගේ හදවතේ අවධානය යොමුවී ඇත්තේ පරිපූර්ණ ලෙස සේවය කළ, ගැලවුම්කරුවාණන් හා සමාන වීමට සෑම දිනකම උත්සාහ කිරීමයි. ඔබේ ජීවිතයේ විවිධ අංශයන්හි ඔබ වැඩි වැඩියෙන් දියුණුවන තරමට, අන් අයට උපකාර කිරීමට හෝ දේවසේවය කිරීමට ඔබ වඩාත් හොඳින් සන්නද්ධ වන බව, මෙම වැඩසටහනට සහභාගී වූ බොහෝ දෙනෙක් ඉගෙනගෙන ඇත.
නමුත් මෙම ළමා හා තරුණ තරුණියන්ගේ වැඩසටහන සමඟ, අන් අයට ආශිර්වාද කිරීම සඳහා ඔබ යමක් ඉගෙනගන්නා තෙක් බලා සිටිය යුතු නැත. ඉගෙනීමේ ක්‍රියාව විසින්ම දේවසේවයට අවස්ථාවන් ලබාදෙයි.
ගානාවේ ජීවත් වන ප්‍රොෆට් නමැති තරුණයෙකුට, ළමයින් හා තරුණ තරුණියන් තුළ පියානෝව වාදනය කරන ආකාරය ඉගෙනගැනීමට ඉලක්කයක් තැබීම ආරම්භයක් පමණක් විය. “මම ඉගෙනගන්නා දේ අන් අයට දැනගැනීමට උපකාර කිරීම මගේ ඉලක්කයයි,” ලෙස ප්‍රොෆට් කීවේය.
ඔහු තවම උපදේශකයෙකු නොවූවත්, ඔහුගේ ඉලක්කය ඔහු සිතුවාට වඩා විශාල දෙයක් බවට දැනටමත් වර්ධනය වී තිබිණි. ප්‍රොෆට් සමඟ රැස්වීම් ශාලාවේ පියානෝ පන්තියට සහභාගී වන සිසුන් 50 දෙනෙකු දැන් සිටිති. ප්‍රොෆට්ට සහ අනෙක් ශිෂ්‍යයන් 50 දෙනාට උගන්වන්නේ කවුද? ඇලෙක්සැන්ඩර් එම්. සහ කෙල්වින් එම්., දෙදෙනාටම වයස 13. “අන් අයට කරුණාවේ ක්‍රියාවන් පෙන්වීමට අපට අවශ්‍යයි” කෙල්වින් පවසයි.
සතියේ දින තුනක් මෙම තරුණයන් දෙදෙනා ඉගෙනීමට පැමිණෙන සැමට නොමිලේ පියානෝ පාඩම් උගන්වති. පියානෝ පාඩම් සඳහා අමතර ප්‍රතිලාභයක්ද ලැබී තිබේ. එනම් පියානෝ පාඩම් තුළින් සභාවට හඳුන්වාදුන් සිසුන් කිහිපදෙනෙක් පසුව ශුභාරංචිය අධ්‍යයනය කර බව්තීස්ම වීමට තීරණය කළහ.
අප අපවම දියුණු කරගැනීමට උත්සාහ කරන විට, අප සමඟ එක්වන ලෙස අන් අයට ආරාධනා කිරීමෙන් අපට ඔවුන්ට දේවසේවය කළ හැකිය.
දේවසේවය සඳහා ජයග්‍රාහී වට්ටෝරුවක්
ස්ටේක ප්‍රාථමික සභාපතිවරියක ලෙස, බ්‍රසීලයේ, කුරිටිබා හි සබ්රිනා සිමෝඑස් ඩියුස් ඔගස්ටෝ, මෙම වැඩසටහනේ පෞද්ගලික සංවර්ධන අංගයන් ඇයගේ ස්ටේකයේ ළමයින්ට සහ තරුණ තරුණියන්ට ආශිර්වාද කරන අයුරු දැක තිබේ. නමුත් දේවසේවයේ යෙදෙන සහෝදරියක ලෙස ඇයගේ පැවරුමේදී ඇය පෞද්ගලික සංවර්ධනය පිළිබඳව ඉගෙනගත් දේ භාවිතා කිරීමට බොහෝ ක්‍රමද ඇය දැක ඇත.
“මම දක්ෂතාවයක් ගොඩනගාගන්නා විට, මම දේවසේවය කරන කෙනෙකුට ආශිර්වාද කිරීමට මට එම දක්ෂතාව භාවිතා කළ හැකියි” ලෙස ඔගස්ටෝ සහෝදරිය පවසයි.
ඔගස්ටෝ සහෝදරිය ඇයට පවරා ඇති එක් සහෝදරියකට චොකලට් ට්‍රෆල්ස් සෑදීමට ඉගැන්නුවාය. එම සහෝදරිය දැන් තම පවුලේ ආදායමට අතිරේකව උපකාර කිරීම සඳහා එම ට්‍රෆල්ස් සාදා විකුණයි. “මාස ගණනාවකට පසු, මට විකුණන්න පුළුවන් පැණි පාන් හදන හැටි තවත් සහෝදරියක් මට ඉගැන්නුවා” ලෙස ඔගස්ටෝ සහෝදරිය පැවසුවාය. “අපගේ හැකියාවන් වර්ධනය කරගැනීම හා බෙදාගැනීම එකිනෙකාගේ ජීවිත වලට ආශිර්වාද කළ හැකි අතරම දේවසේවා සහෝදරියන් ලෙස අපගේ සබඳතාද ගැඹුරු කළ හැකිය.”
© 2020 by Intellectual Reserve, Inc. All rights reserved. ඇමරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Ministering Principles, October 2020 හි පරිවර්තනයකි. Sinhala.16725 408