2020
සභාවේ ක්‍රියාකරකම් තුළින් දේවසේවය කිරීම
ජූලි 2020


“සභාවේ ක්‍රියාකරකම් තුළින් දේවසේවය කිරීම,” ලියහෝනා, 2020 ජූලි

රූපය
දේවසේවය

බඩ් කෝර්කින්ගේ කූඩාරම් සකස් කරන තරුණයින්ගේ ඡායාරූපය; ෂෙරී ප්‍රයිස් මැක්ෆාර්ලන්ඩ්ගේ මේසය සකසන දැරියගේ ඡායාරූපය; පසුබිම ගැටී රූප වලින්

දේවසේවා මූලධර්ම, 2020 ජූලි

සභාවේ ක්‍රියාකරකම් තුළින් දේවසේවය කිරීම

සංස්කාරක සටහන: මෙම ලිපිය COVID-19 වසංගතයට පෙර නිර්මාණය කරන ලද්දකි. පහත දැක්වෙන යෝජනා සමහරක් සමාජ දුරස්ථ කාල වලදී අදාළ නොවන නමුත් සභාවේ රැස්වීම් සහ ක්‍රියාකාරකම් නැවත ආරම්භ වූ පසු අදාළ වේ. අවශ්‍ය නම්, කරුණාකර මෙම යෝජනා වත්මන් සභාවේ සහ රජයේ මාර්ගෝපදේශයන්ට අනුව උපයෝගී කරගන්න.

අපගේ සෙසු කොට්ඨාශ සාමාජිකයින්ට, අසල්වැසියන්ට සහ මිතුරන්ට දේවසේවය කළ හැකි එක් ක්‍රමයක් වන්නේ සභාවේ ක්‍රියාකාරකම්ය. ඔබ දේවසේවය කරන කෙනෙකුගේ අවශ්‍යතා හෝ කැමැත්ත වටා ඔබ ක්‍රියාකාරකමක් සැලසුම් කළද නැතහොත් අන් අය වෙනුවෙන් ක්‍රියාකාරකම් හෝ සේවා අවස්ථාවන් සඳහා සහභාගී වීමට ඔබ ඔවුන්ට ආරාධනා කළද, කොට්ඨාශ හෝ ස්ටේක හෝ බහු ස්ටේක මට්ටමේ ක්‍රියාකාරකම් වලට සමගිය වර්ධනය කිරීමට සහ සාමාජිකයන් ශක්තිමත් කිරීමට අර්ථවත් හා විනෝදාත්මක ක්‍රම සැපයිය හැකිය.

සභාවේ ක්‍රියාකාරකම් වලට බොහෝ දේවසේවා අවස්ථාවන් සඳහා දොරටු විවර කළ හැකිය. නිදසුනක් වශයෙන්, සභාවේ ක්‍රියාකාරකම්, අන්‍යයන්ට ආශිර්වාද කරන සහ ප්‍රජාව තුළ ධනාත්මක සබඳතා ගොඩනංවන සේවා ව්‍යාපෘති වලට සහභාගී වීමට අවස්ථාව ලබාදිය හැකිය. සභාවේ ක්‍රියාකාරකම්, සභාවේ ක්‍රියාකාරී නොවන සාමාජිකයින් සහ වෙනත් ආගම් වල මිතුරන් හෝ ආගමික සම්බන්ධයක් නොමැති මිතුරන් වෙත ළඟාවීමටද අවස්ථාවක් විය හැකිය.

සභාවේ ක්‍රියාකාරකම් වලදී බොහෝ පුද්ගලයින් ඇතුළුව අපගේ කොට්ඨාශ සහ ශාඛා, අපගේ වටපිටාව සහ අපගේ ප්‍රජාවන් ආශිර්වාද කිරීමට හා ශක්තිමත් කිරීමට ස්වාමින්වහන්සේට අවස්ථාවක් නිර්මාණය කරයි.

ධනාත්මක සම්බන්ධතා ගොඩනැගීම

ශීත ඍතුව පැමිණෙමින් තිබූ අතර ඩේවිඩ් ඩික්සන්ට තම පවුල උණුසුම්ව තබාගත හැකි ආකාරය ගැන අවබෝධයක් නොතිබුණි.

ප්‍රතාපවත් රතු කඳු, සේජ් පඳුරු සහ සදාහරිතයන්ගෙන් වටවී ඇති ඉහළ කාන්තාර භූමියක් වන ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා හි ග්‍රාමීය නගරයක් වන ෆ්‍රෙඩෝනියා වෙත ඩේවිඩ්, ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා පදිංචියට ගොස් තිබුණි.

ඩික්සන්ස් පවුල කුලියට ගත් නිවස එහි මූලික තාප ප්‍රභවය ලෙස දැව දැවෙන උඳුනක් මත රඳා පැවතුනි. ෆ්‍රෙඩෝනියාවේ ශීත ඍතුව හිම සහ අයිස් වලින් පිරී ඇති නිසා දැව රැස් කිරීම අත්‍යවශ්‍ය කුසලතාවයක් බව ඩේවිඩ් ඉක්මනින් දැනගත්තේය.

“මට දැව හෝ දම්වැල් කියතක් තිබුණේ නැහැ ඒ වගේම එකක් භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුමක් තිබුණෙත් නැහැ!” ඩේවිඩ් පැවසීය. “කුමක් කළ යුතුදැයි මම දැනගෙන හිටියේ නැහැ.”

ඔහුගේ පවුලේ අයට ශීත ඍතුව සඳහා ප්‍රමාණවත් තරම් දැව තිබේද යන්න කොට්ඨාශයේ සමහර සාමාජිකයන් ඩේවිඩ්ගෙන් ඇසුවෝය. “මට එසේ නොමැති බව වටහා ගැනීමට ඔවුන්ට වැඩි වේලාවක් ගතවූයේ නැහැ,” ඩේවිඩ් පැවසුවේය. “වැඩිහිටියන්ගේ ගණපූරණය ඉක්මනින් මට දැව එකතු කිරීමට උදව් කිරීමට ඉදිරිපත් වුනේය. කෘතඥතාවෙන් පූර්ණව මම ඔවුන්ගේ පිරිනැමීම පිළිගත්තෙමි.”

මෙම දැව එකතුකිරීමේ ගමන බොහෝ සැලසුම් සහගත, සංවිධානාත්මක හා හොඳින් සහභාගී වූ කොට්ඨාශ ක්‍රියාකාරකම් වලට සමාන බව ඩේවිඩ් ඉක්මනින්ම දැනගත්තේය. එක් සෙනසුරාදා උදෑසනක ඩේවිඩ්, වැඩිහිටි ගණපූරණය සහ අනෙකුත් කොට්ටාශ සාමාජිකයන් ට්‍රක් රථ හා ට්‍රේලර් රථ වලින් කඳුකරයට පැමිණියහ.

“ඔවුන්ගේ මෙවලම් හා දැනුමට ස්තූතිවන්ත වන්නට, එක හවස් වරුවක් තුළ, කොට්ඨාශ සාමාජිකයන් මගේ පවුලට ශීත ඍතු දෙකකට වඩා හොඳ කාලයකට ප්‍රමාණවත් දැව සපයාදුන්නා,” යැයි ඩේවිඩ් පැවසුවේය. “එයටත් වඩා වැදගත් දෙය නම්, තනිවම දැව එකතු කිරීම ගැන දැනගැනීමට අවශ්‍ය සෑම දෙයක්ම මට ඉගැන්වීමයි. මම ෆ්‍රෙඩෝනියාව හැර යන විට දම්වැල් කියතක් හසුරුවන්නේ කෙසේදැයි මම දැන සිටියෙමි, එමෙන්ම මට ගණන් කළ නොහැකි ප්‍රමාණයට වඩා කොට්ටාශ වල දැව එකතු කිරීමේ ක්‍රියාකාරකම් සඳහා මම උදව් කළෙමි.”

එවැනි කොට්ඨාශ ක්‍රියාකාරකම් සභාවේ සාමාජිකයන් අතර ධනාත්මක සබඳතා ගොඩනැගුවා පමණක් නොව, ප්‍රජාවේ සෑම කෙනෙකු සමඟම ධනාත්මක සබඳතා ගොඩනැගීය.

“ප්‍රදේශයට අලුත්, සභාවේ සාමාජිකයෙක් නොවන කාන්තාවක් පිළිබඳව මට මතකයි,” ඩේවිඩ් මෙසේ පැවසුවේය. “උණුසුම පවත්වාගැනීමට ඇයගේ නිවසේ ලෑලි පවා භාවිතා කරන තත්වයට ඇය පත් වී තිබුණි. ඇයගේ දුක්ඛිත තත්වය ගැන දැනගත් පසු, ශීත ඍතුව හරහා යාමට තරම් දැව ඇය සතුව ඇති බවට අපි සහතික කරගත්තෙමු. ඇයට කතා කිරීමට නොහැකි තරම් ඇය ස්තුතීවන්ත වූවාය.”

ෆ්‍රෙඩෝනියාවේ දේවසේවා උත්සාහයන් ශීත ඍතුව පුරා සෑම කෙනෙකුම ආරක්ෂිතව හා උණුසුම්ව සිටීමට වගබලාගත්තේය.

අන් අය වෙත ළඟාවීම

රුමේනියාවේ දූත මෙහෙවරක යෙදී සිටියදී, මෙග් යෝස්ට් සහ ඇගේ සහයිකාව දිගු කලක සිට සභාවට නොපැමිණි පවුලක් නිතිපතා බැහැදැකීය. මෙග් මෙසේ පැවසුවාය,“රුමේනියාවේ සභාවේ මුල්ම සාමාජිකයන් අතර ස්ටැනිකා පවුලද සිටි අතර අපි ඔවුන්ට ප්‍රේම කළෙමු.”

ශාඛා ක්‍රියාකාරකමක් සැලසුම් කිරීමට හා සංවිධානය කිරීමට කාලය පැමිණි විට, “පුරෝගාමී රාත්‍රියක්” තිබිය යුතු බවට නායකයින් තීරණය කළහ. සෝල්ට් ලේක් නිම්නය වෙත පැමිණීමට එක්සත් ජනපදය තරණය කළ ධෛර්ය සම්පන්න පුරෝගාමීන් සැමරීමට මෙය සන්ධ්‍යාවක් වනු ඇත. රුමේනියාවේ සභාවේ පුරෝගාමීන්ට ගෞරව දැක්වීමටද මෙය අවස්ථාවක් වනු ඇත.

“සමහර සාමාජිකයින්ට ඔවුන්ගේ හැරීම හා රුමේනියාවේ සභාව වර්ධනය වූ ආකාරය පිළිබඳව සාක්ෂි දැරීමට මෙය හොඳ ක්‍රමයක් වනු ඇතැයි අපි සිතුවෙමු” මෙග් පැවසීය. “අපි වහාම සිතුවේ ස්ටැනිකා පවුල සම්බන්ධ විය යුතු බවයි. එයට සහභාගි වන ලෙස අපි ඔවුන්ට ආරාධනා කළ අතර ඔවුන් බොහෝ සතුටට පත්විය!”

ක්‍රියාකාරකම සිදුවූ රාත්‍රියේදී, ආරම්භ කිරීමට කාලය එළඹුණු විටදීත් ස්ටැනිකා පවුල පැමිණියේ නැත.

“ඔවුන් නොඑනු ඇතැයි අපි කනස්සල්ලට පත්ව සිටියෙමු,” මෙග් සිහිපත් කළාය. “නමුත් නියමිත වේලාවට ඔවුන් දොරටුවෙන් ඇතුල්විය. ස්ටැනිකා පවුල ශුභාරංචිය හා සභව පිළිබඳ සුන්දර සාක්ෂියක් ඉදිරිපත් කළහ. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ දැක නොතිබූ වෙනත් සාමාජිකයන් සමඟ ඇසුරු කිරීමටද ඔවුන්ට හැකිවිය.”

ශාඛාවේ සාමාජිකයන් දෑත් විවර කර ස්ටැනිකා පවුල පිළිගත්හ. ඊළඟ ඉරිදා දින, ස්ටැනිකා සොහොයුරිය සභාවේ දුටු විට මෙග් පුදුමයට පත්විය.

“මාස කිහිපයකට පසු මම ශාඛාවට ගිය විට ඇය තවමත් පැමිණෙමින් සිටියා!” මෙග් පැවසීය. “ඇයගේ සාක්ෂිය බෙදාගැනීමට මෙන්ම ශාඛාවට ඇයව අවශ්‍ය බව සහ ඇයගේ සහභාගීවීම අවශ්‍ය බව හැඟීම ඇත්තෙන්ම ඇයට උපකාරී වූවා යැයි මම සිතමි.

සභාවේ ක්‍රියාකාරකම් තුළින් සේවය කිරීම සඳහා අදහස් 4ක්

  • අවශ්‍යතා සපුරාලන ක්‍රියාකාරකම් සැලසුම් කරන්න: විවිධ අවශ්‍යතා සපුරාලීමට ක්‍රියාකාරකම් හොඳ ක්‍රමයකි. පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක නිශ්චිත අවශ්‍යතා සපුරාලීමට ඒවා සැලසුම් කළ හැකිය. සහභාගී වන අයගේ අවශ්‍යතාව එකිනෙකා වඩා හොඳින් දැන හඳුනාගැනීම වුවද, ශුභාරංචිය ගැන වැඩිදුර දැනගැනීම හෝ ශුද්ධාත්මයාණන් හැඟීම වුවද එම ක්‍රියාකරකම් ඒවා සපුරාලිය යුතුය.

  • සෑම කෙනෙකුටම ආරාධනා කරන්න: ඔබ ක්‍රියාකාරකම් සැලසුම් කරන විට, සහභාගී වීමෙන් ප්‍රතිලාභ ලබන අයට ආරාධනා කිරීමට විශේෂ උත්සාහයක් ගන්න. නව සාමාජිකයින්, ක්‍රියාකාරී නොවන සාමාජිකයන්, තරුණයින්, අවිවාහක වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයින් සහ වෙනත් ආගම් වල අයව මතක තබාගන්න. ඔවුන්ගේ යහපත මනසේ තබාගෙන සහ ඔවුන්ගේ පැමිණීම ඔබ කෙතරම් බලාපොරොත්තුවනවාදැයි ප්‍රකාශ කරමින් ආරාධනා කරන්න.

  • සහභාගීත්වය සඳහා ධෛර්යමත් කරන්න: ඔබ ආරාධනා කරන අයට සහභාගී වීමට අවස්ථාවක් ඇත්නම් ක්‍රියාකාරකම් වලින් තවත් බොහෝ දේ ලැබෙනු ඇත. සහභාගීත්වය දිරිගැන්විය හැකි එක් ක්‍රමයක් නම්, පුද්ගලයින්ට තම දීමනා, කුසලතා සහ දක්ශතා ක්‍රියාකාරකම් අතරතුර භාවිතා කිරීමට ඉඩ සැලසීමයි.

  • සියලුදෙනාවම සාදරයෙන් පිළිගන්න: ඔබේ මිතුරන් යම් ක්‍රියාකාරකමකට සහභාගී වන්නේ නම්, ඔවුන්ව සාදරයෙන් පිළිගැනීමට ඔබට හැකි සෑම දෙයක්ම කරන්න. ඒ හා සමානව, ඔබ නොදන්නා අය ඔබ දුටුවහොත්, මිත්‍රශීලීව, ඔවුන්ද පිළිගන්න!