2020
සක්‍රමේන්තු රැස්වීම තුළින් දේවසේවය කිරීම
2020 ජුනි


“සක්‍රමේන්තු රැස්වීම තුළින් දේවසේවය කිරීම,” ලියහෝනා, 2020 ජුනි

රූපය
දේවසේවය

රූපසටහන් එඩ්වර්ඩ් මැක්ගෝවන් විසින්

දේවසේවා මූලධර්ම, 2020 ජුනි

සක්‍රමේන්තු රැස්වීම තුළින් දේවසේවය කිරීම

සක්‍රමේන්තු රැස්වීම අන් අය සමග සම්බන්ධවී දේවසේවය කිරීමට අවස්ථාවන් සලසා දේ.

සක්‍රමේන්තු රැස්වීම යනු ආත්මික පෝෂණය හා ගැළවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳ පෞද්ගලික පිළිබිඹුවකි. අපි සෑම සතියකම සක්‍රමේන්තුවට සහභාගි වනවිට, අපි එකට මනසින් වර්ධනය වේ (බලන්න දහම සහ ගිවිසුම 84:110). නමුත් අපගේ කොට්ඨාශ සහ ශාඛාවල සමහර අය අධික බරක් ඔවුන් සමග ගෙනඑයි හෝ ඔවුන් කිසිසේත්ම පැමිණෙන්නේ නැත.

අන්‍ අයට දේවසේවය කිරීමට සහ ඔවුන්ගේ ජීවිතවල වෙනසක් ඇතිකිරීමට එම පූජනීය පැය භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවස්ථා කිහිපයක් මෙන්න.

ඔබ දේවසේවය කරන අයට සක්‍රමේන්තු රැස්වීම වඩාත් හොඳ කරගැනීමට උපකාර වන්න.

දේවසේවය කිරීමට ඉගෙනගැනීමේ පළමු පියවර වන්නේ පුද්ගලයන් හෝ පවුල් හෝ ඔවුන්ගේ අවශ්‍යතාවන් හඳුනාගැනීමයි. ඔවුන් ගැන වැඩි විස්තර දැනගැනීමෙන් ඔවුන්ගේ සක්‍රමේන්තු නමස්කාර අත්දැකීම් වඩාත් හොඳ කරගැනීමට ඔබට උදව් කළ හැකි ක්‍රම තිබිය හැකිය.

සිඟිති නිවුන් දරුවන්ගේ තරුණ මවක් වන මින්ඩි සඳහා, ඇයට දේවසේවය කරන සහෝදරියගේ සරල උත්සාහයන් සෑම සතියකම ඇගේ සක්‍රමේන්තු රැස්වීමේ අත්දැකීම්වල විශාල වෙනසක් ඇති කළේය.

“මගේ සැමියාගේ වැඩ කාලසටහන නිසා, මම සෑම සතියකම අපේ නිවුන් දියණියන් තනිවම සභාවට කැඳවාගෙන යන්නෙමි,” මින්ඩි පැහැදිලි කළාය. “කඩිසර කුඩා ළමුන් දෙදෙනෙකු සමග සම්පූර්ණ සක්‍රමේන්තු රැස්වීමට සහභාගීවීම ඇත්තෙන්ම අතිමහත්ය, නමුත් මගේ දේවසේවයේ සහෝදරිය මට උදව් කිරීමට එය ඇයමත භාරගෙන ඇත.

“ඇය අප සමග වාඩිවී මට මාගේ දියණියන්ව බලාගැනීමට උපකාර වේ. ඇය මා අසල සිටීම මට ගොඩක් වටිනා අතර, දියණියන් හදිසි කෝපවන සහ කරදර කරන අවස්ථාවන්හිදී මගේ කනස්සල්ල ලිහිල් කරයි. මගේ ජීවිතයේ මේ මොහොතේ ඇගේ ක්‍රියාවන් මට කොතරම් බලපෑමක් කර ඇත්දැයි ඇය කවදාවත් දැනගනු ඇතැයි මම නොසිතමි. තරුණ, කනස්සල්ලෙන් පිරුණු මවක් ලෙස මගේ අවශ්‍යතාවය ඇය දුටු අතර, සභාව අප සැමට සාමකාමී හා ප්‍රීතිමත් ස්ථානයක් බවට පත්කිරීමට ඇය උපකාර කරයි.”

විශේෂිත අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමට අදහස්

  • සාමාජිකයන්ගේ අවශ්‍යතා පිළිබඳව වැඩිහිටි ඝණපූර්ණයේ සහ සහන සමිතියේ නායකයින්ට ආපසු වාර්තා කරන්න.

  • නායකයින් සාමාජිකයන්ගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි සක්‍රමේන්තු රැස්වීමේ කතා සැලසුම් කරයි. ඔබ සේවය කරන අයට යම් පණිවිඩයක් ඇසීමෙන් ප්‍රයෝජන ලැබෙන්නේ නම්, එම අදහස ඔබේ නායකයන් සමග බෙදාගන්න.

  • සක්‍රමේන්තු රැස්වීමේ ආශිර්වාද භුක්තිවිඳීම වළක්වන ආබාධිත තත්වයක් හෝ ආහාර ආසාත්මිකතාවයක් යමෙකුට ඇති බව ඔබ දන්නේනම්, ඔවුන්ගේ නමස්කාර අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ගේ තොරතුරු සහ සැලසිය හැකි ඉඩකඩ පහසුකම් මොනවාදැයි ඔවුන්ගෙන් විමසන්න. මෙම තොරතුරු ඔබගේ නායකයන් සමග බෙදාගන්න.

  • ඔබ දේවසේවයේ යෙදෙන හෝ දන්නා කෙනෙකු, ස්ථිරව හෝ තාවකාලිකව නිවසට සීමාවී සිටිනවා නම්, සක්‍රමේන්තුව ඔවුන්ගේ නිවසට ගෙනෙයා හැකිද යන්න සභානායකවරයාගෙන් විමසන්න. තවත් ඔබට සක්‍රමේන්තු රැස්වීම අතරතුර සටහන් ගෙන එම සටහන් දුරකතනය ඔස්සේ, විද්‍යුත් තැපැල් මගින් හෝ මුණගැසී බෙදාගත හැකිය.

  • ඔබ දේවසේවය කරන කෙනෙකුට දරුවන් සිටීනම්, සක්‍රමේන්තු රැස්වීම අතරතුර ඔවුන්ට උපකාර කිරීමට ඉදිරිපත් විය හැකිය.

  • ඔබ දේවසේවය කරන අය නිරන්තරයෙන් සක්‍රමේන්තු රැසීවීමට සහභාගී නොවේ නම්, ඔබට උපකාර කළහැකි ආකාර තේරුම්ගෙන සලකාබැලීමට උපකාර කරන්න. ඔවුන්ට ප්‍රවාහන පහසුකම් අවශ්‍යයි නම්, ඔබට එය ලබාදිය හැකිය. ඔවුන්ට ඔවුන්ගේ පවුලෙන් සහයෝගයක් නොලැබෙන බවක් හැඟේ නම්, ඔබ සමග වාඩිවීමට ඔවුන්ට ආරාධනා කළ හැකිය. සක්‍රමේන්තු රැස්වීමකදී ඔවුන්ව සාදරයෙන් පිළිගැනීමට සහ ඔවුන්ව අවශ්‍ය බව හැඟීමට සැලැස්වීමට ඔබට විශේෂ ආරාධනා කළ හැකිය.

සරල ඉඟි දිගු ගමනක් යනබව මතකතබා ගන්න.

දේවසේවය ගැන කතාකරන විට, සහන සමිතියේ ප්‍රධාන සභාපති සහෝදරී ජීන් බී. බිංහැම්, ඉගැන්වූයේ: “සමහරවිට අප අපගේ අසල්වැසියන්ට ප්‍රේම කරන බව “ගණන් ගැනීමට” ශ්‍රේෂ්ට හෝ වීරෝධාර දෙයක් කිරීමට අවශ්‍ය බව අප සිතමු. එහෙත් සරල සේවය කිරීමේ ක්‍රියාවන් අන් අයට මෙන්ම—අපටත් ප්‍රබල බලපෑමක් ඇති කළ හැකිය.”1

බෙල්ජියම් හි කුඩා කොට්ඨාශයක, සභාවේ රැස්වීම් අතරතුර ස්පාඥ්ඥ භාශාව කතාකරන අමුත්තන්ට සහ සමාජිකයන්ට පරිවර්තනය කිරීමට එවිටා සැමවිටම ඉදිරිපත් වේ. එක් වරකදී, සභාව ගැන ඉගෙනගනිමින් සිටි ඩොමිනිකන් ජනරජයේ කෙනෙකුට එවිටා හඳුන්වා දෙන ලදි. ඔහු ඉංග්‍රීසි ටිකක් දැනගෙන සිටියත් ස්පාඥ්ඥ භාශාව ඔහුගේ මව් භාශාව විය. ඉතින් එවිටා සක්‍රමේන්තු රැස්වීමකදී ඔහු වෙනුවෙන් පරිවර්තනය කිරීමට ඉදිරිපත් වූ නිසා එය ඔහුට වඩාත් පහසු විය.

පරිවර්තනය කිරීමෙන් සමහර අවස්ථා වල මගේ සබත තව ටිකක් උණුසුම් විය හැකිය,” එවිටා පැවසුවාය. “නමුත් පරිවර්තකයෙකු අවශ්‍ය දැයි අන් අයගෙන් විමසීමට ලැබෙන පෙළඹවීම් අනුගමනය කිරීම තුලින් ඔවුන්ට ශුද්ධාත්මයාණන්වහන්සේ දැනීමට සහ සහ ඔවුන්ගේ රැස්වීම් භුක්තිවිඳීමට මට ඔවුන්ට උදව් කළ හැකි බව දැනගැනීමෙන් නියත වශයෙන්ම මට ප්‍රීතියක් හා උණුසුම දැනේ.”

සරල ඉඟි තුළින් උපකාර කිරීමට අදහස්

  • සක්‍රමේන්තු රැස්වීම අතරතුරදී කුඩා අමතර සේවයක් අවශ්‍ය වන්නේ කාටදැයි දැනගැනීමට ඔබගේ නායකයන් සමග කතාකරන්න. නැතිනම් උපකාර අවශ්‍ය කෙනෙකුව ඔබ දන්නේ නම්, ඔබේ නායකයන් ඔවුන් ගැන දන්නා බවට සහතික කර දැනගන්න.

  • සක්‍රමේන්තු රැස්වීම ආරම්භ වනතෙක් නිහඬව වාඩිවී සිටින්න. මෙය ශුද්ධවූ ස්ථානයක මහත් ගෞරවයෙන් සිටීමෙන් පැමිණෙන සාමය අවශ්‍ය අය වන “අප වටා සිටින අනෙක් බිඳුණු හදවත් හා ශෝකජනක ආත්මයන්ට”2 උපකාරී වනු ඇත.

  • උපවාස ඉරුදින, ඔබගේ උපවාසය සහ යාච්ඤාව ඔබ දේවසේවය කරන අමතර සහනයක් අවශ්‍ය වන කෙනෙකු වෙනුවෙන් කැපකිරීමට සලකා බලන්න.

  • සක්‍රමේන්තු මෙහෙය අතරතුර යම් කෙනෙකු අසලින් ඔබ වාඩිවී සිටීම ඔවුන්ට උපකාරයක්ද නැතිනම් ඔබට උපකාර කළ හැකි තවත් ක්‍රම තිබේද යන්න දැනගැනීම පිණිස යාච්ඤා කරන්න.

සක්‍රමේන්තු රැස්වීම සැමට පිළිගැනීමේ ස්ථානයක් විය හැකිය.

“සක්‍රමේන්තු රැස්වීම සභාවේ සියලුම රැස්වීම් අතරින් වඩාත්ම උතුම්, වඩාත්ම ශුද්ධ වූ රැස්වීම” බව සභාපති ජෝසෆ් ෆීල්ඩින්ග් ස්මිත් ඉගැන්වීය.3 එසේ වුවත්, විශේෂයෙන් නව සාමාජිකයින් හෝ ටික කලක් සහභාගී නොවූ සාමාජිකයින් සඳහා—සක්‍රමේන්තු රැස්වීමකට සහභාගී වන සියල්ලන්ටම පිළිගැනීමක් හා අධ්‍යාත්මික හැඟීමක් ඇති බව සහතික කරගැනීම වැදගත්ය.

ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස්හි මෙරානියා, ඇයගේ කොට්ඨාශයේ සභාව ගැන ඉගෙනගනිමින් සිටි කාන්තාවක් සමග මිතුරු විය. “දැන් ඇය මගේ ආදරණීය මිතුරියක් වී ඇත,” මෙරියානා පැවසීය. “මම සෑම සතියකම ඇය සමග සක්‍රමේන්තු රැස්වීමේ වාඩිවීමට කැමතියි, මම නිතරම අසන්නේ ඇය හොඳින්ද සහ ඇයට උදව් කිරීමට මට යමක් කළ හැකිද යන්නයි.” ටික කලකට පසු, මෙරියානාගේ යහළුවා බෞතිස්ම විය. කොට්ඨාශයේ සාමාජිකයින්ගේ උත්සාහය මෙන්ම සක්‍රමේන්තු රැස්වීමේ තිබූ පිළිගැනීමේ වාතාවරණය ඇයගේ තීරණයට විශාල කාර්යභාරයක් ඉටුකළේය.

නැවත පැමිණෙන හෝ නව සාමාජිකයන්ට දේවසේවය කිරීමේ අදහස්

  • ඔබ සක්‍රමේන්තු රැස්වීමේ කතාකිරීමට යන විට, ඔබට යහළුවන්ට, පවුලට සහ අනෙකුත් අයට පැමිණ ඔබගේ පණිවිඩයට ඇහුන්කම් දීමට ආරධනා කළ හැකිය.

  • තනිවම සිටින අයට හෝ උදව් අවශ්‍ය අයව සොයාබලා පිළිගැනීමට ඔබට හැකිය. ඔබට ඔවුන් සමග වාඩිවිය හැකිද කියා ඇසීම හෝ නැතිනම් ඔවුන්ට ඔබ සමග වාඩිවීමට ආරාධනා කළ හැකිය.

  • රැස්වීම අවසාන වූ විට, ඔබ දේවසේවය කරන අයට සහ අන් අයට සභාවේ ඉදිරි ක්‍රියාකාරකම් වලට, දේවමාළිගාවට, හෝ සමාජීය වැදගත් අංගයන්ට ආරාධනා කළ හැකිය.

  • ඔබ දේවසේවය කරන කෙනෙකු සක්‍රමේන්තු රැස්වීමට ටික කලක් සහභාගී නොවූ නමුත් දැන් සහභාගී වී සිටිනවා නම්, ඉගැන්වූ දේ පිළිබඳව ඔවුන්ට කිසියම් ප්‍රශ්නයක් ඇත්දැයි විමසීමට ඔබට හැකිය. ඔවුන්ට නොතේරෙන වචනයක්, කතාවක් හෝ දහමෙහි කොටසක් තිබේනම්, ඔවුන් ඔබ වෙත ළඟාවීම සැමවිටම සාදරයෙන් පිළිගන්නා බව, ඔවුන්ට පවසන්න. අවශ්‍ය නම් ඔබට එකට පිළිතුරු සෙවිය හැකිය.

සටහන්:

  1. ජීන් බී. බිංහැම්, “ස්වාමින්වහන්සේ ලෙස දේවසේවය කිරීම,” ලියහෝනා, මැයි 2018, 104.

  2. ජෙෆ්‍රි ආර්. හොලන්ඩ්, “දෙවියන්වහන්සේගේ බැටළු පැටවා බලන්න,” ලියහෝනා, මැයි 2019, 46.

  3. Joseph Fielding Smith, in Conference Report, Oct. 1929, 60–61.